ලෝක බැංකුව මගින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රගතිය පිළිබඳ ඉදිරිපත් කොට ඇති අලුත්ම වාර්තාව තුළින් 2025 දක්වා ලංකාවේ දරිද්‍රතාවයේ සැලකිය යුතු පහත වැටීමක් සිදු නොවන බවට දක්වා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
ඒ අනුව 2025 අවසන් වන විටත් ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 50කට වැඩි පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙමින් පැවැතිය හැකි බව ඔවුන් විසින් පුරෝකථනය කර ඇති බව සඳහන්ය.
ලෝක බැංකුව විසින් පුරෝකථනය කර ඇති ආර්ථික වර්ධන වේගයට පහළ ආර්ථික වර්ධන වේගයන් පැවැතිය හැකි බවට ආසියානු සංවර්ධන බැංකුව විසින් 2024 (මෙම වසරේ) පුරෝකථනය කර ඇත.
ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුව විසින් දක්වන්නේ 2024 වසරේ එයට 1.9%ක ආර්ථික වර්ධනයක් සහ 2025 වසර තුළ 2.5%ක ආර්ථික වර්ධනයක්ය.
මේ ආකාරයේ පහළ වර්ධනයක් තුළ රටේ දරිද්‍රතාව සැලකිය යුතු ආකාරයෙන් අනාගතයේ පහළ නොයන බවට අපේක්ෂා කළ හැකි බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.
ලෝක බැංකුව විසින් දක්වන ආකාරයට 2024දී ආර්ථික වර්ධන වේගය 2.2%, 2025දී එය 2.5%ක්ද ලෙසින් සැලකිය හැකි බවට පුරෝකථනය කොට ඇත.
කෙසේ වුවද මෙවැනි පහළ ආර්ථික වර්ධනයක් තුළින් කඩාවැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට අපහසු වන බවයි පෙනෙන්නට ඇත්තේ.
කඩාවැටුණු ජන ජීවිතය යථා තත්ත්වයට පත්කරමින් රටේ ආදායම් ව්‍යාප්ති විෂමතාව පහළ මට්ටමට ගෙන එමින් කඩාවැටුණු සුළු හා මහා පරිමාණ කර්මාන්ත නගාසිටුවීමට අවම වශයෙන් 5% ඉක්මවූ ආර්ථික වර්ධනයක් ඉදිරි වසර කිහිපය තුළ ළඟා කරගැනීමට සිදුවන බවද මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වා දුන්නේය.
ප්‍රේමලාල් විජේරත්න