සාමාන්‍යයෙන් අප්‍රේල් පළමුවැනිදා අපි හඳුන්වන්නේ මෝඩයගෙ දවස විදියට. ඒක ලංකාවෙ, ලෝකයෙම තියෙන එක්තරා නියමයක්. අප්‍රේල් පළමුවැනිදාව ඒ තරම් විශේෂ දවසක් නෙවෙයි. බොහෝ දෙනෙක් කරන්නේ කාට හරි බොරුවක් කියලා රවට්ටන එක. හැබැයි හැමදාම බොරුවලින් රැවටිච්ච ජාතියක් වෙච්ච අපිට අප්‍රේල් පළමුවැනිදාව විතරක් විශේෂ දවසක් බවට පත්වෙන්නේ නෑ. ඒකට හේතුව වෙන්නේ අපිව හැමදාම පාලකයන් විසින් ගොනාට අන්දනවා. හැබැයි මේ අවුරුද්දේ අප්‍රේල් පළමුවැනිදාව අතිශය විශේෂ දවසක් බවට පත්වුණා. උඩුයටිකුරු වෙච්ච දේශපාලනික සිදුවීම් රාශියක් එක්ක අප්‍රේල් පළමුවැනිදාව ගිනිගත් දිනයක් බවට පත්වුණා. අප්‍රේල් පළමුවැනිදාවෙ වඩා වැදගත් සිදුවීම මොකක්ද කියලා කෙනෙක් මගෙන් ඇහුවොත් මට ඒකට දෙන්න ඍජු උත්තරයක් නෑ. හැබැයි අප්‍රේල් පළමුවැනිදාව විවිධ කරුණු කාරණා නිසා වැදගත් වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නීතිඥවරුන්ගේ ඉතිහාස කතන්දරය අලුතෙන් ලියැවුණු දවසක් විදියට අප්‍රේල් පළමුවැනිදාව හඳුන්වාදෙන්න මම කැමැතියි. ඒකට හේතුවක් තියෙනවා. නීතිඥ සහෝදර සහෝදරියනි, මේ කතන්දරේ මෙහෙම කිව්වට ඔබ අමනාප වෙන්න එපා.
බොහෝ විට ලංකාවෙ නීතිඥවරුන්ගේ ඉතිහාසය පිළිබඳ සාමාන්‍ය ජනතාවගෙ මතය වුණේ ඒ තරම් හොඳ එකක් නෙවෙයි. ඔවුන් සුදු ලෝගුවට ඉතා ආදරේ කළත්, කළු ලෝගුවට ඒ තරම් ආදරයක් දැක්වූවෙ නෑ. බොහෝ විට නීතිඥවරුන්ට තැන් තැන්වල මිනිස්සු බැන්නා. බොරු කියන මිනිස්සු, හොරු බේරගන්න මිනිස්සු වගේ චෝදනා නීතිඥයන්ට එල්ල වුණා. හැබැයි මිනිස්සුන්ට නීතිඥවරුන්ව මතක් වුණේ තමන්ට කරදරයක් වුණු වෙලාවට. කොන්දේසි විරහිතව මිනිස්සුන්ට උදව් කරන නීතිඥවරු ලංකාවෙ හිටියත් කාටවත් ඒ ගැන අදහසක් තිබුණෙ නෑ. මිරිහානෙදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙ නිවෙසට ප්‍රහාර එල්ල කරන්න ගියා කියලා 54 දෙනෙක් අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ මේ නීතිඥවරු පිළිබඳ මිනිස්සුන්ට තිබුණු චිත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මේ ලියන්නේ ඒ චිත්‍රය වෙනස් වූ තැනක සිට. අද මම නීතිඥවරු නරකයි කියලා මේ ලිපියෙ ලිව්වම මම දන්නවා ශ්‍රී ලංකාවෙ පුරවැසියන් වැඩි දෙනෙක් මාත් එක්ක තරහා වෙනවා. ඒකට හේතුව ඔබ අද කැමැති නෑ නීතිඥවරුන් නරකයි කියලා වැරැදීමකින් හෝ කියනවාට. ඒකට හේතුව වෙන්නේ මේ සිදුවීම.
