ආගම යනු යම් ආකාරයක මිථ්‍යාවක්ද? සමහරු හිතන්නේ එහෙමය. තවත් සමහර දෙනා කියන්නේ පල්ලියත් පන්සලත් කෝවිලත් ඇත්තේ තමන්ගේම හිත තුළ බවය. ආගම යනු හොඳින් ජීවත් වීම යන මතය තුළ දවස ගෙවන්නෝද වෙති. ලෝකයා ඔවුන්ව හඳුන්වන්නේ අදේවවාදීන් ලෙසිනි. ඔය කරුණු කාරණා සියල්ල අතර වැඩිම පිරිසක් සිටින්නේ ‘දෙවියන් මෙලොව වැඩවසනවා’ යන ඇදහීම තුළය.(Sri Lanka Latest News)
දේව රූප අබියස පහන් දැල්වීම, දෙවියන්ට පඬුරු පාක්කුඩම් පිදීම තුළ නිහඬව හෝ සමූහ වශයෙන් යාඥා මෙහෙයකට සහභාගි වීම තුළ මෙන්ම බාරහාර ගැටගැසීම සහ ස්තුති පූජාවන් පැවැත්වීම තුළ මෙවැනි අදහන්නන් මානසික වූත්, ආත්මීය වූත් සහනයක් අත්විඳින්නෝය. එයට ජාති හෝ ආගම් භේදයක්ද නැත. තාක්ෂණය හමුවේ ලෝකය මොන තරම් දියුණුවට පත්වුවද ‘දෙවියන් ලොව කොතැනක හෝ වැඩවසන බවත්, කෙදිනක හෝ යහපත්ව ජීවත් වන්නන්ට සෙත සලසන බවත්, වැරැදි කරන්නන්ට දඬුවම් දෙන බවත්’ ඔවුන් අදහති.
දෙවියන් අදහන, අදහන්නේ නැතිය යන දෙපැත්තටම නැතිව මධ්‍යස්ථ තැනක ඉඳගෙන ‘ඇත්තෙන්ම දෙවියන් මෙලොව වැඩවසනවාදැ’යි යනුවෙන් මුලින්ම මෙහිදී අහපු ප්‍රශ්නය ආයෙම අහනවා නම් එයට දෙන්නට හැකි නිශ්චිත උත්තරයක් මනුෂ්‍යයන් වූ අප සතුව නැත. ඒ වාගේම දෙවි කෙනකු නැතැයි අදහන්නට මනාප අයද බොහෝ විට අඩුය. හිතාගන්නට බැරි අරුම පුදුම යැයි සිතන්නට පුළුවන් යමක් සිදුවුණු විටෙක,
‘පේනවා නේද දෙවියෝ තවමත් මේ ලෝකෙ වැඩවසනවා කියන්නේ ඕකට තමයි’
‘මේක නම් හරි පුදුමයි. දේව අනුහසක්ම තමයි…’ යනුවෙන් දේව විශ්වාසය කරණකොට ගෙන තම ඇදහීමට තව තවත් ඇබ්බැහි වෙන බැතිමතුන් අද මේ මොහොතේ වුවද අනන්ත අප්‍රමාණව සොයාගත හැකිය. ඒ අතර රූප වන්දනාවද සුවිශේෂය. ඉකුත්ව ගිය කාලය තුළ බුදු රුවකින් රැස් විහිද යන හාස්කමක් දෑසින් දැකගන්නට බෞද්ධ බැතිමතුන් දහස් ගණන් එක්රැස් වූ අතර, කතෝලික බැතිමත්හු පසුගිය වසරක එක් කාලවකවානුවක එවැනි හාස්කමක් ගැන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ දුන් තොරතුරක් ගැන වික්ෂිප්තව සිටියා මතකය. එවැනි හාස්කමක් සහිත අලුත්ම සංසිද්ධියක් ඊයේ පෙරේදා දවසක නැවත ලැව් ගින්නක් සේ පැතිර යන්නට වූයේ මුහුණු පොත හරහාද විශාල ප්‍රසිද්ධියක් දෙමිනි.
