වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ගෙන යන්න දෙන්නේ නැහැ…
ප්‍රධාන කුලුනු 04ක් ඔස්සේ රට ගොඩනඟනවා…
ඉදිරි වසර 05 තුළ රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කරනවා…
රට ගොඩනැගීමේ දී තරුණ පරපුර පිළිබඳ දැඩි විශ්වාසයක් තබා තිබෙනවා…
මීට වසරකට පෙර තිබූ තත්ත්වයට රට යළි ඇද දැමීමට කිසිවකුට ඉඩ නොදෙන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම අරගලය 2048 වන විට ලෝකයේ පූර්ණ සංවර්ධිත රටක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම බව පැවසීය.(Sri Lanka Latest News)
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ‘ජාතික පරිවර්තන මාර්ග සිතියම’ රටට ඉදිරිපත් කරමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් පසුගිය මාස 09ක කාලය තුළ රජය ගෙන ඇති පියවර සහ ශ්‍රී ලංකා රාජ්‍යයේ සමාජ, ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළෙහි ඉදිරි පියවරයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළේය.
එමෙන්ම අපේක්ෂිත ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා වන මෙහෙයුම් යෝජනාවලිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රටට ඉදිරිපත් කරනු ලැබීය.
රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ, ආයෝජන ප්‍රවර්ධන, සමාජ ආරක්ෂණ ජාලය, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ යන ප්‍රධාන කුලුනු 04ක් ඔස්සේ රටේ ඉදිරි ගමන සැලසුම් කර තිබේ. රටේ ආර්ථිකය පූර්ණ පරිවර්තනයකට ලක්කිරීමේ ක්‍රියාදාමයට අවශ්‍ය තාක්ෂණික සහ තිරසර ප්‍රයත්නයන් ක්‍රියාත්මක කරලීම සඳහා පුද්ගලික අංශයේ යෝජනා ලබාගැනීමට සංඝායනා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නවීන ලෝකයට හා නවීන තාක්ෂණයට ගැළපෙන පරිදි රටේ ආර්ථිකය හැඩගස්වා නොගතහොත් රට ආපස්සට ගමන් කරන බවත් එහි අවසානය රට ආර්ථික යටත් විජිතයක් වීම බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, එබැවින් අප අලුතින් සිතා අලුත් ගමනක් යාමට කටයුතු කළ යුතු අතර ඊට අවශ්‍ය කඩිනම් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවිය යුතු බවත් අවධාරණය කළේය.
නියාමන, ප්‍රසම්පාදන සහ දේශපාලන යන සියලු අංශයන්හි දූෂණ සම්පූර්ණයෙන් අත්හිටුවීම සඳහාත්, ඩිජිටල්කරණය සහ වගවීම පදනම් කරගත් රාජ්‍ය යාන්ත්‍රණයක් තුළින් දූෂණ විරෝධී පිළිවෙත් ක්‍රියාත්මක කරලීම සඳහාත් විශේෂ කාර්ය සාධක බළකායක් ස්ථාපිත කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
ඉදිරි වසර 05 තුළ රටේ ආර්ථිකය පූර්ණ ලෙස ස්ථාවර කරන අතර, ඊළඟ වසර 25 තුළ ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන දියුණු රටක් බවට පත්කරන බව පැවසූ ජනාධිපතිවරයා මුල් වසර 05න් පසු රට නඟාසිටුවීමේ වැඩපිළිවෙළ ඊළඟ පරම්පරාවට පැවරෙන බවත්, ඒ සඳහා තරුණ තරුණියන් සූදානම් කරවන බවත් කියා සිටියේය. එම කාර්යයට උර දීමට අපේ තරුණ පරපුරට හැකියාව ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මෙම ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පහසු කටයුත්තක් නොවූවත් සෑම විටම රටට යහපත් දේ සිදු කිරීමට රජය කැපවී සිටින බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අප ගන්නා තීරණ කෙතරම් දුෂ්කර සහ වේදනාකාරී වුවද අනාගත පරපුර වෙනුවෙන් රට යළි ඉහළට ඔසවා තැබීමට හැකි වන්නේ එම දුෂ්කර මාවතේ නිවැරදි ප්‍රතිපත්ති අනුව ඉදිරියට යාමෙන් පමණක් බවද කියා සිටියේය.
