මේ ලියන්න යන්නේ තොරතෝංචියක් නැතුව පිපෙන මල් පොහොට්ටු අස්සේ තුහින කැකුළු දඟ කරන හීතල නුවරඑළියේ. ඇහුව ගමන් හිතට දැනෙන්නේ අපූරු චමත්කාරයක්. ලස්සනක්. නුවරඑළියේ හැම ඉසව්වකටම හැඩයක් තියෙනවා, රටාවක් තියෙනවා, කලාවක් තියෙනවා වගේ නුවරඑළියේ හැම තැනකටම ලස්සනක් තියෙනවා.(Sri Lanka Latest News)
හැම බිම් අඟලකම නුවරඑළියේ මල් පිපෙනවා. ඈත ඉඳලා එන හුළං රැලි අස්සේ අපට දැනෙන්නේ ඇටමිදුලු දක්වා කිඳාබහින සීතලක්. ඒ සීතල මිහිරියි. ඒ සීතල රහයි. ඒ රහ විඳින්න අපි නුවරඑළි යනවා. මල් පිපෙන වසන්තෙට අපි නුවරඑළියේ නතර වෙනවා. හරියට මල් පිපෙන කාලෙට ලෝකෙ කොහෙ හරි ඉඳන් ලංකාවට ඉගිළිලා එන කුරුලු කිරිලියො වගේ. අපි ආදරේ කරන්නේ නුවරඑළියට. නුවරඑළියේ සමස්තයට. නුවරඑළිය අහසේ ඉඳන් මහපොළොවත් එක්ක තියෙන හැම දේටම අපි කැමැතියි. අපි ආදරෙයි. අපි ආසයි. හැබැයි සමහර අයට නුවරඑළිය කියලා කියන්නේ බිස්නස් එකක්. ව්‍යාපාරයක්. අලෙවි කරන්න පුළුවන් එකක්.
නුවරඑළියට ලොකු ලන්සුවක් තියන්න සමහර අයට පුළුවන්. නුවරඑළිය සල්ලිවලට අරගෙන කෑලි කෑලිවලට කඩලා සුද්දන්ට විකුණලා තමන්ගේ මඩිය තරකර ගන්න හදන මුදලාලිලා ලංකාවේ ඕනෙ තරම් ඉන්නවා. ඒ මුදලාලිලට නුවරඑළියේ කෑලි කෑලි විකුණලා කීයක් හරි යටිමඩි ගහගන්න බලාගෙන ඉන්න දේශපාලකයොත් ඉන්නවා. ඒ දෙගොල්ලොම එකතුවෙලා ලංකාවේ සංචාරක කර්මාන්තය විතරක් නෙවෙයි ලංකාවම විනාශ කරනවා. මේ, එහෙම කතාවක් කියලමයි මට හිතෙන්නේ.
නුවරඑළියට අඩුම තරමේ දෙතුන් වතාවක්වත් ගිය කෙනෙක් ඉන්නවා නම් ඔබට නුවරඑළියේ තැපැල් කන්තෝරුව අමතක වෙන්න බෑ. රතුපාට ගඩොලින් බැඳපු අපූරු ගොඩනැගිල්ල. අන්න ඒ ගොඩනැගිල්ල හෝටලයක් කරන්න හදන බවට වූ ආරංචිය අපිට තැන් කීපයකදීම ඇහුණා. ඒක නරකද හොඳද කියන එක තීරණය කරන්න අපට කිසිම අයිතියක් නෑ. ඒ සඳහා අපට කිසිම වරමක් නෑ. අපි ඒ ගැන දන්නෙ නෑ.
ඒත් කරන්න ඕනෙ මේකද, නැත්නම් නුවරඑළිය තැපැල් කන්තෝරුවෙන් මීට වඩා වැඩක් කරගන්න බැරිද කියන එක ගැන අපිට හිතෙනවා. අපිට දැනෙනවා. මොකද නුවරඑළිය සුදු ජාතිකයන්ට නතර වෙන්න හෝටල් නැද්ද? නුවරඑළියේ හෝටල් ප්‍රශ්නයක් තියෙනවද? නුවරඑළියට එන සුද්දෝ හෝටල් නැතුව තැන් තැන්වල පාරවල් ගානේ නිදාගෙන ඉඳලා තියෙනවද? නෑ, නුවරඑළියේ හැම අඟලක් ගානෙම තියෙන්නේ හෝටල්.
