රාජ්‍ය නිලධාරියා :
‘හොඳයි ඔබට මම මේ සියල්ලම විස්තර කර කියන්නම්. ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන නීතිරීතිවලට අනුව සහ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලාංකිකයන්ට සහ මෙරට සිටින විදේශිකයන්ට අදාළ වන වෙන වෙනම නීතිරීති පද්ධතියක් තිබෙනවා. එසේම එම පිරිස්වලට අදාළ වන අයිතිවාසිකම්ද පෙන්වාදී තිබෙනවා. ඔබට පැහැදිලිද? ආගමන හා විගමන පනතෙහි 16 වැනි වගන්තිය යටතේ ඒ බව පැහැදිලි කර තිබෙනවා. ඔබට මෙය පැහැදිලි නැති නම් මේ තොරතුරු අන්තර්ජාලයෙන් පවා ලබාගන්න පුළුවන්. අන්තර්ජාලයේ මේ පනතේ විස්තර සියල්ලම තිබෙනවා. මෙතැනදී අප විදේශිකයන්ට අදාළ කොටස ගැන සොයා බලමු. මෙම පනතේ 16 වැනි වගන්තිය යටතේ පැහැදිලවම කියලා තිබෙනවා විදේශිකයන් සතු වීසා බලපත්‍රය ගැන. ඒ කියන්නේ එම වීසා බලපත්‍රයට අදාළ කොන්දේසි එහි පෙන්වාදී තිබෙනවා. ඒ කොන්දේසිවලට අනුවයි විදේශිකයන් කටයුතු කළ යුත්තේ. මොකක්ද ඔබට ලබාදී තිබෙන වීසා කාණ්ඩය? හොඳයි ඔබම එය අපට පැහැදිලි කරන්න…’
විදේශීය තරුණිය :
‘නේවාසික (රෙසිඩන්ට්) වීසා එකක්…’
රාජ්‍ය නිලධාරියා :
‘ඔව් ඒක හරි. මොකක්ද කාණ්ඩය?’
විදේශීය තරුණිය :
‘වෛද්‍ය (මෙඩිකල්) වීසා එකක්…’
රාජ්‍ය නිලධාරියා :
‘හොඳයි ඔබ එහෙනම් දන්නවා. ඔබට මේ පැහැදිලි කරන දේ හොඳින් අවධානයට ගන්න. මම ආගමන හා විගමන නිලධාරියකු විදියටයි මේ පැහැදිලි කිරීම සිදුකරනු ලබන්නේ. මගේ නම්ගම් විස්තර තනතුර මොකක්ද කියලා ඔබට ලියලා තියාගන්න පුළුවන්. ඒත් මේ කිසිවක ඡායාරූප ආදිය ගන්න බැහැ. අපි ආගමන විගමන නිලධාරීන් විදියට සැක කරනවා ඔබ මෙම වීසා බලපත්‍රය යටතේ යම් ආගමන විගමන නීතිරීති උල්ලඝනය කිරීමක් සිදුකර තිබෙනවා කියලා. මේ තත්ත්වය යටතේ අපට රාජ්‍ය නිලධාරීන් හැටියට සිදුවෙනවා ඔබගේ විදේශ ගමන් බලපත්‍රය අපගේ භාරයට ගැනීමටය. එනම් යම්කිසි විදේශිකයකුගේ ගමන් බලපත්‍රය අපගේ භාරයට ගැනීමට අපට බලතල තිබෙනවා…’
විදේශීය තරුණිය :
‘ඇයි ඔබලා එහෙම කරන්න යන්නේ? මම වරදක් කරලා නැහැ මට එහෙම කරන්න. මොකක්ද හේතුව, මොකක්ද වරද…?’
රාජ්‍ය නිලධාරියා :
‘අප ඔබව සැක කළොත් අපට එහෙම කරන්න වෙනවා. විදේශ ගමන් බලපත්‍රය අපි ලබාගෙන ඉන් පසුව ඔබට ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ සිටීම සඳහා වෙනත් විශේෂ ලිපියක් ලබාදෙනවා.
විදේශීය තරුණිය :
‘හොඳයි, ඔබ කියන්න මම ගැන සැක කළ කාරණා මොනවද කියලා…?’
