විද්‍යාවේ හා තාක්‍ෂණයේ දියුණුවත් සමග ගැහැනියද පිරිමියා තරම්ම දක්ෂතාවලින් පරිපූර්ණ වූවා පමණක් නොව ඇතැම් අංශවලින් පිරිමියාටත් වඩා ශක්ති සම්පන්නව ඉදිරියට පැමිණ ඇති බව මේ වන විට රහසක් නොවේ. ගැහැනිය සතුව පවතින දරාගැනීමේ ශක්තිය ජීවවිද්‍යාත්මක මෙන්ම ඇය වෙත පැවරී ඇති කාර්යභාරය අනුවද පුරුෂයාට වඩා ඉහළ මට්ටමක පවතී. බුදු දහම අනුව ස්ත්‍රිය හා පුරුෂයා වෙන වෙනම හඳුන්වා දී ඇතත් ඉන් එක කොටසකුදු අනෙක් පක්ෂයට වඩා උසස් ලෙස සඳහන් කර නොමැත. අතීත සමාජයේ පැවැති ආකල්ප සමග සසඳන විට වර්තමාන සමාජයේ ගැහැනිය, පිරිමින් සමග කරට කර සිටිමින් සමාජ සංවර්ධනයෙහිලා මහඟු දායකත්වයක් සපයයි. අතීතයේ පිරිමියාට පමණක් සීමා වූ විවිධ වෘත්තීන්හි යෙදෙමින් නූතන කාන්තාව ඒ බව සනාථ කර ඇත. විවිධ ක්ෂේත්‍රයන්හි හා විවිධ කාර්යයන්හි පිරිමියා සමග කරට කර සිටිමින් කුසලතා ප්‍රදර්ශනය කිරීම අතින්ද අද කාන්තාව සමාජයේ ඉදිරියටම ගොස් ඇත. සම්ප්‍රදායික ආකල්ප අනුව ගැහැනියකට පැවරී ඇති කාර්ය කොටස්ද නොපිරිහෙළා ඉටුකරන අතරම විවිධ මට්ටමේ රැකියාවන්හිද නිරත වෙමින් ද්විත්ව භූමිකාවන්හි සාර්ථක ලෙස නියැළී සිටින කාන්තාවෝ අද බහුල වෙති. එමගින් මුලින්ම තම පවුලේ අනාගත දියුණුව සඳහා ද ඒ සමගම පොදුවේ රටේ සංවර්ධනය උදෙසාද ඔවුන් අතින් ඉටුවන මෙහෙවර අනභිභවනීය බව පැවසීමට දෙවරක් සිතිය යුතු නැත.
මේ සියල්ල යථාර්ථයක් වී ඇති බවට හොඳම උදාහරණය වන්නේ 1979 වර්ෂයේ සැප්තැම්බර් 01 වැනි දින ආරම්භ කරනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ වීර සෙබළියන්ය. එවක යුද හමුදාපතිව සිටි ජෙනරල් දේශමාන්‍ය ජේ.ඊ.ඩී. පෙරේරාගේ මැදිහත් වීමෙන් සහ මඟපෙන්වීමෙන් පළමු වැනි ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකාය පිහිටුවන ලදී. එලෙස පිහිටුවූ පළමු වැනි යුද හමුදා කාන්තා බළකායේ අරමුණ වූයේ කාර්යාල රාජකාරි කටයුතුවල යොදවා සිටි සහෝදර සෙබළුන් යුද බිමේ රාජකාරි සහ ක්ෂේත්‍ර රාජකාරි සඳහා මුදා හැරීමය. එම බළකායේ පුහුණුවීම් සිදුකිරීම සඳහා බි්‍රතාන්‍ය රාජකීය කාන්තා බළකායේ උපදේශිකාවක් වූ මේජර් ජේඑග් ලෝසන් දිවයිනට පැමිණීමත් බි්‍රතාන්‍ය රාජකීය යුද හමුදාවේ මඟපෙන්වීම් යටතේ නිලධාරීන් තිදෙනකුගෙන් සමන්විත ප්‍රථම කාන්තා කැඩෙට් නිලධාරිනියන් කණ්ඩායම බි්‍රතාන්‍යයේදී පුහුණුව ලැබීමත් සමග කාන්තා බළකාය ආරම්භ වීය.
ම්ලේච්ඡ ත්‍රස්තවාදය ව්‍යාප්ත වීමත් සමග ඇති වූ ජාතික අවශ්‍යතාවට උරදෙමින් මාතෘ භූමියේ ස්වෛරීභාවය රකිනු වස් සෙබළුන් සහ උරෙනුර ගැටී ක්ෂේත්‍ර රාජකාරි ඉටුකිරීමේ අභිලාසයෙන් දෙවැනි ස්වේච්ඡා කාන්තා බළකායත් ඉන් අනතුරුව තුන්වැනි, හතරවැනි, පස්වැනි හා හයවැනි ස්වේච්ඡා ඒකක හා හත්වැනි නිත්‍ය කාන්තා ඒකකය ස්ථාපන කිරීමත් සමග ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ මෙහෙවර තව තවත් පුළුල් විය. ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකාය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් හේවා බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා යුද්ධෝපකරණ බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා සේවා බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද හමුදා පුරෝගාමී බළකාය, ශ්‍රී ලංකා යුද හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බළකාය ආදියේත් කාන්තා නිලධාරිනියන් හා සෙබළියන් මේ වන විට සේවය කරන අතර, ඔවුන් ඉටුකරන සේවය සුළුපටු නොවේ.
