ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන කැලඹීම් මධ්‍යයේ එදා සිවිල් යුද්ධයේදී විශාල වන්දියක් ගෙවූ රටේ දෙමළ සුළුතරය නැවත වරක් මේ ආර්ථික හා දේශපාලනික අස්ථාවරත්වයට ගොදුරුවී ඇද්ද නැද්ද යන්න පුළුල් වශයෙන් විග්‍රහ කළ යුතු වේ. විටෙක ඇතැමුන් පවසන්නේ සමහරු ඉන්දියාවේ තමිල්නාඩුවට පලායන වගයි. තවත් පිරිසකගේ මතය නම් ඔවුන්ට තමිල්නාඩුවේ ආධාර උපකාර හිමිවන වගයි. කෙසේ හෝ අත්‍යාවශ්‍ය සැපයුම් සහ ඉන්ධනවල උග්‍ර හිඟයකට ලංකාව ජාතික වශයෙන් මුහුණ දී සිටින සමයක ශ්‍රී ලංකාවේම තවත් අර්ධයක් වූ උතුරු පෙනිසියුලාවේ අපේම සහෝදර ජනතාව ආර්ථික හා දේශපාලන අර්බුදයේ අතුරුඵල විඳිමින් සිටින්නේද, නැද්ද? මේ, ඒ පිළිබඳ කතිකාවයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් දහස් ගණන් ශ්‍රී ලාංකිකයෝ අගනුවර වීදි බැස සිටියහ. එහෙත් විරෝධතා දැක්වීම බොහෝ ශ්‍රී ලාංකික දෙමළ ජනයා භුක්ති නොවිඳින සුඛෝපභෝගී දෙයක් වන අතර, ආර්ථික අර්බුදය විසින් ඇති කරන ලද හිඟයන්ද ඔවුන්ට අලුත් දෙයක් නොවන බව යාපනය නගරයේ දේශපාලන විශ්ලේෂකයෝ බොහොමයක් මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා සිටියහ. රටේ විශාලතම වාර්ගික සුළුතරය වන ශ්‍රී ලාංකික දෙමළ ජනතාව මිලියන 22ක ජනගහනයෙන් 12%කට ආසන්න ප්‍රමාණයක් වන අතර ඔවුන් ප්‍රධාන වශයෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල ව්‍යාප්ත වී ඇත.
එදා සිට වාර්ගික සුළුතරය දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මිනිසුන් සමග ගැඹුරු සමාජ, සංස්කෘතික සහ භාෂාමය බැඳීම් බෙදාගන්නා අතර, වාර්ගික අර්බුදය හේතුවෙන් විනාශවී ගිය ඔවුන්ගේ ප්‍රජාවන්, දේපළ නැවත ගොඩනඟා ගැනීමේ පුළුල් අරගලයක තවමත් යෙදෙමින් සිටී.
රටේ අලුත්ම ආර්ථික හා දේශපාලන අර්බුදය තුළ ශ්‍රී ලාංකිකයන් විවිධ ජනවාර්ගික සහ සමාජ පසුබිම් හරහා සියලු දෙනාම එක හා සමානව පීඩාවට පත්ව සිටින අවධියක, සෑම තැනකම ඉන්ධන සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ නොමැතිව කෝලාහල කරන අවධියක උතුරේ ලාංකීය දෙමළ ජනතාවටත් මේ එක් වී ඇත්තේ එදිනෙදා දින චර්යාවට බාධා ඇතිකරන අමතර බරකි. දශක ගණනාවක් ඔවුහු යුද්ධයට ගොදුරු වී සිටියහ. දැන් ගොදුරු වී ඇත්තේ අවිධිමත් පාලන තන්ත්‍රයක් යටතේ ගොඩනැගුණු ආර්ථික අර්බුදයකටය.
සිවිල් යුද්ධය පැවැති සමයේ වසර ගණනාවක් අගහිඟකම් විඳදරාගත් උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවට ආර්ථික පීඩාව ඉතා හුරුපුරුදු දෙයක් වන බව නොඅනුමානය. ‘ඉන්ධන, ගෑස් සහ විදුලිය සහිතව හෝ රහිතව අඩු සැපපහසුකම් යටතේ ජීවත් වීමට දෙමළ ජනයා දැනටමත් පුහුණු වී ඇත. දශක ගණනාවක පළපුරුද්ද මත ඔවුන්ට මේ පවතින ප්‍රශ්නය කළමනාකරණය කරගැනීමට බොහෝ මාර්ග ඇත. නමුත් ඒ අයටත් එදිනෙදා ජීවිතය නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට අපහසුය. දෙමළ ජනතාවට උද්ඝෝෂණ කිරීමට නම් පෙලඹවීමක් නැත. මන්ද සිවිල් විරෝධතාවන්ගේ අතුරු විපාකය වන්නේ වැරදි ක්‍රමවේද, ආගම සහ වාර්ගිකත්වය පදනම් කරගත් දේශපාලකයන්ගේ බෙදුම්වාදී උපක්‍රම කෙරෙහි අවධානය යොමුකර බොහෝ ගැටලු ඇතිකිරීමට පෙලඹෙන නිසාවෙන් විය හැකිය.