රාජ්‍ය නිලධාරියා :
‘අප දැනට සොයාගත් කරුණුවලට අනුව පෙනීයන්නේ ඔබ ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මෙම වෛද්‍ය කටයුතුවලට අදාළව නොවන බවයි. ඔබගේ වීසා බලපත්‍රය නිකුත් කරලා තියෙන්නේ ‘වෛද්‍ය කාණ්ඩයට’ අනුවයි. මුලින්ම මේ පරීක්ෂණය සිදුකරන්න අවශ්‍ය නිසයි ඔබගේ විදේශ ගමන් බලපත්‍රය ලබාගන්නේ. මෙහෙම අපි කියනකොට ඔබටත් අපට ප්‍රකාශ කරන්න බොහෝ දේවල් ඇති. අපි ඒවාටත් සවන් දිය යුතුයි. එහෙත් අපට පැහැදිලි නැහැ ඔබ වෛද්‍ය කාණ්ඩයේ වීසා එකක් ලබාගෙන ඇත්තේ කුමන හේතුවක් නිසාද කියලා. ඔබ මෙවැනි වීසා එකක් ලබාගෙන ඇති වටපිටාව මොකක්ද කියලා අපි සොයා බලනවා. ඒ නිසා දැන් මේ මොහොතේ ඔබගේ විදේශ ගමන් බලපත්‍රය අපගේ භාරයට ගන්නවා. ඒක අප ඔබගෙන් ලබාගන්නේ නීතිමය තත්ත්වයක් යටතේයි…’
විදේශීය තරුණිය :
‘නැහැ නැහැ, ඔබලාට ඒක කරන්න බැහැ. මගේ ගමන් බලපත්‍රය එහෙම බලහත්කාරයෙන් ලබාගන්න බැහැ….’
රාජ්‍ය නිලධාරියා :
‘නැහැ, අපි ඒක සිදුකරන්නේ ආගමන හා විගමන පනතේ නීතිරීතිවලට අනුවයි. අපට පුළුල් විමර්ශනයක් සිදුකිරීමට තිබෙනවා…’
විදේශීය තරුණිය :
‘හොඳයි. මට මේ ගමන් බලපත්‍රය නැවත දෙන්නේ කවදාද…?’
රාජ්‍ය නිලධාරියා :
‘අපි නිකුත් කරන තාවකාලික බලපත්‍රය සතියකට වලංගුයි. ඉන් පසුව ඔබට අපි ගමන් බලපත්‍රය ලබාදෙනවා….’
විදේශීය තරුණිය :
(ආවේගශීලී සහ දුක්මුසු ස්වරයෙන්) ‘ඇයි මෙහෙම මට කරන්නේ? මට පැහැදිලි කරලා කියන්න. ඇයි මට මෙහෙම සලකන්නේ කියලා. මම ඔබලාගේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතාකරපු නිසාද මට මෙහෙම සලකන්නේ? මම එහෙම කරපු නිසා නේද රාජ්‍ය බලධාරීන් මගෙන් මෙහෙම පලිගන්නේ? ඔබලාගේ අරගල කළ ජනතාව වෙනුවෙන් මම සමාජ මාධ්‍යයන් හරහා ජාත්‍යන්තරයට කතා කළ නිසා නේද මට මෙහෙම කරන්නේ? මේක හරිම අසාධාරණයක්. මම පෙනීසිටියේ කතා කළේ ඔබලාගේ ජනතාවගේ ප්‍රශ්න ගැන. අයිතිවාසිකම් ගැන. ශ්‍රී ලාංකික පොදු ජනතාව වෙනුවෙනුයි මම පෙනී සිටියේ. මගෙන් මෙහෙම පලිගන්න එපා. මට මෙහෙම සලකන්න එපා…’
කුමක්ද මේ උද්වේගකර කතාන්දරය? මෙම සුවිශේෂ වගතුග අපට අසන්නට ලැබුණේ පසුගිය 2022 වසරේ අගෝස්තු මාසයේ මුල් සතියේදීය. එසේ නම් ඉහත ඔබට ලියා තැබූ දෙබස් හුවමාරුවේ සිටින රාජ්‍ය නිලධාරියාත්, විදේශීය තරුණියත් කවුරුන්ද?