රත්නා එදිරිසිංහ, බණ්ඩාරගම-මැදගම ප්‍රදේශයේ කුඩා ආහාර වෙළෙඳසලක් පවත්වාගෙන ගිය මැදිවියේ කාන්තාවකි. ඇගේ සැමියා අසනීප තත්ත්වයෙන් පසුවන අතර සැමියාට අවශ්‍ය ඖෂධ සහ එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා ඇය එම සුළු ව්‍යාපාරය කරගෙනගොස් තිබිණි. අප යන විට ඇය ඇගේ කුඩා කඩය ඉදිරියේ වාඩිවී බලාපොරොත්තු විරහිත දෑසින් මාර්ගය දෙස බලා සිටියාය.(Sri Lanka Latest News)
‘මුන්ට හෙණගහනවා මහත්තයෝ, විදුලි බිල දෙගුණයක් වෙලා. මට මාස දෙකක් ගෙවාගන්න බැරිවුණා. ඊයෙ ලයිට් කපලා ගියා. රෑ හෝටලේ වහන්න වුණා. මම කවදාවත් ඇරියස් තියලා නෑ. මේ පාර ගෙවන්න බැරි වුණේ ලයිට් බිල දෙගුණයක් වුණ නිසා. මට ලයිට් බිල ගෙවන්න නම් කෑමවල මිල දෙගුණයක් කරන්න වෙනවා. එහෙම කළොත් කවුද කඩේට එන්නෙ. මේවා අපි කාටද කියන්නේ?’
රත්නා, වත්මන් ආණ්ඩුව විදුලිය, ජල ගාස්තු ඉහළ දැමීම සහ බදු ඉහළ දැමීම හේතුවෙන් අධික පීඩාවට පත්ව සිටින්නන්ගෙන් එක් අයකු පමණි.
පසුගිය කාලය පුරා රජය විවිධ බදු ක්‍රියාත්මක කළ අතර, පැවති බදු ඉහළ දැමීම, විදුලිය සහ ජල ගාස්තු ඉහළ දැමීම, භාණ්ඩ මිල ඉහළ යන පරිදි ආනයන සීමා පැනවීම, අලුත් බදු හඳුන්වාදීම ආදී විවිධ ක්‍රියාමාර්ග හරහා ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රය ශක්තිය හීන විය.
බදු සහ ගාස්තු
වත්මන් රජය රුපියල් 100,000ට වැඩි මාසික ආදායමක් ලබන සියලු දෙනාට ආදායම් බද්දක් පැනවූ අතර, වැට් බද්ද 15%ක් දක්වා ඉහළ දැමීය. එතැනින් නොනැවතුණු රජය ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට වැට් බද්ද 18%ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.
පසුගිය ඔක්තෝබර් 20 වැනිදා සිට විදුලිය ගාස්තු 18%කින් ඉහළ දැමීය. ඊට අමතරව, පසුගිය අගෝස්තු පළමු වැනිදා සිට ජල ගාස්තුද දෙගුණයකින් පමණ ඉහළ දැමීය. එහිදී, මුල් ඒකක පහ සඳහා රුපියල් 20ක්ව පැවැති ඒකකයක මිල නව ගාස්තු සංශෝධනයේදී ඒකකයක් රුපියල් 60 දක්වා ඉහළ දැමිණි.
ඊට අමතරව, මාසික සේවා ගාස්තු ද ඉහළ දැමිණි. මේ වන විට ධන බද්ද යනුවෙන් තවත් අලුත් බද්දක් හඳුන්වා දෙන බවට තොරතුරු අනාවරණ වෙමින් පවතියි. ඊට අමතරව, වසර දෙකක් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඍජුව බලපෑ කොරෝනා වසංගතය හේතුවෙන් ද ජනතාව ආර්ථික වශයෙන් අතිශය දුර්වල මට්ටමකට පත්ව සිටියි.