වෙහෙසීමේ, කැපවීමේ සහ ඉලක්කගත නිවැරදි ගමනක් යෑමේ ප්‍රතිඵලය අද අප සැම භුක්ති විඳින බවත් 70%ක් දක්වා ඉහළ නැඟ තිබූ උද්ධමනය 25.2%ක් දක්වා පහළට ගෙන ඒමට හැකිව තිබෙන බවත් වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, මේ නිසා ජනතාවගේ ජීවන බර ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු වෙමින් පවතින අතර මුළුමහත් සමාජයටම එම සහනය දැනෙන්නට පටන් ගෙන තිබෙන බව ද කියා සිටියේය.
පැමිණි අසීරු ගමනේ දී සියලු දුෂ්කරතා විඳගත් රටේ සමස්ත ජනතාවට සිය කෘතඥතාව පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙය අවස්ථාවක් කරගත් අතර මෙම මාර්ගයේ ඉදිරියටම යාමෙන් දුෂ්කරතා සහ පීඩාවන් අවම කර ගනිමින් නිසැකවම රටට යහපත් ආර්ථිකයක් නිර්මාණය කරගත හැකි බව ද කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය,
අපේ රටේ ආර්ථිකය හැසිරවීමේ වගකීම බාරගත් දවසේ පටන් මම විටින් විට ආර්ථිකය පිළිබඳ සැබෑ තොරතුරු ඔබට හෙළිදරව් කළා. මට අවශ්‍ය වුණේ විනිවිදභාවයෙන් යුතුව ආර්ථිකය පිළිබඳ සැබෑ චිත්‍රය හැම විටම ඔබ ඉදිරියේ තැබීමටයි. රටේ සැබෑ තත්ත්වය, ඒ තත්ත්වයෙන් ගොඩ ඒමේ මාර්ගය වගේම රට වෙනුවෙන් අප සියලු දෙනාම සිදු කළ යුතු කාර්යභාරය පිළිබඳවත් මම ඔබව දැනුවත් කළා.
පීඩාකාරී ආර්ථිකයකින් දුක් කම්කටොලු රැසකට මුහුණ දෙමින් සිටි අප දැන් ක්‍රම ක්‍රමයෙන් සහනදායී මට්ටමකට එළඹෙමින් සිටිනවා. දුර්වල වී, අඩපණ වී තිබුණු අපේ ආර්ථිකය කිසියම් ස්ථාවර තත්ත්වයකට පත්වෙමින් තිබෙනවා.
මෙම තත්ත්වය අපට උදාකර ගැනීමට හැකි වූයේ පසුගිය කාලය තුළ අප ක්‍රියාත්මක කළ නිවැරදි පිළිවෙත් නිසයි. ඒ වගේම අප සැම එකට එක්වී අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන් නිසයි. ඒ අභියෝගයන් හමුවේ විවිධ දුෂ්කරතා විඳදරා ගත් නිසයි.
මාතෘ භූමිය වෙනුවෙන් මේ දුෂ්කරතා විඳදරා ගත් ඔබ සැමට මගේ කෘතඥතාව පිරිනැමීමට මම කැමැතියි. තව ටික කාලයක් මේ මාර්ගයේම ඉදිරියට යෑමෙන් දුෂ්කරතා සහ පීඩාවන් අවම කර ගනිමින් යහපත් ආර්ථිකයක් නිර්මාණය කරගැනීමට අපට පුළුවන්කම ලැබෙනවා.
ශ්‍රී ලංකාව දැන් වර්ධනාත්මක, සමෘද්ධිමත් ගමනක් යාමට සූදානම්. අප ඒ ගමන ඉදිරියට යා යුත්තේ කෙසේද? ඒ සඳහා අප අනුගමනය කළ යුතු පිළිවෙත් මොනවාද?