යාපනය නගරය වසර 30ක අභ්‍යන්තර ගැටුමකට මුහුණදී සිටි අතර එහි ඇති බොහෝ පහසුකම්වල පිරිහීම දක්නට ලැබිණි. මෙම ඓතිහාසික නගරයේ සංවර්ධනයට බලපෑ මූලාශ්‍රය වූ වාර්ගික අර්බුදය වසර 2009දී අවසන් වූ අතර ඉන් පසු දශකය ශීඝ්‍ර නාගරීකරණයක් දක්නට ලැබිණි. 625,000 කට ආසන්න ජනගහනයක් සිටින යාපනයේ පුනර්ජීවනය ආරම්භ වූ විට, මෙම නාගරීකරණයට විශාල ආතතියක් ඇති කරමින් නගරය තදබදයෙන් හා අපිරිසිදු පරිසරයෙන් පිරී ගියේය. ජල සම්පාදන පද්ධතිය, සනීපාරක්ෂාව, ආහාර සුරක්ෂිතතාව, නිවාස සහ සේවා තත්ත්වයන් සහ යාපනයේ පුරවැසියන්ගේ වේගවත් හා සංකීර්ණ ජීවන රටාව තුළ රටේ ඇතිවූ ආර්ථික අර්බුදය පාසල් සිසුන්ට, රාජ්‍ය සේවකයන්ට, පෞද්ගලික ව්‍යවසායකයන්ට බලපෑවේ කෙසේද?
දකුණේ පැවැති ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම් කිලෝමීටර් ගණනාවකට මෙහිද පැවතිණි. සහල් මෙන්ම එළවළු, මාළු වැනි මූලික ආහාර ද්‍රව්‍යවල මිල අහස උසට නැඟ ඇත. රසායනික පොහොර තහනම් කර ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම කාබනික ගොවිතැනට යොමුකිරීමේ අරමුණෙන් ආරම්භ කළ වැඩිපිළිවෙළ ගොවියාගේ බත්පතට තට්ටු කර ඇත. බෝග අස්වැන්නේ තියුණු ලෙස පහත වැටීම නිසා ගොවීන්ට රසායනික පොහොර සඳහා ගෙවීමට සිදු වූ ගෙවීම් ක්‍රමවේද හමුවේ කලින් නොමිලේ ලබාදී ඇති බැවින් ක්‍රියාකාරී ගොවීන් සංඛ්‍යාව අඩු විය. තවමත් ගොවිතැන් ක්‍රම යථා තත්ත්වයට පත්වී නොමැත.
විටෙක සොබාදහමේ ආශ්චර්ය නම් හුදෙක් යම් පරිසර පද්ධතියක් තුළ සමතුලිතතාවක් ගොඩනැගීම උදෙසා සම්පත් සමානාත්මතාවයෙන් එහි වූ ජීවීන් අතර බෙදාදීම වුවද යාපනය වැසියන් සමග මහවැලිය උරණ වී ඇති අවස්ථාවක වුවද අහස් දියෙන්, ආඬියා ළිඳෙන් ජලය සපයාගෙන කුඹුරු ඇස්වැද්දූ යාපනයේ ගොවියාටද පොහොර ටික ලැබී නැත. අල, බතල, ලූනු, මෑකරල්, රතුඅල, කෙසෙල් වැනි වගාවන් බොහෝ සෙයින් අඩුවී ඇත. පොළේ ඉතා ඉහළ මිලට යාපනේ මෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට ගෙන එන එළවළු පලතුරු විකිණේ. පලතුරු වෙළෙඳාමට සිදුවූ දේ පිළිබඳ හොඳම උදාහරණය නම් මිදි අස්වැන්න එදා මෙන් අද නැති වීමය. ගිය වසරේ පලාලි පාර දෙපස බොහෝ මිදි වෙළෙන්දන් මිදි විකුණන ආකාරය දැකගත හැකි විය. නමුත් මේ දිනවල එසේ දක්නට නැත. තවද උතුරු අර්ධද්වීපය මුහුදෙන් වටවී ඇති නිසා සාගර සම්පත් ඔවුහු උපරිමෙන්ම භුක්ති විඳිති. නමුත් ඉන්ධන ගැටලුව හමුවේ මුහුදු ගිය ධීවර ජනතාව බොහෝ සෙයින් අඩුවූවා මෙන්ම මාළුන් ඉස්සන් දැල්ලන් කකුළුවන්ගේ මිල පරිභෝජනයට ගත නොහැකි වන මට්ටමින් මිල ගණන් අධික විය.
