පාසල් පැවැත්වෙන කාලසීමාව විනාඩි 30 කින් දීර්ඝ කිරීමට රජය පියවර ගන්නේ නම්, ඒ වෙනුවෙන් තමන්ටද සාධාරණ වැටුප් වැඩිවීමක් ලබාදිය යුතු බව ගුරුවරු පවසති.Sri Lanka Latest News
දැනට පැවැත්වෙන පාසල් කාලය දීර්ඝ කෙරෙන බව කීමෙන්ම තමන්ට තව තවත් රාජකාරි සහ වගකීම් පැවරෙන බව පෙන්වාදෙන ඔවුහු එසේ පැවරෙන වගකීම් ඉටුකිරීමේදී තමන්ටද සාධාරණයක් ඉටුවිය යුතු බව පෙන්වා දෙති.
මේ පිළිබඳ අදහස් දැක්වූ ලංකා ස්වාධීන ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් විජේරත්න මහතා ‘යෝජිත වැඩපිළිවෙළ මගින් ඉගැන්වීමේ කාලය දීර්ඝ කිරීම තුළින් යම් ඵලදායිතාවක් අපේක්ෂා කරන බව කියනවා. දවසකට විනාඩි තිහකින් පාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කෙරෙන බව පැවසීමෙන් මාසයකට සේවා දින විස්සක් ආවරණය වනවිට, මාසයකට පැය දහයක කාලයක් ගුරුවරු අමතරව සේවය කළයුතු වෙනවා. එසේ බලන විට ගුරු වැටුපට එය ඍජු බලපෑමක් එල්ල වෙනවා’ යනුවෙන් පැවැසීය.
එසේ පාසල් පැවැත්වෙන කාලය වැඩිකිරීම තුළින් ගුරුවරුන්ගේ රාජකාරි මෙන්ම වගකීම් කාලයද දීර්ඝ වන බව පෙන්වා දෙන ලංකා ස්වාධීන ගුරු සේවා සංගමයේ ලේකම් විජේරත්න මහතා, මෙම තත්ත්වය හමුවේ ගුරුවරුන්ගේ වැටුපද අනිවාර්යයෙන්ම සාධාරණව වැඩිකළ යුතු බවද, අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු වෘත්තීය සමිති සමග මේ ගැන සාකච්ඡා කළ යුතු බවද අවධාරණය කරයි.
නන්දන ශ්‍රී දොරකුඹුර