අද මම ඔබට පැහැදිලි කරන්න යන්නේ ඉදිරියේදී අප අනුගමනය කරන්නට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ගයයි. අපේ ඉදිරි මාර්ග සිතියමයි.
අපේ ඉදිරි ගමන සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ සහ සමාජයේ පරිපූර්ණ පරිවර්තනයක් සිදුකළ යුතු බව මම මීට පෙර අවස්ථා ගණනාවක දී අවධාරණය කළා. 2023 අය වැය මගින් මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ, ප්‍රතිසංවිධාන සහ නවීකරණ පිළිබඳ මම කරුණු සඳහන් කළා. යහපත් අනාගතයක් ගොඩනැංවීම වෙනුවෙන් අප වර්තමානයේ මේ පියවර ගත යුතුමයි.
මෙහිදී අප ගන්නා තීන්දු දුෂ්කර මෙන්ම වේදනාකාරී වෙන්නට පුළුවන්. ජනප්‍රිය නොවන්නට පුළුවන්. නමුත් අපේ රට යළි ඉහළට ඔසවා තබන්නට අපට හැකි වන්නේ මේ දුෂ්කර මාර්ගයේ නිවැරදි ප්‍රතිපත්ති අනුව ඉදිරියට යාමෙන් පමණයි. අපේ අනාගත පරම්පරාවට නිදහසේ සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරගැනීමට හැකි වන්නේ මේ මාර්ගයේ ඉදිරියට ගියොත් පමණයි.
සාම්ප්‍රදායික දේශපාලනයේ යෙදෙන සමහර කණ්ඩායම් ආර්ථික පුනර්ජීවනය වළක්වාලීමට විවිධ උත්සාහයන් ගන්නවා. ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳව බොරු බියක් ජනතාව තුළ ඇති කරන්නට වෙහෙසෙනවා. හැමදාමත් කියන ‘රට විකිණීමට යනවා’ යන සටන් පාඨයෙන් තවදුරටත් ජනතාව මුළා කරන්න උත්සාහ ගන්නවා.
රටේ ආර්ථිකය නංවාලීම සඳහා ගන්නා සෑම පියවරකදීම ඔවුන් ඉදිරියට දැම්මේ, මේ සටන් පාඨයයි. පනස් ගණන්වලදීත් රට විකුණනවා කියමින් ජනතාව නොමඟ යැව්වා. හැට ගණන්වලදීත් රට විකුණනවා යැයි කියමින් ජනතාව මුළාවට පත් කළා. හැත්තෑ ගණන්වලදීත් රට විකුණනවා යැයි කියමින් ජනතාව තුළ අනියත බියක් මැව්වා. අසූ ගණන්වලදීත් රට විකුණනවා යැයි කියමින් ජනතාව භීතියට පත් කළා. එදා සිට අද දක්වාම මේ කණ්ඩායම් කළේ රට විකුණන සටන් පාඨය ඉදිරියට ගනිමින් ආර්ථික ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීමයි.
මෙවැනි සටන් පාඨවලින් ඔබ තවදුරටත් රැවටෙන්නේ නැති බව අප දන්නවා. අප සියලු දෙනා වෙහෙස විය යුත්තේ, කැපවිය යුත්තේ රට ඉහළට ඔසවා තැබීමටයි. 2048 වන විට ලෝකයේ පුර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වීමේ අපේ ඉලක්කය ඉටුකර ගැනීමටයි. නවීන ලෝකයට හා නවීන තාක්ෂණයට ගැළපෙන පරිදි අපේ ආර්ථිකය හැඩගස්වා ගත්තේ නැත්නම් අපට යන්නට සිදුවෙන්නේ ආපස්සටයි. එවැනි අවගමනක ප්‍රතිඵලය වෙන්නේ රට ආර්ථික යටත් විජිතයක් බවට පත්වීමයි.
අපි ඉදිරියට යමු. තරගකාරී ලෝකයට මුහුණ දියහැකි අන්දමට අපේ ආර්ථිකය හැඩ ගස්වා ගනිමු. රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රමානුකූලව සිදු කරමු.
ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා අප සිදුකරන්නේ වැරදි ප්‍රතිපත්ති, දුර්වල වැඩසටහන්, අසාර්ථක ව්‍යාපෘති, ක්‍රමවත් මාවතකට ගැනීමයි. බංකොළොත් රටක් යළි ගොඩනැගීම පැරණි සම්ප්‍රදායික ක්‍රමවේදවලින් සිදුකළ නොහැකියි. අපි අලුතින් සිතා අලුත් ගමනක් ආරම්භ කළ යුතු වෙනවා.
ආර්ථික ප්‍රතිසංස්කරණ ඔස්සේ ලැබෙන ප්‍රතිඵල මොනවාද?
ඔබේ ජීවන බර අඩු වෙනවා. ජීවන මට්ටම ඉහළ යනවා. එය වරදක්ද? එය රට විකිණීමක්ද?
ඉතා කුඩා මට්ටමේ සිට මහා පරිමාණ මට්ටම දක්වා ශක්තිමත් වර්ධනයක් සහිත ව්‍යාපාර ඇති කරලීම සඳහා නව අවස්ථාවන් නිර්මාණය වෙනවා. එය වරදක්ද? එය රට විකිණීමක්ද?
රටේ දිළිඳුම සහ අසරණම ජන කොටස් ආරක්ෂා කරමින් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය සහන සහ පහසුකම් සැලසෙනවා. එය වරදක්ද? එය රට විකිණීමක්ද?
රාජ්‍ය, මේ ව්‍යවසායන්ගෙන් රුපියල් මිලියන ගණනක් වන පාඩු පියවා ගැනීම සඳහා ජනතාවට බර පැටවීමේ සම්ප්‍රදාය අවසන් වෙනවා. එය වරදක්ද? එය රට විකිණීමක්ද?
විනිවිද පෙනෙන ආකාරයට වගවීමෙන් සහ වගකීමෙන් කටයුතු කිරීමේ පිළිවෙතක් සැකසෙනවා. එය වරදක්ද? එය රට විකිණීමක්ද?
ලෝකයේ වඩාත්ම වේගවත් වර්ධනයක් සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. එය වරදක්ද? එය රට විකිණීමක්ද?
තිරසර දියුණුවක් සහ සාර්ථකත්වයක් අපේ රටට අත්පත් කරදීම සඳහා අපි මේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරනවා. මෙම ප්‍රතිසංස්කරණ ඔස්සේ ශ්‍රී ලංකාවේ නවීකරණය වේගවත් හා අර්ථවත් කිරීමටත්, අපේ වෙළෙඳපොළ පුළුල් කරගැනීමටත්, ජාත්‍යන්තර ප්‍රජාව සංවර්ධන ව්‍යායාම සඳහා වැඩි වැඩියෙන් දායක කරගැනීමටත් අවකාශ සැලසෙනවා.
මේ ගමන ලෙහෙසි පහසු ගමනක් නොවන බව අප දන්නවා. බොහෝ අභියෝගයන්ට තවදුරටත් මුහුණ දීමට සිදුවන බවත් අප දන්නවා. නමුත් අප ඒ සියලු අභියෝග ජයගැනීමට කටයුතු කරනවා. හැම විටම රටට යහපත් දේ සිදු කිරීමට අපේ රජය කැපවී සිටිනවා.
මීට වසරකට පමණ පෙරාතුව රට ඇදවැටී තිබුණු තත්ත්වයට අපේ මාතෘ භූමිය යළි ඇද දැමීමට අප කිසිවකුට ඉඩ දෙන්නේ නැහැ. එදා රට වැසියන් මුහුණ දුන් තත්ත්වය අද සමහරුන්ට අමතකයි. රටේ ආර්ථිකය සියයට 7.8කින් හැකිළුණා. විදේශ විනිමය සංචිත අන්තිම අඩියට වැටුණා. ලෝකයේ වැඩිම උද්ධමනයක් ඇති රටවල් අතරට අපි එක්වුණා. විදේශ ණය ගෙවාගන්න බැරිවුණා. රට බංකොළොත් වුණා. ආහාර හිඟ වුණා. තෙල් සහ ගෑස් ලබාගැනීමට දින ගණන් පෝලිම්වල ඉන්න සිදුවුණා. පොහොර නැති වීම නිසා ගොවිතැන් පාළු වුණා. අස්වනු නැති වුණා. ගොවීන් අසරණ වුණා. ව්‍යාපාර කඩාවැටුණා. රැකියා ආදායම් මාර්ග නැති වුණා. රෝහල්වල බෙහෙත් හිඟ වුණා. පාසල් වැහුණා. පැය 10ක, 12ක විදුලිබල කප්පාදුව ඇති වුණා. ජනතාවට ජීවත් වීමට තිබූ සියලු ඉඩකඩ හැකිළී ගියා. රටම උඩු යටිකුරු වුණා. ජනතාව පාරට වැටුණා.