සාරාංශමය වශයෙන් සිදුවීම කෙටියෙන් විස්තර කරනවා නම්, හැටන් කුඩාගම ප්‍රදේශයේ කතෝලික නිවෙසක සුරුවම් කූඩුවේ ඉන්දවා තිබූ දේව මෑණියන්ගේ ප්‍රතිමාවකින් යම් ඇදහිය නොහැකි මට්ටමේ අනුහසක් විද්‍යමාන වෙමින් පැවතීමය. ඒ, එහි වම් ඇසෙන් රත් පැහැයට කඳුළු ගලා යමින් තිබීමය. එම කඳුළු ගලාහැලෙන ස්වභාවය දැක ඇත්තේ අතිරේක පන්ති යෑමට සූදානම්ව දේව මෑණියන්ගේ ප්‍රතිමාව අබියස යාඥා කරන්නට ගිය කුඩා පිරිමි දරුවකුය.
නිවෙසෙහි වැඩිහිටි අයද පැමිණ සිදුවීම ස්ථිර කරගත් පසුව මීසම භාර පියතුමන් හට එය දැන්වීමෙන් අනතුරුව දේව මාතා ප්‍රතිමාව හැටන්හි සිරිකුරුස දේවස්ථානය වෙත වඩම්මවා ඇත. එයට පසුව එම ප්‍රාතිහාර්යය දැකබලා ගැනීමට අවට ප්‍රදේශවාසීන් හැටන් සිරිකුරුස දේවස්ථානය කරා ජන ගංගාවක් ආකාරයට ඇදී එමින් සිටි බවද අනාවරණ විය.
‘දේව මෑණියන්ගේ වම් ඇසෙන් කඳුළක් රත් පැහැයට ගලා යෑම කුඩා දරුවකුගේ ඇසට පළමුව හසුවීම මෙම ප්‍රාතිහාර්යය සත්‍යකැයි හඟවන්නට තිබෙන පැහැදිලි කරුණකි.
කිතුනු ලොව තුළ ඉතිහාසයට එක්ව තිබෙන සිදුවීම් අතර දේව මෑණියන් කිහිප විටක්ම දර්ශනය වූයේ කුඩා දරුවන්ටය. ලුර්දු නුවරද දේව මෑණියන් දර්ශනය වූයේ දරුවන් තුන්දෙනකුටය. හාස්කම් පෑවේ ඔවුනටය. එනිසාවෙන් මෙම කඳුළු ගලා යෑම තුළ කුමක් හෝ සුවිශේෂ ආගමික පණිවුඩයක් වේ.’
මුහුණු පොතෙහි කතෝලික බැතිමතුනටම පමණක් වෙන්වූ ගිණුමක එලෙස සටහන් වූ පෝස්ටුවක් මුදාහැරිණි. ඒ කියමනෙහි සත්‍යයක් වේද? සත්‍යයක් වේ නම් ඒ පණිවුඩය කුමක්ද?
එය සාමාන්‍ය මිනිසකුගේ සිතුවිල්ලක් බැවින් ඒ ගැන නිශ්චිතව කිසිවක්ම කියන්නට බැරිය. සිය ගණන් සෙනඟ කුඩාගම සිරිකුරුස දේවස්ථානයට යන අතරමගදී කුඩා දරුවකු සහ මිත්තණියක අතර සිදුවූ දෙබසක්ද එම ෆේස්බුක් ගිණුමේම තවත් තැනක සටහන්ව තිබුණේය. ඒ සටහන මෙලෙසය.
‘ඇයි ආච්චියේ සෙනඟ ගොඩක් මෙහෙම යන්නේ…?’
ඉහත කී කුඩා දරුවා මිත්තණියගෙන් අසා ඇත.