ඒ හේතුවෙන්, මෙම බදු සහ ගාස්තු ඉහළ දැමීම් දරාගත නොහැකි බවට ජනතාව මෙන්ම ව්‍යාපාරිකයෝ ද මැසිවිලි නගති.
එම ක්‍රියාකලාපයන් හමුවේ රජයට එරෙහිව මැසිවිලි නැගීම හැර ජනතාවට කළ හැකි වෙනත් කිසිදු දෙයක් නොමැති ද?
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
‘රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම්’ මොනවාද යන්න පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හයවන පරිච්ඡේදයේ සඳහන් කර තිබේ.
යහපත් ආර්ථිකයක් පවත්වාගෙන යාම තුළින් ප්‍රජාවගේ යහපැවැත්ම පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වන මූලධර්ම මෙසේය.
27.2. (අ) සියලු තැනැත්තන්ගේම මූලික අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස සපුරාලීම.
(ආ) ජාතික ජන ජීවිතයේ සියලු ආයතන විසින් සමාජ, ආර්ථික හා දේශපාලන සාධාරණත්වය ගුරුකොට ගන්නා සමාජ ක්‍රමයක් හැකි තාක් සාර්ථකව ඇතිකර ආරක්ෂාකර දීමෙන් ජනතා සුබ සිද්ධිය වර්ධනය කිරීම.
(ඇ) ප්‍රමාණවත් ආහාරපාන, ඇඳුම් පැලඳුම් සහ නිවාස පහසුවද, ජීවන තත්ත්වයෙහි නිරන්තර වර්ධනයද, විවේකය හා සමාජයීය සහ සංස්කෘතික ඉඩ ප්‍රස්ථා නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීමද ඇතුළුව ප්‍රමාණවත් ජීවන මට්ටමක් සියලු පුරවැසියන් විසින් තමන්ට සහ තම පවුල්වල සාමාජිකයන්ට අත්කර දීම.
(ඉ) පොදුජන යහපතට ඉවහල් වන පරිදි ප්‍රජාවගේ භෞතික සම්පත් සහ සමාජ ඵලය සියලු පුරවැසියන් අතර සාධාරණ ලෙස බෙදා හැරීම.
27.7 – ආර්ථික හා සාමාජික වරප්‍රසාද හා විෂමතාද, මිනිසා විසින් හෝ රජය විසින් හෝ මිනිස් ශ්‍රමය අයථා පරිදි උපයෝගී කරගැන්මද, රජය විසින් තුරන් කරනු ලැබිය යුත්තේය.
27.9 – සමාජ සුරක්ෂිතභාවය හා ශුභසාධනය ඇති කිරීමට රජය වගබලා ගත යුත්තේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත කී වගන්ති සඳහන් වුවද 29 වැනි වගන්තිය මගින් දක්වා ඇත්තේ, ඉහත කී කරුණු ඉටුකිරීමට රජය අසමත් වුවහොත් ඊට එරෙහි පැමිණිලි අධිකරණය හමුවට හෝ කිසිදු විනිශ්චය අධිකාරයකට ඉදිරිපත් කළ නොහැකි බවය.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ අර්ථ දැක්වීම
ශ්‍රී ලංකා රජය ආර්ථික වශයෙන් කුමන තීන්දුවක් ගත්තද, ඊට අභියෝග කරමින් අධිකරණයට යාමට අවශ්‍ය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ නැතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
එහි අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි ඒ බව පැවැසුවේ, ඉහත කී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 වැනි වගන්තිය පදනම් කරගෙනය.
‘ඇත්තටම ආණ්ඩුවක් රටේ ජනතාව සම්බන්ධයෙන් පැවරී ඇති මූලධර්ම සහ මූලික යුතුකම් ඉටුකිරීමට අසමත් වුණොත් ඊට එරෙහිව අධිකරණයට යාමට අවශ්‍ය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබිය යුතුයි. ඒ ගැන අපි සලකා බලමින් ඉන්නවා. එවැනි ප්‍රතිපාදන ලබාදී ඇති රටවල් ලෝකයේ තියෙනවා. ඒත් ශ්‍රී ලංකාවේ ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ අභියෝග කරන්න බැහැ’ නිහාල් චන්ද්‍රසිරි පැවැසීය.