‘පවතින තත්ත්වය අනුව අපි එක් ගමනකට ඉන්ධන සහ ආහාර සඳහා රුපියල් 37,000ක් පමණ වැය කරනවා. කුඩා බෝට්ටු සඳහා භූමිතෙල් ලීටර් 50-60 අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. නමුත් අපිට ලැබෙන්නේ ලීටර් 20ක් පමණි. එයත් ඉඳහිටයි. ඒ නිසා වෘත්තිය කරගෙන යාමට නොහැකිව බොහෝ දෙනෙක් ධීවර කර්මාන්තය අතහැර වෙනත් රැකියා සඳහා ගොස් තියනවා.’
‘භූමිතෙල් හිඟය සහ එහි කළු වෙළෙඳපොළේ මිල ලීටරයකට රුපියල් 600ක් – 1000ක් පමණ වෙනවා, සමහරු විකල්පයක් ලෙස බෝට්ටුවලට පෙට්‍රල් එන්ජින් සවිකිරීමට උත්සාහ කර ඇතත්, එවැනි එන්ජින් ඉක්මනින් ගිනිගන්නා අවස්ථා තිබෙන නිසා වෙන විකල්ප නෑ’ යනුවෙන් ගුරුනගර් ධීවර ප්‍රජාව පවසා තිබිණි.
මාර්ගවල රථවාහන අවම විය. රෝහල්වලට දූපත්වල සිට පැමිණි දූපත්වාසීන් මෙන්ම කිලෝමීටර් ගණනාවකට එහා සිට මූලික ප්‍රතිකාර මෙන්ම සායන සඳහා පැමිණි රෝගීන් අවම විය. විශේෂයෙන්ම යාපනය අවට වූ ඩෙල්ෆ්ට්, නයිනතිව්, අනලතිව් ආදී දූපත්වලට විදුලිය ලබාදෙන ක්‍රමවේදය වූයේ ඒ ඒ දූපත්වල වූ කුඩා ඩීසල් ඉන්ධන බලාගාරයි. ඒවා අඩපණ වීම නිසා දූපත් වැසියන් බොහෝ දෙනාගේ දින චර්යාව ගැටලුකාරී විය. තවද බෝට්ටු හරහා නගරයට සේවාවන් ලබාගැනීමට, භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි අයද, රෝහල් සායනවලට සහභාගි වීමට ආ දූපත් වැසියෝ ඉන්ධන නොමැති වීම නිසා ආර්ථික අර්බුදයේ අතුරුඵල අත්වින්දහ.
යාපනයේද සෞඛ්‍ය ක්ෂේත්‍රය පීඩාවට පත්ව ඇත. විශේෂයෙන් හෘදයාබාධ, ආඝාත සහ පිළිකා රෝගීන් සඳහා ඖෂධ හිඟයක් පවතී. රෝහලේ සාමාන්‍ය සැත්කම් අත්හිටුවා ඇති අතර හදිසි සැත්කම් සඳහා පමණක් අවසර දී ඇත. සමහර පිළිකා රෝග පිළිබඳ වෛද්‍යවරුන්ට ප්‍රතිකාරවලට අවශ්‍ය ඖෂධ ලබාගැනීම සඳහා විදේශ පරිත්‍යාග ආයාචනා කිරීමට සිදුවී ඇත. බොහෝ රෝගීන්ට පෞද්ගලික ඔසුසල්වලින් අධික මිල ගණන් යටතේ ඖෂධ ලබාගැනීමට සිදුවී ඇත. අධ්‍යාපනයටද ප්‍රධාන බාධක ඇත.
පසුගිය දිනවල ඇති වූ ඉන්ධන හිඟය හේතුවෙන් සිසුන්ට සහ ගුරුවරුන්ට පොදු හෝ පෞද්ගලික ප්‍රවාහනය සඳහා ප්‍රවේශ වීමට නොහැකි වීම හේතුවෙන් පාසල් වසාදමා ඇත. විශ්වවිද්‍යාලවල දේශන අත්හිටුවා ඇති අතර දෛනික විදුලි කප්පාදුව සහ අන්තර්ජාල සේවා සපයන්නන්ගේ ගැටලු හේතුවෙන් ඔන්ලයින් දේශන යම් යම් ගැටලුවලට මුහුණ දී ඇත. නමුත් සමාජයේ උස් පහත් භේදයක් නොමැතිව බොහෝ දෙනා ඉන්ධන ගැටලුව හමුවේ පාපැදියට හුරු වූහ. බොහොමයක් පාසල් සිසුන් හා විශ්වවිද්‍යාල සිසුන් අතර නැවතත් පාපැදිය ජනප්‍රිය විය. විටෙක යාපනය මහ රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය පවා බයිසිකලයෙන් දිනපතා රෝහලට යාමට පුරුදු විය. අශ්ව කරත්තවලින් නගරයේ එහා මෙහා භාණ්ඩ ප්‍රවාහනය, රෝගීන් හුවමාරුව ප්‍රචලිත විය. ඔය අතර යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් සරසවි සිසුන්ට අඛණ්ඩව දිවා ආහාර වේලක් ලබාදීමද ආරම්භ විය.