මිරිහානෙදි 54 දෙනෙක් අත්අඩංගුවට ගන්නවා. ඒක මම ඉක්මනින් ලියලා දැම්මේ මේ කතන්දරේ හැමෝම දන්න දෙයක් හින්දා. මේ 54 දෙනා අත්අඩංගුවට ගන්නේ පහරදීලා, දැඩි ලෙස ශාරීරිකව හානි කරලා බවයි පසුව අපට දැනගන්න ලැබෙන්නේ. මේ ගැන මට කිව්වෙත් එක්තරා නීතිඥ මිතුරෙක්. ඔහු ඇසින් දැකලයි මගෙත් එක්ක ඒ ගැන කතා කළේ. මිනිස්සුන්ට නැති වෙන්න ගහල කියලා ඔහු මට කිව්වා. මේ කතන්දරේ ඇත්ත නැත්ත මම දන්නෙ නෑ. වගකීම් රහිතවයි මම මේ කතාව කියන්නේ. එක්තරා කෙනෙක් මට කියූ පමණින්. ඒ නිසා මේ පහරදීම කුමන මට්ටමින් සිදුවුණාද, කාගෙ වුවමනාවට සිදුවුණාද, ඇත්තටම එහෙම කෙනෙක් ගැහුවෙ නැද්ද කියන එක ගැන නඩු හබවල පැටලෙන්න අවශ්‍යතාවක් නෑ. එහෙම නැත්නම් ගැහුවෙ නෑ කියලා මේ කතාව මම ඉතා කාරුණිකව ඉල්ලා අස්කර ගන්නවා. ඒ නිසා ගැටුමක් ගැටලුවක් ඇතිකර ගන්න එපා.
කොහොම නමුත් මේ සිදුවීම පිළිබඳ කතා කරද්දී අහන්න ලැබුණු දේ තමයි මිරිහානෙදි අත්අඩංගුවට ගත්ත 54 දෙනා අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාව. ඒ අවස්ථාවෙදි කවුරුත් නොහිතපු විදියට නීතිඥවරු 300ට ආසන්න ප්‍රමාණයක් අධිකරණ භූමියට ඇවිල්ලා හිටියා නොමිලේ පෙනී සිටින්න. මේ සැකකරුවන් සම්බන්ධයෙන්. ඊට කලින් මිරිහාන පොලිසියටත් මේ නීතිඥවරු විශාල ප්‍රමාණයක් ගියා. පොලිසියට හිතාගන්න බැරි විදියට මේ නිතිඥවරු මේ ස්ථානයට සහභාගි වෙන්න පටන් ගත්තා. ඒ අය අතර ආධුනික නීතඥවරුන්ගේ සිට ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්තය දක්වාම ආවා. ඔහු ඇතුළු ජනාධිපති නීතිඥවරු, ප්‍රකට නීතිඥවරු, තරුණ නීතිඥවරු, තරුණ නීතිඥවරියො, ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් ඊයෙ පෙරේදා පිටවෙච්ච ආධුනික නීතිඥවරුන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම 300ක් විතර කියලයි නිල නොලත් විදියට දැනගන්නට ලැබෙන්නේ. නමුත් අධිකරණ ශාලාව තුළ සිටි සමහර අය අපිත් එක්ක කියපු විදියට මේ පිරිස 