ගෙවීගිය වසර (2023) තුළදී දිවයින පුරා සිදුව ඇති රිය අනතුරු සංඛ්‍යාව 22,804ක් බව කොළඹ රථ වාහන පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
එම අනතුරුවලින් මාරක රිය අනතුරු 2,171කින් පුද්ගලයන් 2,280 දෙනකු මියගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.
එමගින් පුද්ගලයන් 5,561 දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, සුළු තුවාල ලබා ඇති සංඛ්‍යාව 9,269කි.
අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, ජංගම දුරකතන භාවිත කරමින් රිය පැදවීම යන හේතූන් මත වැඩි වශයෙන් රිය අනතුරු සිදුවන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබේ.
මේ අතර, වැඩි වශයෙන් මාරක රිය අනතුරු සිදුවන ස්ථාන පිළිබඳ සමීක්ෂණ පවත්වා ඒ ආසන්නයේ පවතින මාර්ග දුබලතා සහ පරිසර ගැටලුද හඳුනාගෙන ඒවාට කඩිනම් පිළියම් යොදන ලෙස වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් ලබාදී ඇතැයි රථ වාහන පොලිස් මූලස්ථානයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