නමුත් අද අපේ අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටින මූලික ක්‍ෂේත්‍ර ඉංජිනේරු හා මානුෂ්‍යවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ පුහුණුව ලත් ප්‍රථම කාන්තා නිලධාරිනියන් හා සෙබළියන් පිළිබඳවය. ‘කාන්තාවට සමතැන ලබාදීමේ’ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අභිමතාර්ථ මුදුන්පත් කර ගැනීමේ අරමුණින් යුතුව යුද හමුදාපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ සංකල්පයකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති (යාපනය) හා ඉංජිනේරු බළකා කර්නල් සේනා විධායක මේජර් ජෙනරල් චන්දන විජයසුන්දරගේ මඟපෙන්වීම යටතේ ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන විසින් කාන්තා සෙබළියන් සඳහා ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදෙස් සාමසාධක රාජකාරී සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණින් මූලික ක්‍ෂේත්‍ර ඉංජිනේරු හා මානුෂ්‍යවාදී බිම්වෙඩි ඉවත් කිරීමේ පුහුණුව ලබාදීමට කටයුතු කරන ලදී. 2021 වර්ෂයේ දෙසැම්බර් මස ආරම්භ කෙරුණු මෙම පාඨමාලාව වවුනියාව බූඔය පිහිටි ඉංජිනේරු බළසේනා මූලස්ථානයේත්, කන්කසන්තුරය පිහිටි 10 වැනි කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේදීත් පවත්වන ලදී. ඉංජිනේරු බළකායට පමණක් ආවේණික මෙම පාඨමාලාව කාන්තා නිලධාරිනියන් තිදෙනකු හා සෙබළියන් 51 දෙනකු ප්‍රථම වරට සාර්ථකව හදාරන ලදී.
ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ දෙවැනි ලුතිතන් ඩී.එම්.ඩී. විතානගේ සිය පාඨමාලාවේ ලද අත්දැකීම් පිළිබඳ අපට විස්තර කළේ මෙසේය.
‘මේ බිම් බෝම්බ ඉවත් කිරීමේ භාරදූර මෙහෙයුම මේ වන තෙක් සිදුකරන්නේ ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ සෙබළුන් විසින් විතරයි. නමුත් ලෝකයේ අනෙක් රටවල් ගත්තාම මෙම රාජකාරී සඳහා කාන්තාවන් යොදවලා තියෙනවා. ඒ අනුව යමින් ශ්‍රී ලංකාවත් නිලධාරිනියන් තිදෙනකුගෙන් සහ සෙබළියන් පනස්එක් දෙනකුගෙන් සමන්විත ප්‍රථම කාන්තා කණ්ඩායම පුහුණු කරලා සූදානම් කරලා තියෙනවා. දැනට අපි පාඨමාලාව සාර්ථකව අවසන් කරලා පුහුණුවීම් කටයුතු ආරම්භ කරලා තියෙනවා. මේ රාජකාරිය අපිට අලුත් අත්දැකීමක් උණත් ඉදිරියේදී අපිට මුහුණ දෙන්න වෙන සියලු අභියෝගවලට ඉතාමත් සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් විදියට හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව ඉන්නවා. ඉංජිනේරු බළකායේ සහෝදර සෙබළුන්ට වගේම කාන්තා බළකායේ සෙබළියන් වන අපටත් නුදුරේදී ශ්‍රී ලංකා මාතෘභූමිය බිම්වෙඩි සහ පුපුරා නොගිය වෙඩි ද්‍රව්‍යවලින් නිදහස් රටක් බවට පත්කර ගැනීමටත් සිවිල් ජනතාවට කිසිම බයක් නැතිව නිදහසේ ජීවත් වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමටත් දායකත්වය ලබාදීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් හිතේ ලොකු සතුටක් තියෙනවා….’ යැයි ඇය අප සමග කීවාය.
‘කාන්තාව යනු අවදානම් සහිත තැනැත්තියක්’ය යන ආකල්පය අවම කිරීමට උපකාරී වන අයුරින් ආකල්පමය වෙනසක් ඇති වීම වැදගත්ය. එසේම ගැහැනිය ආත්ම පරිපූර්ණත්වයට පත්වීම යනු සමස්‌ත සමාජයේ අභිවෘද්ධියෙහි පදනම සවිමත් වීමකි. එබැවින් කාන්තාව කෙරෙහි ගෞරවනීය හා සුබවාදී ආකල්ප වර්ධනය කිරීම ඇය බලගැන්වීමේ ප්‍රධාන ක්‍රියාමාර්ගයක් මෙන්ම ඇයගේ ජීවිතය සුරක්‌ෂිත කිරීමක්‌ද වනු ඇත.
දිලංක ගුණතිලක