300ක් නෙවෙයි 700ට ආසන්න ප්‍රමාණයක් කියලා නිල නොලත් ආරංචිමාර්ග අනුව අපි දන්නවා. කොහොම නමුත් මේ 54 දෙනා සම්බන්ධව බොහෝ තැන්වල බොහෝ විට ඔවුන් නිදහස් වුණා, ඔවුන්ට ඇප දුන්නා කියලා එහෙන් මෙහෙන් ආරංචි පැතිරුණත් ඒක ඒ තරම් සරලව සිද්ධ වුණේ නෑ. හඳුනාගැනීමේ පෙරට්ටුවක් සම්බන්ධව අදහසක් සහිතව නඩුව නුගේගොඩ අධිකරණයේදී රාත්‍රිය වනතුරු ගමන් කරමින් තිබුණා. රාත්‍රී 8.32 පමණ වන විට නුගේගොඩ අධිකරණය තුළ තිබුණු තත්ත්වය පිළිබඳ අපට දකින්න ලැබුණේ එකම හිස් ගොඩක් විදියට. රාත්‍රී 9 පමණ වන තුරුත් මේ නඩුව ඒ විදියටම තිබුණා. නඩුව සම්බන්ධව විවිධ තර්ක විතර්ක ඉදිරිපත් වෙමින් තිබුණා. නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් ඇතුළු විශිෂ්ට නීතිඥවරු රාශියක් මේ නඩුව වෙනුවෙන් පැහැදිලිව පෙනී සිටියා. ඒ අය අතර ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහත්තයත් හිටියා. බොහෝ දෙනෙක් මේ නඩුවේදි පොලිසිය විසින් උත්සාහ කරවූ කාරණා සිද්ධ වෙයි කියලා හිතුවත් නීතිඥවරුන්ගේ ශක්තිය නිසාම මේ නඩුව සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරන්න ඔවුන්ට හැකියාව ලැබුණා.
නීතිඥවරුන්ගේ තර්කය අනුව මුලින් 54 දෙනාගෙන් 48 දෙනකුට ඇප ලැබුණා. නමුත් ඉන් පසේසේ ඉතිරි හය දෙනාටත් ඇප ලබාගන්න මේ පිරිස සමත් වුණා. එහෙම සමත් වෙලා මේක හරි රසවත් සිදුවීමක් බවටයි පත් වුණේ. සැකකරුවන් අධිකරණ භූමියට එන විට තරුණ නීතිඥවරු විශාල ප්‍රමාණයක් ඒ ස්ථාන බිමේ රැඳී සිටිමින් අප්පුඩි ගැහුවා. නඩුව ඉවර වෙලා මේ තරුණ තරුණියන්ව ඇප මත නිදහස් කරගෙන එළියට රැගෙන එන විට සාමාන්‍ය ජනතාව නීතිඥවරුන්ට අත්පුඩි ගැහුවා. අත්පුඩි ගැහුවේ එතැන හිටිය කළු ලෝගු දාගත්තු නීතිඥවරු 700 දෙනාට නවෙයි. ජනතාව අත්පුඩි ගැහුවේ සැකකරුවන් ලෙස අත්අඩංගුවට පත්වුණු 54 දෙනාට නෙවෙයි. මේ එකිනෙකාට අත්පුඩි ගහගත්තේ සාමාන්‍ය මනුස්සයන්ට. මේක මානුෂීය අරගලයක් බව ඔවුන් ඔප්පු කළා.
නීතිඥවරු එතැනින් පස්සේ නිකන් හිටියෙ නෑ. ඊළඟට 2022 අප්‍රේල් මාසේ 12 වැනිදා අලුත්කඩේට රට වටෙන්ම ආපු නීතිඥවරු එකතුවුණා. එකතු වෙලා විශාල ජන අරගලයක් නිර්මාණය කළා. රට පුරාම ජන අරගල නිර්මාණය වෙමින් යන අතරතුර මේ අය තමන්ගේ වෘත්තීය අවශ්‍යතා පැත්තක තියලා තමන්ගෙ පෞද්ගලික න්‍යාය පත්‍ර පැත්තක තියලා එක බිමක එක තැනක එකතු වුණා. මිනිස්සු වැඩ නතර කරලා අලුත්කඩේට ආවා. ඈත පිටිසර ගම්මානවල නීතිඥවරු තමන්ගෙ වාහනේට තෙල් ගහගෙන තමන් විසින් වාහනය එළවගෙන අලුත්කඩේට ආවා. සමහර වෙලාවට රියැදුරන්ට වැටුප් ගෙවාගෙන නීතිඥවරු පවුල් පිටින් කොළඹ ඇවිල්ලා තිබුණා. ඒ, කිසිම පෞද්ගලික වුවමනාවකට නෙවෙයි, කාගෙවත් බලකිරීමකට නෙවෙයි, යුනියන් එකක වුවමනාවට නෙවෙයි, රස්සාව නැති වේවි කියන බයට නෙවෙයි. ඒ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඒක නිසා මේ ලිපිය ලියන මොහොතේ ආධුනික නීතිඥවරයාගේ සිට ජනාධිපති නීතිඥවරයා දක්වා නීතිඥ සංගමයේ සභාපතිතුමන් දක්වා සියලු දෙනාටම අපි හිස නමා ගෞරවාදරය පිරිනමනවා. නිවට නියාලු ජාතිකයක් විදියට, කොන්ද කැඩිච්ච මිනිස්සු විදියට තැන් තැන්වල ඇකිලිලා හිටපු අපේ පරම්පරාවෙ මිනිස්සුන්ට නීතියෙන් සවිය දුන්නට මේ සටනෙ නීතිඥවරු මාධ්‍යවේදියො, වෛද්‍යවරු, හෙද හෙදියො, ගුරුවරු, දරුවො, ශිෂ්‍යයො ඇතුළු සියලු වෘත්තිකයො ඉන්නවා. ඒ නිසා අපට අරයා හොඳයි, මෙයා හොඳයි කියලා විශේෂයෙන් කියන්න අවශ්‍යතාවක් නැහැ. මේ මොහෙතේ අපට හැමෝම පේන්නේ මිනිස්සු විදියට. හැබැයි මේ සටනේ සාමාන්‍ය ක්‍රියාදාමයෙන් ඔබ්බට ගිහින්, මේ මොහොතේ සැබෑ ජන අරගලයක් නිර්මාණය කරන්න විශාල කැපකිරීමක් කරපු පිරිසක් විදියට නීතිඥවරුන්ගෙ සේවය අපට චුට්ටක්වත් අමතක කරන්න බෑ. ඔවුන් සියලු දෙනාම එකතු වෙලා අලුත්කඩේ භූමියෙදි නීතිපති දෙපාර්තමේන්තුව පැත්තට ගියා. එහෙම ගියේ නීතිපතිවරයාව මුණගැහෙන්නෙ. මේ අයට සටන් පාඨයක් තිබුණා. ඒ,
ඇයි නීතිපතිවරයා විසින් රාජපක්ෂවරුන්ට එරෙහිව තියෙන නඩු ඉල්ලා අස්කර ගන්නේ. ඔවුන් ගිහිල්ලා ඇහුවා නීතිපතිතුමා ඉගෙන ගත්ත නීති පොත වෙන එකක්ද? එහෙම නම් ඒ නීති පොතේ තියෙන නීතිය අපි අපේ දරුවන්ට උගන්වමු. ඔවුන්ට නීතිපතිවරයා මුණගැහෙන්න අවශ්‍යතාවක් තිබුණා. නීතිපති දෙපාර්තමේන්තු දොරකඩට ප්‍රධාන නීතිඥවරු ඇතුළු බොහෝ පිරිසක් පැමිණ හිටියත් නීතිපතිවරයා මුණගැහෙන්න ඔවුන්ට ලැබුණෙ නෑ, නීතිපතිවරයාගෙ නියෝජිතයෙක් ඔවුන් හා කතා කළා. ඔවුන් කිව්වා සමහර විට මේ කතන්දර වචනවලින් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. නමුත් මේ හා සමාන කතන්දර ඔවුන් කිව්වා.