‘ආර්ථික පීඩාවන්ට එරෙහිව අධිකරණය හමුවේ අභියෝග කරන්න කිසිම බාධාවක් නැහැ’
කෙසේ වෙතත්, පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වුවද, ආර්ථික පීඩනයක් ඇති කරන රජයේ තීන්දු සම්බන්ධයෙන් අභියෝග කිරීමට ජනතාවට හැකියාව පවතින බව නීතිඥ අචලා සෙනෙවිරත්න පෙන්වා දුන්නාය.
ඇය පැවැසුවේ, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ආදී සියල්ල ජනතා පරමාධිපත්‍යයට යටත් බවය.
‘ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරිමාධිපත්‍යය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුළත් වන්නේය’ යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමුවන පරිච්ඡේදයේ තෙවැනි වගන්තියේ සඳහන් වෙයි.
‘සියල්ල ජනතා පරමාධිපත්‍යයට යටයි. ඒ නිසා රජය පනවන අසාධාරණ බදු සහ ගාස්තු ඉහළ දැමීම්වලට එරෙහිව අධිකරණය හමුවට යන්න පුළුවන්. රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සහ මූලික යුතුකම් යටතේ තියෙන කරුණු සියල්ලටම පාහේ වෙන්වුණු පනත් තියෙනවා. ඒ පනත් අනුව අධිකරණයේ දී අභියෝග කරන්න පුළුවන්’ නීතිඥ අචලා සෙනෙවිරත්න පැවැසීය.
‘ආර්ථික පීඩා ඇති කරන රජයේ තීන්දුවලට එරෙහිව මහජන අර්ථසාධක නඩුකරයක් හෝ පොදු මහජන නඩුකරයක් හරහා අධිකරණයට යන්න පුළුවන්. වැදගත් වෙන්නේ ආණ්ඩුවල අත්තනෝමතික මිල ඉහළ දැමීම්වලට එරෙහිවී යම් බලපෑමක් කිරීමයි.
ඒකට ජනතාව ඉදිරිපත් වෙනවා නම් උදව් කරන්න අපට පුළුවන්….’
මෙවැනි දේ අභියෝග කිරීම සඳහා ජනතාව ඉදිරිපත් නොවීම ප්‍රශ්නයක් බවද නීතිඥ අචලා සෙනෙවිරත්න පෙන්වා දුන්නාය.
‘මේ වගේ නඩු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන්න ලොකු මුදලක් වැය වෙනවා. ආණ්ඩුවට අභියෝග කරන්න ජනතාව ඉදිරිපත් නොවීමට ඒකත් හේතුවක්. ඒ නිසා මෙවැනි නඩු ගොනුකරන්න සංවිධානවල සහාය අවශ්‍යයි. පරිසරය සම්බන්ධයෙන් එවැනි සංවිධාන තියෙනවා. ඒ වගේ ආර්ථික කරුණු සම්බන්ධයෙනුත් මූල්‍ය අනුග්‍රහය දක්වන සංවිධාන බිහිවිය යුතුයි. එහෙම කළොත් ජනතාවට ආණ්ඩුවේ ක්‍රියාකලාපය අධිකරණය හරහා පාලනය කළ හැකියි. නැත්නම් ආණ්ඩු හිතුමතේ ජනතාව පෙළනවා.
මොකද, ආණ්ඩුව ගාස්තු වැඩි කළාට, බදු ගෙවන්න කිව්වාට මිනිස්සුන්ගේ ආදායම් අඩු වෙලා මිසක් වැඩි වෙලා නෑ….’
බීබීසී සිංහල වෙබ් අඩවියෙනි










