පසුගියදා බෙංගාල බොක්ක හරහා තමිල්නාඩුවට ඇදී ගිය සුළි කුණාටු තත්ත්වය මත සහ අඩු පීඩන තත්ත්වයක් නිර්මාණය වන අවස්ථාවලදී ඒ දෙසට එකතු වන අපවිත්‍ර වාතය නිසා මතුවන වායු දූෂණය පසුගිය නොවැම්බර් මස සිට ශ්‍රී ලංකාවටද බලපා ඇතැයි පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන දැනුවත් කිරීමේ අංශයේ අධ්යක්ෂ ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
එම වායු දූෂණ තත්ත්වය කොළඹ, මීගමුව, අනුරාධපුර, රත්නපුර, ගාල්ල සහ යාපනය යන ප්‍රදේශවලට බලපා ඇති බවයි ඔහු සඳහන් කළේ.
වායු දූෂණ දත්ත එක්රැස් කිරීම පැය 24 පුරාම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ පරිසර අධිකාරිය ප්‍රාදේශීය මට්ටමින් සිදුකරන බවද සඳහන්ය.
වායු දත්ත දර්ශකය 50-100ත් අතර වේ නම්, මධ්‍යස්ථ වන අතර, 100-200 අතර නම් සුළු ලෙස අහිතකර තත්ත්වයක්ද, 200ට වඩා ඉහළ යෑම මිනිස් සිරුරට අහිතකර බලපෑම් ඇතිවන බවද සඳහන්ය.
පසුගිය අඟහරුවාදා වායු දූෂණය යාපනය, කිලිනොච්චිය ප්‍රදේශයෙන් වාර්තා විණි. එය 218ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත්, තමාද එහිදී එයට මැදිවීම නිසා සිරුරේ දැවිල්ල වැනි ආසාදන තත්ත්වයන්ට ලක්වූ බවයි ආචාර්ය ගුණවර්ධන මහතා පැවැසුවේ.
මෙම වායු දූෂණය පැතිරීම ලබන වසරේ මාර්තු දක්වා දිග්ගැසී යනු ඇති බවද වාර්තා වේ.
මෙම තත්ත්වය නිසා ළමා හතිය වැඩිවී ඇතිවාක් මෙන්ම විවිධ රෝගාබාධයන්ට ප්‍රතිකාර ලබන පුද්ගලයන්ද සෞඛ්‍ය උපදෙස් ලබාගත යුතුව ඇති බව ළමා රෝග විශේෂ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