‘ජේසු අම්මා අඬනවා බලන්නනේ පුතේ.’ යනුවෙන් මිත්තණිය උත්තර දී ඇත.
‘ඇයි ඉතිං ජේසු අම්මා අඬන්නේ…?’ දරුවා තවදුරටත් විමසා තිබිණි.
‘මොකක් හරි දුකක් කියාගන්න බැරිව අඬනවා ඇති මගෙ හිතේ…’ මිත්තණිය නැවත උත්තර දී ඇත.
ඇත්තෙන්ම දේව මෑණියන්ගේ ප්‍රතිමාවෙන් ලේ කඳුළු ගලා එන මේ සිදුවීමෙහි යම් අනුහසක් තියෙනවාද නැද්ද කියා විනිශ්චයක් දෙන්නට තරම් අනුහස්මය බලයක් අප සතුව නැත. ඒ, අප මිනිසුන් මිසක් දෙවියන් නොවන හින්දාය.
ඒ සියල්ල අතර, මේ ආගමික සිදුවීම වන මොහොතේ එංගලන්තයේ චැනල් 4 රූපවාහිනිය විසින් පාස්කු බෝම්බයේ ශෝකාන්තය ගැන අලුත් හෙළිදරව්වක් ගෙන එමින් සිටින්නේය. චැනල් 4 එකේ අලුත්ම වාර්තා චිත්‍රපටය වූයේ දෙදහස් දහනවය අවුරුද්දේ අප්‍රේල් 21 වැනිදා පුපුරා ගිය පාස්කු බෝම්බය ගැනය. එලෙසම එම ම්ලේච්ඡ ප්‍රහාරයට ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලන පාර්ශ්වයක් සම්බන්ධ යැයි කියාද එම වාර්තා චිත්‍රපටය හරහා ප්‍රකාශ කොට තිබිණි.
දේශපාලන පාර්ශ්වය කවුරුන්ද?
එය එලෙස සිදුවූයේ කෙසේද?
ඉන් ඔවුන් ලද ලාභ ප්‍රයෝජන මොනවාද?
ඒ ප්‍රශ්න කිහිපයට දිය යුතු හරියටම හරියන උත්තර කිසිවක් නැත. ඇත්තේ අනුමාන සහ වක්‍ර සැකයන් පමණකි. එකක් පමණක් නිසැකවම කියන්නට පුළුවන. ඒ, ගෝඨාභය රාජපක්ෂ 69 ලක්ෂයක ඡන්ද ගන්නට කළ එක් කැම්පේන් එකක් වූයේ පාස්කු බෝම්බ ප්‍රහාරයය. අනෙක මහබැංකු බැඳුම්කර වංචාවය.
පොඩ්ඩක් ඔහොම ඉන්න.
කුඩාගම දේව මෑණියන්ගේ ප්‍රතිමාව ලේ කඳුළු ගලන කතාවට චැනල් 4 රූපවාහිනිය තුළ පාස්කු බෝම්බයේ හෙළිදරව්ව මෙතැනදී සම්බන්ධ කළේ ඇයි? එතැන ගැළපීමක් නැහැනේ…?
ගැළපීමක් තියෙනවද නැද්ද කියන කතාව නම් දන්නේ නැහැ.
හැබැයි, කතෝලිකයන් අතර පුංචි කසුකුසුවක් සහ රාවයක් තියෙනවා, හදිසියේම හිස එසවූ චැනල් 4 පාස්කු බෝම්බ හෙළිදරව්ව සමගම වාගේ දේව මෑණියන්ගේ ප්‍රතිමාව ලේ කඳුළු හෙළුවේ ඇයි? කුමක් හෝ අදිසි බලයක, එහෙම නැත්නම් දේව අනුහසක නිමිත්තක් එතැන තියෙනවා වෙන්නට බැරිද?
ඔව්, දේවත්වයක් නොලද මිනිසුන් වූ අයට එහෙම හිතෙන එකේ වරදක් නැත.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු










