ගාසා තීරයේ මිනිස්සු හරි පවු. මිනිස්සු මැරෙන්නේ කිසිම සාධාරණ හේතුවක් නැතුව. යුද්ධයට මොනමවත් සම්බන්ධයක් නැති මිනිස්සු යුද්ධය විසින් මරාදානවා. දරුවෝ පීඩා විඳිනවා. මවුපියෝ මියයනවා. යන එනමං නැතුව මිනිස්සු අසරණ වෙලා. තත්පර ගානක් ඇතුළත ජීවිත උඩු යටිකුරු කරනවා.(Sri Lanka Latest News)
අපට තේරෙනවා ඔවුන් පවු කියන එක. යුක්රේනවත් රුසියාවත් යුද්ධය පටන්ගත්ත වෙලාවේ අපිට යුක්රේනය ගැන දුක හිතුණා. මිනිස්සු මැරෙන හැටි, ගෙවල්වලට බෝම්බ ගහන හැටි, ගෙවල් පිටින් විනාශ වෙලා යන හැටි දැක්කම අපට දුක හිතුණා. හැබැයි දැන් ඒවා හරි. දැන් අපිට යුක්රේනය ගැන හිතෙන්නෙ නැහැ. හැබැයි දැන් අපට ගාසා තීරය ගැන හිතෙනවා. ඒකත් ටික දවසකින් හරියනවා.
ඔබට මතකද උතුර? උතුරේ සිංහල මිනිස්සුත්, දෙමළ මිනිස්සුත්, සරලව ගත්තම මිනිස්සු පීඩාවට පත්වෙච්ච හැටි. උතුරේ සහ දකුණේ යුද්ධය හේතුවෙන්. ඒවා මතක අපිම දැන් නැගෙනහිර පළාත ගිනිතියන්න සූදානම්. කවුද මන්දා හාමුදුරු කෙනෙක් මේකෙ මූලිකත්වය අරගෙන කටයුතු කරමින් ඉන්නවා. ඔහුට අලගු තබන පක්ෂ විපක්ෂ සිංහල දෙමළ දේශපාලකයෝ මේ වැඩේට බැහැලම උදව් කරනවා. දැන් යුද්ධයක අවශ්‍යතාව ඒ අයට තදින්ම දැනෙන පාටයි. මේ ජාතිවාදය අවුළුවලා අනවශ්‍ය තැන්වල බුදු පිළිම තියන්නත්, බුදු පිළිම තැබූ තැන්වලින් ඒවා ඉවත් කරන්නත් ආගම් පටවලාගන්න උත්සාහ කරන මේ මිනිස්සු නිසා තමයි රටට අතිශය නරක දෙයක් සිදුවෙන්න නියමිතව තියෙන්නේ.
මේ මොහොත හරිම තීරණාත්මකයි. හැඟුම්බර වීම තමයි භයානකම දේ. දේශපාලකයෝ දන්නවා හැඟීම් එක්ක කරන සෙල්ලම ගැන. ඒක හරි ෂෝක් සෙල්ලමක්. ඒ සෙල්ලමෙන් හැමදාම පරදින්නේ මිනිස්සු. උතුරේ මිනිස්සු පාර්ලිමේන්තුවට ඇවිල්ලා දෙමළෙන් කතා කරද්දී උතුරේ මිනිස්සුන්ට ඇහෙනවා. හැබැයි ඉංග්‍රීසියෙන් කතා කරන්නේ උතුරේ මිනිස්සුනට නෑහෙන්න. ඇත්තටම පාර්ලිමේන්තුව ඇතුළේ දෙමළෙන් කතා කරන්න අවශ්‍ය නෑ ඉංග්‍රීසි, සිංහල භාෂා දන්න මිනිස්සු විදියට. ඇයි ඒ අය දෙමළෙන් කතා කරන්නේ? දේශපාලනික කාරණා නිසා.
දේශපාලනිකව අවුස්ස ගන්න. අපි මේ යුද්ධය අපේ පැත්තට හරවා ගන්න ඕනෙ කියන එක ඒ මිනිස්සු නිතරම කියපු කතාවක්. දෙමළ මනුස්සයාගේ මුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා කියපු දේශපාලකයොම තමයි යුද්ධය නිර්මාණය කළේ. සිංහල මිනිසා වෙනුවෙන් පෙනී සිටින බව කියපු සිංහල දේශපාලකයොම තමයි යුද්ධය නිර්මාණය කළේ. සිංහල දේශපාලකයත්, දෙමළ දේශපාලකයත් එකතු වෙලා හදපු යුද්ධයෙන් දැන් අපි ඔක්කොම පිච්චෙමින්, ඇවිළෙමින්, විනාශ වෙමින් ඉන්නවා. කිසිවෙක් ඒකට නිවැරැදිව වගකියන්නේ නෑ. අපි හැමෝටම හැමදාම මේ සෙල්ලම කරගෙන එන්නත් බෑ. ඒත් කරන්න දෙයක් නෑ. මේ සෙල්ලම කරන්නම වෙලා.
ඊයේ පෙරේදා අපි දැක්ක සිදුවීම් කිහිපයම මේකට අදාළයි. උතුරේ දේශපාලකයෝ හැම වෙලාවකම උත්සාහ කරන්නේ තමන් පමණයි උතුරේ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින්නේ කියලා පෙන්වන්න. දකුණේ දේශපාලකයොත් එහෙමයි. ඒගොල්ලොත් හැම වෙලාවෙම උත්සාහ කරන්නේ අපි විතරයි ඔබ වෙනුවෙන් ඉන්නේ කියලා පෙන්වන්න. ජාතිවාදී දේශපාලන කණ්ඩායම් නිර්මාණය වෙන්නේ ඒක නිසා.
මේ භයානක සෙල්ලමෙන් පස්සේ අපිට මොනවා ඉතුරු වෙයිද කියන එක තාමවත් හිතාගන්න බෑ. මේ සියල්ලත් එක්ක අවසාන වශයෙන් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා අපි අවධානයෙන් බලාගෙන ඉන්නවා. නැගෙනහිර ඇතුළේ විහාරස්ථානවල ඇත්තටම ප්‍රශ්න තියෙනවා ඇති. හැබැයි බොහෝ වෙලාවට නැගෙනහිර විහාරස්ථානවලට අවශ්‍ය පහසුකම් සපයලා ඒ විහාරස්ථානත් එක්ක ඉතා ගෞරවයෙන් ගනුදෙනු කරන්න මුස්ලිම් සහ දෙමළ ජාතිකයෝ මේ ගම්මානවල ඉන්නවා. ඒ බව අපි දන්නවා.
පහුගිය දවසක එරංග ගුණසේකර සිය ෆේස්බුක් පිටුවේ පළකරලා තිබුණු එක්තරා ලිපියක් සහ පින්තූර කිහිපයක් අපි මේ මොහොතේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරනවා. මඩකළපුව දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශය ගැන තමයි ඔහු කියන්නේ. මේ හාමුදුරුවෝ ඔහුට මුණගැහිලා තියෙන්නේ එහෙදී. මේ විහාරස්ථානයේ නම පුළිනතලාරාමය. පුළිනතලාරාමයේ හාමුදුරුවන්ගෙන් ඔහු අහනවා මොකක්ද ඇත්තටම මෙතැන වෙලා තියෙන්නේ කියලා.
එතකොට හාමුදුරුවෝ කියනවා, ‘මහත්තයෝ මේ පන්සලේ ඉන්නවා දායක සභාවක්. මේ දායක සභාවේ භාණ්ඩාගාරික මහත්තයා මුස්ලිම්. ලේකම් මහත්තයා ක්‍රිස්තියානි. දායක සභාවේ ඉන්න බොහෝ දෙනෙක් දමිළ සහ මුස්ලිම්’ කියලා. එතකොට ඔහු අහනවා ‘දානෙකට බණකට වඩින්නෙ නැද්ද?’ කියලා. උන්වහන්සේ කියනවා, ‘මම මේ ගමට වඩිනවා, ගෙවල්වලට වඩිනවා, දානෙකින් බණකින් හම්බෙච්ච දෙයකුත් බෙදා හදාගෙන ඒ අයත් එක්ක කතාබහ කරලා මං එනවා. ඇත්තටම හාමුදුරු කෙනකුට බණ කියන්නම අවශ්‍ය නෑ’ කියලා. මට මේ හාමුදුරුවන්ව දැක්කම බුදුහාමුදුරුවන්ගේ රූපෙ නෙපෙනෙනුණාට ඒ කර්කශ පෙනුම ඇතුළේ මට දැනෙන්නේ බුදු සුවඳ. ඔබටත් ඒක දැනෙනවා නම් ඔබ හැබෑ බෞද්ධයෙක්.