දුක් පීඩාවන් විඳදරා ගැනීමට නොහැකි තැන ජනතාව නොසන්සුන් වුණා. අරගල කරන්නට පටන් ගත්තා. මම අගමැති හැටියට මේ රටේ ආර්ථිකය බාරගත්තේ එවන් දුෂ්කර පසුබිමකයි. මට තිබුණේ එකම එක ශක්තියක් පමණයි. ඒ මාගේ මාතෘ භූමිය මේ අසීරු වැල් පාලමෙන් ආරක්ෂිතව එගොඩ කරන්නට හැකි බවට මා තුළ වූ විශ්වාසය හා අධිෂ්ඨානය පමණයි.
අප මුලින්ම රට ස්ථාවර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කළා. දැඩි මූල්‍ය පාලනයකට රට යටත් කළා. මේ අර්බුදයෙන් ගොඩ ඒමට තිබෙන එකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම බව අප කල්තියා දැන සිටියා. ඒ නිසා අප ඔවුන් සමග සාකච්ඡා ආරම්භ කළා. දීර්ඝ සාකච්ඡා වට ගණනාවකින් පසු විස්තීරණ ණය පහසුකම අපට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වුණා. ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු වෙනත් මූල්‍ය ආයතන සමග එක්ව රටට ණය ආධාර ලබාගැනීමේ වැඩසටහන් ආරම්භ කළා.
මෙහිදී අපේ අසල්වැසි ඉන්දියාව අපට විශාල වශයෙන් උදව් උපකාර කළා. බංග්ලාදේශය සහාය වුණා. ජපානය මානුෂීය ආධාර ලබා දුන්නා. චීනය, ඉන්දියාව සහ ජපානය වැනි අපේ ප්‍රධාන ණය හිමියන් මෙන්ම පැරිස් සමාජය ද අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වුණා. මේ සියලු රටවලටත්, ආයතනවලටත්, ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් මම මාගේ කෘතඥතාව පළකර සිටිනවා.
රාජ්‍ය වියදම් කපාහැරීම නිසා විශාල මුදලක් ඉතිරි කරගැනීමට අපට පුළුවන් වුණා. අපේ විදේශ ශ්‍රමිකයන් රට ගොඩනැංවීමේ ව්‍යායාමයට උපරිමයෙන් දායක වෙනවා. 2022 හා සසඳන විට මේ වසරේ මුල් කාර්තුවේ විදේශීය ශ්‍රමිකයන් එවන මුදල් සියයට 80.6කින් ඉහළ නැංවී තිබෙනවා. නව බදු ප්‍රතිපත්ති නිසා 2023 පළමු කාර්තුවේ රුපියල් බිලියන 210ක අතිරේක ආදායමක් ලබා තිබෙනවා.
වෙහෙසීමේ, කැපවීමේ සහ ඉලක්කගත නිවැරදි ගමනක් යෑමේ ප්‍රතිඵල අද අප සැම භුක්ති විඳිනවා. සියයට 70ක් දක්වා ඉහළ නැග තිබුණු උද්ධමනය දැන් සියයට 25.2ක් දක්වා පහළ වැටිලා. මේ නිසා ජීවන බර ක්‍රම ක්‍රමයෙන් සැහැල්ලු වෙමින් පවතිනවා. මුළුමහත් සමාජයටම මේ සහනය දැනෙන්න පටන් අරන් තිබෙනවා.
මෙතැන් සිට අප ඉදිරියට ගමන් කරන්නට බලාපොරොත්තු වන ආකාරය ගැන මම ඔබට පැහැදිලි කිරීමට කැමතියි. අපේ ඊළඟ ක්‍රියා පිළිවෙත, එහෙමත් නැත්නම් මාර්ග සිතියම සඳහා අපි ප්‍රධාන කරුණු හතරක් පදනම් කර ගන්නවා. තවත් විදියකට කිව්වොත් අපේ අනාගතය අප ගොඩනංවන්නේ ප්‍රධාන කුලුනු හතරක් මතයි.
පළමුවැනි කුලුන – රාජ්‍ය මූල්‍ය හා ප්‍රතිසංස්කරණ
රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අප එකඟත්වයකට පැමිණියා. එම එකඟත්වය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අප ලබාගත්තා.
බදු ප්‍රතිපත්තිය, ආදායම් පරිපාලනය සහ වියදම් කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි ප්‍රතිසංස්කරණ අප ආරම්භ කර තිබෙනවා. ඒ ප්‍රතිසංස්කරණ අප ඉදිරියට ගෙන යනවා. රාජ්‍ය ණය දීර්ඝ කාලීනව තිරසාර මට්ටමක පවත්වා ගෙන යෑම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු අප හඳුන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය තහවුරු වන ආකාරයට නව ආර්ථික ප්‍රතිපත්ති අප හඳුන්වා දෙනවා.
ආර්ථිකය ස්ථාවර කරලීමේ අරමුණින් අපි 2022 මැයි මාසයේ සිට වියදම් සීමා කිරීමේ චක්‍රලේඛ ගණනාවක් ක්‍රියාත්මක කළා.
අනවශ්‍ය වියදම් තවදුරටත් අඩු කිරීමට අප පියවර ගන්නවා. හැකි සෑම අවස්ථාවකදීම රාජ්‍ය වියදම් උපරිමයෙන් සීමා කළයුතු බව අප නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
1) අනවශ්‍ය වියදම් නවතා දැමීම.
2) වියදම් අවම කරගැනීමට හැකිවන පරිදි රාජ්‍ය ක්‍රියාකාරකම් සරල කිරීම.
3) වියදම් අවම කරගත හැකි වන පරිදි රාජ්‍ය ක්‍රියාකාරකම් සැලසුම් කිරීම.
4) වියදම් අවම කරගැනීම සඳහාත්, ගුණාත්මක සේවාවන් සැපයීම සඳහාත් ස්වයංක්‍රීය සහ ඩිජිටල් ක්‍රමවේද අනුගමනය කිරීම කෙරෙහි මූලික වශයෙන් අපගේ අවධානය යොමු වෙනවා.
දෙවැනි කුලුන – ආයෝජන ප්‍රවර්ධනය
රටක ආර්ථිකය ඉහළ නැංවීම සඳහා ආයෝජන ප්‍රවර්ධනය අතිශය වැදගත් සාධකයක්. ආර්ථික වර්ධනයක් කරා අප යන ගමන වඩාත් ශක්තිමත් කරගත හැකි වන්නේ රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අතර ඇති කරගන්නා අන්‍යෝන්‍ය සහයෝගය මතයි.
දකුණු කොරියාව සහ සිංගප්පූරුව මෙන් අප රට ද අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් බවට පත්කරලීම අපේ අභිලාෂයයි.
ඒ වගේම පුනර්ජනනීය බලශක්ති, හරිත හයිඩ්‍රජන් සහ ඩිජිටල්කරණය වැනි නවීන සහ තිරසර ප්‍රයත්නයන් කරා යොමුවීමට ද අප බලාපොරොත්තු වෙනවා. මේ සඳහා යහපත් ආදර්ශ ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් අපට දැකබලා ගන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය පූර්ණ පරිවර්තනයකට ලක් කිරීමේ ක්‍රියාදාමයේ දී එවැනි නවීන තාක්ෂණයන් හා තිරසර ප්‍රයත්නයන් ද වැදගත් වෙනවා.