නුවරඑළියේ හෝටල් දාස් ගානක් තියෙනවා. ඒ අස්සේ මේ ඓතිහාසික වටිනාකම් සහිත ස්ථානයේ, ඒ ඓතිහාසික බවින් ප්‍රයෝජන නොගෙන මේවා සංචාරක හෝටල් බවට පත් කරලා, ඒකෙන් ලැබෙන ලාභය ගැන හිතනවා කියලා කියන්නේ ලංකාවෙ සංචාරක කර්මාන්තය කියලා කියන්නේ භයානක ගැටලුවක් බව සිහිපත් කරන්න ඕනෙ. ඒකට හේතුව නුවරඑළියේ තැපැල් කන්තෝරුව කියලා කියන්නේ දීර්ඝ ඉතිහාසයක් තියෙන තැනක්. ඒක නොදන්නා කෙනෙක් මේ වැඩේ කරනවා විය නොහැකි බව අපිට විශාල විශ්වාසයක් තියෙනවා.
ලංකාවේ තැපෑලට මේ වෙනකොට අවුරුදු 209කට විතර වැඩි ඉතිහාසයක් තියෙනවා. ලංකාවේ තැපෑල පරණයි. 1798දී ලන්දේසීන් තමන්ගේ පාලන කාලය තුළ මුහුදුබඩ පළාත්වලට මුල්ම තැපැල් කාර්යාල පිහිටුවීම සිද්ධ කළ බව තමයි කියන්නේ. 1799දී මුල් වරට තැපැල් රෙගුලාසි ප්‍රකාශයට පත්කළා කියනවා. මේ වගේ විවිධ කතන්දර අපට අහන්න ලැබෙනවා. 1798 ඉඳන් 1815 දක්වා ඉතිහාසය ඇතුළේ ලංකාවේ තැපෑල ලොකුවට දියුණු වෙලා තියෙනවා.
මෙහෙම දියුණු වෙච්ච තැපෑල මේ වෙනකොට ලොකු ගමනක් ඇවිල්ලා තියෙනවා. අපි ඒක නෑ කියන්නේ නෑ. බි්‍රතාන්‍ය පාලකයෝ 1894 වර්ෂයේදී නුවරඑළියේ තැපැල් කාර්යාලය පිහිටුවූ බව තමයි ඒ පිළිබඳ ඉතිහාසය හොයා බලන අයට දැනගන්න තියෙන්නේ. මේ ගොඩනැගිල්ල වික්ටෝරියා වාස්තු විද්‍යා ආකෘතියක් අනුව නිර්මාණය කළ අතර, රතුපාට ගඩොලින් නිර්මාණය කර තිබීම නිසා ඒකට සුවිශේෂ බවක් ලැබිලා තියෙනවා.
ගොඩනැගිල්ල තුළ තියෙන ඔරලෝසුවත් සුවිශේෂ එකක්. මේ තැපැල් කාර්යාලය ශ්‍රී ලංකාවේ මෙතෙක් ඉදිකරන ලද පැරැණිතම තැපැල් කාර්යාලවලින් එකක් බවයි අපි අහලා තියෙන්නේ. එහෙම තැපැල් කාර්යාලයක් මේ වගේ කාලයක විනාශ කරලා දානවද, එහෙම නැත්නම් තැපැල් කාර්යාලයේ තියෙන පෞරාණික බව ආරක්ෂා කරමින්, ඒ පෞරාණික බවෙන් ප්‍රයෝජන අරගෙන, ඒ ස්ථානය නරඹලා, ඒක විඳලා ඒකෙන් යම් අත්දැකීමක් ලබාගන්න විදේශිකයන්ට අවස්ථාව ලබාදෙනවද කියන එක ගැන හිතන්න ඕනෙ. මේක ඇත්තටම ටිකට් එකක් ගහලා සුද්දන්නට පෙන්නන්න වටින තැනක්. ඒක නොකරන්නේ ඇයි කියන එක අපට ප්‍රශ්නයක්. ඇත්තටම ඒ සම්බන්ධව හිතන්න මොළයක් නැත්තේ ඇයි කියන එකත් අපට ප්‍රශ්නයක්.
ජීවන පහන් තිළිණ