ඇත්තටම ජීවන පහන් තිළිණ කියන පත්තරකාරයට බෙහෝ අත්දැකීම් සහිතව මුණගැහුණු තැන්වල මේ විදියටම සිංහල මිනිස්සු, දෙමළ කෝවිලේ දායක සභාවේ, පාලක සභාවේ සභාපතිවරයා විදියට ඉන්න අවස්ථා හමුවෙලා තියෙනවා. ඒ ධර්මපුරම්වල, යාපනේ, කිලිනොච්චියේ. මේවා ඇත්ත. මේවා බොරු නෙවෙයි. මේවා කවුරුවත් හදන්න, කවුරුවත් සතුටු කරන්න කියන කතා නෙවෙයි. අපි සියලු දෙනාම සිංහල ජාතියක් බව ලෝකෙට නොතේරෙන තාක්කල් අපි ලෝකෙ ඉස්සරහා පරාදයි. ඒක ලංකාවේ මහ ජාතිය වෙන්න දඟලන එකෙන් ලැබෙන වරප්‍රසාදයක් අපට නෑ.
ඇත්තටම වරප්‍රසාදය තියෙන්නේ ලෝකෙ ඇතුළේ. ලෝකෙ හැබෑ යථාර්ථය නොකියවාගන්නා තාක්කල් අපිට මේ රට ඇතුළේ සතුටෙන් නම් ජීවත් වෙන්න ලැබෙන්නේ නෑ. අපි දන්නවා අවුරුදු 30ක් තිස්සේ යුද්ධයක් තිබුණා. ඒ යුද්ධය ඇත්තටම නිර්මාණය වුණේ කොහොමද, කොතැනද, කාගෙ වුවමනාවටද කියන එක අපි කවදා හෝ දවසක ඔබට ඇහෙන්න කියන්නම්. මොකද යුද්ධයේ අලගිය තැන්, මුලගිය තැන් හොයා ගියපු දුෂ්කර ගමන් මඟක මතක සටහන් පත්තරකාරයෙක් වෙච්ච මේ ලියුම්කරු සතුයි. ඒ සියල්ල ඔබට කියනකොට ඔබේ ඇඟ කිලිපොළා යයි.
යුද්ධය අවශ්‍ය වෙලා තිබුණේ සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි. හැබැයි ගාසා තීරයේ සාක්ෂිවලින් අපිට පේනවා යුද්ධයෙන් මියයන්නේ සාමාන්‍ය මිනිස්සු කියලා. යුද්ධය හදන මිනිස්සු ඉන්නේ සීත කාමරවල. යුද්ධෙ කරන්නෙත් සාමාන්‍ය මිනිස්සු. අවි ආයුධ අත දරන්නෙත් සාමාන්‍ය මිනිස්සු. හැබැයි යුද්ධයේ වුවමනාව ඔය යුද්ධයේ ඉන්න හමුදා නිලධාරීන්ගේ නෙවෙයි. හමුදා භටයන්ගෙ නෙවෙයි. යුද්ධයෙන් පීඩාවට පත්වෙලා ඉන්නේ අහිංසකම අහිංසක මිනිස්සු. ඒක නිසයි අපි කියන්නේ නැගෙනහිර මිනිස්සුත්, උතුරේ මිනිස්සුත්, දකුණේ මිනිස්සුත් එකම ඇට ලේ මස් නහර තියෙන මිනිස්සු කියලා.
මම දන්නවා ඊද් මුබාරක් කියලා මුස්ලිම් ජාතිකයෙක්ව බදාගන්න බැරි කිසිම ප්‍රශ්නයක් මේ රටේ කිසිම සිංහලයෙක්ට නෑ. වඳ කොත්තු අරගෙන ඇවිල්ලා මේ රටේ හදන්න හැදුවේ දේශපාලනයක් මිසක් මිනිස්සුන්ගේ හැබෑ ප්‍රශ්නයක් නෙවෙයි. වඳ කොත්තු කියන බොරුව මේ රටේ පැළකරන්න දැනට පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු පවා පුදුම විදියට මහන්සි වුණා. වෛද්‍ය ෂාෆිගෙ කතාව අපි දිගින් දිගටම නෑ නෑ කියද්දී, අපිත් එක්ක පැටලෙන්න ආපු, දොස්තර කියන නම ඉස්සරහට දාගත්තු, අනුරාධපුරේ පැත්තේ මන්ත්‍රීලා දැන් පාර්ලිමේන්තුවේ.
මිනුවන්ගොඩ සහ හෙට්ටිපොල සිද්ධි ඇතුළේ ඇත්තටම හිටියේ දේශපාලනයට සම්බන්ධ මිනිස්සු. ඡන්දෙ ඉල්ලලා පැරැදිච්ච අය. මිනුවන්ගොඩ කඩවලට ගැහුවේ මිනුවන්ගොඩ මිනිස්සු නෙවෙයි. ලියුම්කරු ඒ තැන්වලට ගිහිල්ලා, දැකලා, බලලා සාක්ෂි සහිතවයි මේ කියන්නේ. හෙට්ටිපොල සිද්ධියත් එහෙමයි. හෙට්ටිපොල තිබුණේ දේශපාලන සිද්ධියක්. මුස්ලිම් ජනතාව සහ සිංහල ජනතාව අතර කිසි ප්‍රශ්නයක් තිබුණේ නෑ. ඒ වගේම මතුගමට ගිහිල්ලා ලොකු කලබලයක් ඇතිකරලා එහෙට මෙහෙට ගහලා නිකන් මිනිස්සු අතර කලබල ඇතිකරලා අර්බුදයක් නිර්මාණය කළේ සමහර හාමුදුරුවෝ. ඒ හැබෑ භික්ෂුන්වහන්සේලා නෙවෙයි. සිවුරු පොරවාගෙන දේශපාලනය කරන භික්ෂුන්වහන්සේලා කියලා තමයි චෝදනා එල්ල වුණේ.
මේවා අපි දැක්කා. මේවා අපිට ඇහුණා. මේ කතා ඇතුළේ ඇත්තටම තියෙන්නේ දේශපාලනය. අපි යනකොට බේරුවල මුස්ලිම් පල්ලියේ භික්ෂුන්වහන්සේලාට දානයක් දෙනවා. මේවා ඇසින් දුටු සාක්ෂි මිසක් කවුරුවත් කියපු දෙයක් නෙවෙයි. හැබැයි අපි දන්නේ මරාගන්නවා, කපාගන්නවා කියලා. ගමේ මිනිස්සු කියනවා අපි මේ පල්ලියට ඇවිල්ලා පඬුරු දාලායි ගමන් බිමන් යන්නේ කියලා. එහෙම සහජීවනයෙන් ඉන්න රටක් මේක.
ඒ නිසා ආදරණීය සහෝදරවරුනි. ඔබේ ජාතිය, උප්පැන්න සහතිකයේ තියෙන්නේ මොකක් වුණත්, ඔබ යන්නේ පන්සලට වුණත්, කෝවිලට වුණත්, පල්ලියට වුණත් මතක තියාගන්න, උඹවයි මාවයි අමනාප කරලා පාර්ලිමේන්තු ගිහිල්ලා ගොඩ වැඩිකරගෙන ඡන්ද ටික හදාගෙන උන්ගේ පවුල්වලට ගොඩ යන්න තියෙන අවශ්‍යතාවට මිසක් වෙන දේකට නෙවෙයි ඔබ දේශපාලකයෝ ජාතිය, ආගම, කුලය ඉස්සර කරගන්නේ.
ඒ නිසා එහෙම තක්කඩින්ට රැවැටිලා උඹෙයි මගෙයි සතුට නැති කරගන්නේ නැතුව උන්නා වගේම ඉමු. උඹ සිංහලද, මම දෙමළද, තව එකෙක් මුස්ලිම්ද, අරූ කතෝලිකද, මූ ජාද, වෙන ආගමක්ද, වෙන ජාතියක්ද කියන එක අපිට වැඩක් නෑ. අපිටයි උඹටයි එක බත්පත කන්න පුළුවන්කම තියෙනකොට, උනුයි කියන්නේ ඔතැන ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපි කියමු නෑ, ප්‍රශ්නයක් නෑ කියලා. නැගෙනහිර ප්‍රශ්නෙටත් ඒක. නැගෙනහිර හාමුදුරුවරු මේ මොහොතේ යමක් කියනවා නම් ඒ කියන්නෙත් දේශපාලනික හුවමාරුවක වුවමනාවකින් මිසක් වෙන දේකට නොවන බව මතක තබාගන්න.
ජීවන පහන් තිළිණ