මේ ආදී වශයෙන් දකුණ මෙන්ම උතුරද මේ ආර්ථික අර්බුදය අත්වින්දහ. එසේ නම් ලංකාවේ ආර්ථික අර්බුදයේ ගැඹුරු මූලයන් ලෙස වඩාත්ම අසමත් පාලන තන්ත්‍රයක් යටතේ ක්‍රියාත්මක ව්‍යුහාත්මක, දේශපාලන හා ආර්ථිකමය වශයෙන් දුර්වලතා බොහොමයක් ඉතා පහසුවෙන් හඳුනාගත හැක. නිදහසෙන් පසු ශ්‍රී ලංකාව එහි දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින මෙවන් යුගයක ශ්‍රී ලංකාවේ දේශපාලන අසාර්ථකත්වයට හේතු විමසමින් මහජනතාව තම විරෝධය ඉතා දැඩි සේ ඔසවා තබන්නට උත්සාහ ගන්නවා පමණක් නොව, සමස්ත ලෝකයටම, රට මෙතැනට පැමිණි ආකාරය ගැන මෙනෙහි කිරීමට මෙය සුදුසුම කාලය බව අපගේ හැඟීමය.
කෙසේ වෙතත්, වත්මන් දේශපාලන හා පාලන අර්බුදය අර්ථවත් කිරීමට නම්, අපි අර්බුදයේ ආර්ථික මූලාරම්භය විමසා බැලිය යුතුය. ආසන්නතම අර්බුදය වන්නේ විදේශ විනිමය හිඟයක් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ඉන්ධන, ගෑස් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල අඛණ්ඩ හිඟයයි. ප්‍රශ්නය විසඳීමට රටට සහ එහි ජනතාවට ඇත්තේ අල්ප විකල්පය. විදේශ විනිමය අර්බුදය සමනය කිරීම සඳහා ඉන්දියාව සහ චීනය සමග මුදල් හුවමාරු කිරීම් ප්‍රමාණවත් නොවීම නිසා IMF වෙත යෑම අත්‍යාවශ්‍ය දෙයක් බවට පත්ව ඇත. එහෙත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන්ගෙන් අවශ්‍ය සම්මුතියක් ඇතුළුව IMF දැඩි කොන්දේසි සකසනු ඇත. 2022 ජූලි මාසයේදී නියමිත බැඳුම්කර ගෙවීම සඳහා ශ්‍රී ලංකා රජයට එරෙහිව රජයේ ප්‍රධාන බැඳුම්කර හිමියන්ගෙන් එක් අයකු නඩුවක් ගොනු කිරීමත් සමග එය මේ මොහොතේ සිදුවිය නොහැකි බව පෙනේ. ශ්‍රී ලංකාවට වැඩි විදේශ විනිමයක් හෝ වැඩි ණය සහනයක් ලබාගත නොහැක. මේ අනුව පවතින ආර්ථික අර්බුදය දෙගුණයකි. පළමුවැන්න විදේශ විනිමය අර්බුදයයි – ශ්‍රී ලංකා ආර්ථිකයේ විදේශ සංචිතය පවතින වසංගත සහ සංචාරක සීමාකිරීම් හේතුවෙන් විනාශ වූ නමුත් පාරිභෝගික විශ්වාසය සහ ආර්ථිකයේ තත්ත්වය පිළිබඳ සැලකිය යුතු අවිනිශ්චිතතාවක්ද විය. දෙවැන්න ණය අර්බුදයයි – ශ්‍රී ලංකා රාජ්‍යයට චීනය ඇතුළු, නමුත් ඒවාට පමණක් සීමා නොවී, ජාත්‍යන්තර වෙළෙඳපොළෙන්ද ලබාගෙන ඇති අතිවිශාල ණය ආපසු ගෙවීමට මූලික වශයෙන් අසමත්ය. එසේ නම් ශ්‍රී ලංකාව මෙහි පැමිණියේ කෙසේද?
විදුනි බස්නායක