රාජපක්ෂවරුන්ට එරෙහිව පැවරුණු නඩුව ඉවත් කරගන්නවා නම් නීතිපතිවරයා විසින් පවරන ලද සියලු නඩු අස්කර ගන්න. ඒ වගේම නීතිපතිවරයා විසින් නඩු පවරලා නීතිපතිවරයා විසින්ම නඩුව ඉල්ලා අස්කර ගන්න එක වැරැදියි. ඉදිරියේදී මොකක්ද නීතිපතිවරයා මේ සම්බන්ධව ගන්න පියවර කියලා ඔවුන් ප්‍රශ්න කළා. එහෙම ප්‍රශ්න කරලා ඔවුන් කිව්වා මේ පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය දැනගන්න අපි ආයෙත් එනවා කියලා. එහෙම කියල නිකන් හිටියෙත් නෑ. ලංකා නීතිඥ සංගමය ඇතුළු ප්‍රබල නීතිඥවරුන් මේ ගැටලුවට මැදිහත් වුණා. නීතිමය රාමුවක් ඇතුළට වෙලා ඔවුන් මේ වන විට සමහර කාරණා සම්බන්ධව නඩු පවරන්න පවා පියවර අරගෙන තියෙනවා. රටේ ජනතාව තනි නොකර මේ මොහොතේ මේ ගැටුම වෘත්තීය අරගලයක් සේ ගෙන පෞද්ගලික ලාභ අපේක්ෂාව සම්පූර්ණයෙන්ම පසෙකලා මේ විදියට කටයුතු කරන ඒ නීතිඥවරුන්ට අපි හිස නමා ආචාර කරනවා. ඔවුන් මේ විදියටම මෝදර පොලිසියටත් ගියා. මෝදර පොලිසියෙදි අත්අඩංගුවට ගත් තරුණයා සම්බන්ධත් ඔවුන් පෙනී සිටියා.
මේ විදියට බොහෝ තැන්වලදී නීතිඥවරුන් නොමිලේ පෙනී සිටිමින් මේ විදියට කටයුතු කරනවා. සමහර නීතිඥවරුන්ගේ එක නඩුවක් සඳහා පෙනී සිටීමේ ගාස්තුව රුපියල් ලක්ෂ එකමාර දෙක වෙනකොට ඒ ලක්ෂ එකහමාර දෙක ගාස්තු අයකරන නීතිඥවරුත් එදා නුගේගොඩට ඇවිල්ලා නොමිලේ පෙනී සිටියා. තමන්ගෙ දවසක වටිනාකම ලක්ෂ දෙක තුනක් කියලා ගණන් හදාගත්ත නීතිඥවරු සියල්ල පසෙක දාලා අලුත්කඩේ භූමියට රැස්වෙලා හිටියා. තව එකක් කියන්නම්. නීතිඥ අලි සබි්‍ර පවා ඔහුගේ භූමිකාවේ සමහර තැන් ගැන අපට අර්බුදයක් තිබුණත් මේ මොහොතේ අධිකරණ අමාත්‍යතුමනුත් ෆේස්බුක් සටහනක් තියලා තිබුණා. ඒ සටහනෙන් පස්සේ මොකක්දෝ හේතුවකට ඔහු මුදල් ඇමැතිකම භාරගත්තත්, වහාම මුදල් ඇමැතිකම අතහැර දාලා ආපහු ඔහු හිටපු තැනටම ආවා. දැන් ඔහු ඉන්නේ ජනතාවගෙ පැත්තෙද නැද්ද කියන්න අපි දන්නේ නෑ. නමුත් ඒ ෆේස්බුක් සටහනට පමණක්වත් අපි අලි සබි්‍ර අධිකරණ ඇමැතිතුමාටත් හිස නමා ආචාර කරනවා.
ජීවන පහන් තිළිණ