රාජ්‍ය නිලධාරියාගේ නමක් දැනගන්නට නැතත් ඔහු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකි. විදේශීය තරුණිය නම් ස්කොට්ලන්ත ජාතික කයිලි ෆ්‍රේසර් (Kayleigh Fraser)ය. ඇය දැනට 33 වැනි වියෙහි පසුවන කාන්තාවක වන අතර වෘත්තියෙන් ඇය වෛද්‍ය චිකිත්සකවරියකි. ඉංග්‍රීසි බසින් මෙම තනතුර හඳුන්වන්නේ මෙඩිකල් තෙරපිස්ට් (Medical Therapist) යනුවෙනි. ඇය යුරෝපීය රටක් වන ස්කොට්ලන්තයේ පුරවැසියකු වන අතර ඇය ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පසුගිය 2022 වසරේ මාර්තු මාසයේ මුලදීය. ඉහත සවිස්තරව ලියා තැබූ කතාබහෙන් ඇයගේ යම් වගතුගක් ඔබට පැහැදිලි වනු ඇත. කයිලි ෆ්‍රේසර් එකල ගාලුමුවදොර මාස ගණනාවක් පුරා පැවැති ජන අරගලයට සහාය දැක්වූ විදේශීය කාන්තාවක් ලෙස එවිට බොහෝ ප්‍රසිද්ධියට පත්වූවාය. ඇය එම අරගලය සමග සම්බන්ධ වූයේ දිනක් දෙකක් නොවේ. සති මාස ගණන් පුරා ඇය අරගලයේ පිරිස් සමග එයට සහාය දක්වමින් කටයුතු කළාය. බොහෝ විට අරගලයේ විවිධ අවස්ථා සමාජ මාධ්‍ය ජාල හරහා ජාත්‍යන්තරය වෙත යොමු කිරීමට ඇය දිවා රෑ නොබලා කටයුතු කළාය. විදේශිකයකු වුවත් ඇය ශ්‍රී ලාංකික පොදු ජනතාවගේ පැත්ත ගෙන ඔවුන්ගේ ප්‍රශ්න අයිතිවාසිකම් ගැන බොහෝ කරුණු විචාරාත්මකව ප්‍රකාශ කර සිටියාය.
මෙවැනි තත්ත්වයක් යටතේ කයිලි ෆ්‍රේසර් යනු ශ්‍රී ලාංකික ජන අරගලය තුළ සිටි සුවිශේෂ චරිතයකි. කෙසේ හෝ මෙලෙස ක්‍රමයෙන් කාලය ගෙවී ගියේය. ඇය තම රටට නැවත නොගොස් මෙරට තුළම රැඳී සිටිමින් මෙම සමාජ මෙහෙවර සිදුකරන්නට ගත්තාය. ගැලුමුවදොර අරගලයට පසුව ඉතා උත්සන්න අයුරින් ඇතිවුණු ජන අරගල අවස්ථාද ඇය සමාජ මාධ්‍ය හරහා ජාත්‍යන්තරයට යොමු කළාය. කෙසේ හෝ ඇය වෘත්තියෙන් විදේශ ජනමාධ්‍යවේදියකු හෝ වෙනත් මාධ්‍ය ක්‍රියාකාරිකයකුද නොවූවාය. එහෙත් ඇය එකල ශ්‍රී ලංකාවේ ජනතාවගේ පැත්ත ගෙන ජාත්‍යන්තරයට ඉදිරිපත් කළ මාධ්‍ය පුවත්, ඡායාරූප, වීඩියෝ දර්ශන මෙන්ම විචාරශීලී ගැඹුරු ප්‍රකාශයන්ද අතිශය ප්‍රබල විය. එහිදී ඇය සජීවී වැඩසටහන් රාශියක්ද සිදුකරනු ලැබුවාය. කෙසේ හෝ මෙම මාධ්‍යකරණය හරහා වත්මන් රජයේ අත්තනෝමතික මර්දනයන් ප්‍රබල ලෙස විචාරයට පත්විය. එවැනි තත්ත්වයක් තිබුණද එවිට ඇයට එරෙහිව කිසිදු පාර්ශ්වයකින් බාධාවක් එල්ලවී තිබුණේ නැත. එහෙත් පසුකාලීනව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට සහ ජනාධිපති ධුරයට පත්වීමේදී එම නව රජය යටතේ ඇයට එරෙහිව දැඩි මර්දනකාරී හස්තයක් එල්ල වන්නට ගත්තේය. ඒ අනුව රාජ්‍ය නියෝගයන් මත ඇය පිළිබඳ පොලිසිය විමර්ශන සිදුකරන්නට ගත්තේය. වෛද්‍ය නේවාසික වීසා මත මෙරටට පැමිණි විදේශීය තරුණියක් මෙලෙස රාජ්‍ය විරෝධී ක්‍රියාවලියක් සිදුකළ බවට ඇයට එරෙහිව චෝදනා නැගෙන්නට විය. ඇයට එරෙහිව රාජ්‍ය මර්දනයක් සිදුවන්නට පටන් ගන්නේ එතැන් සිටය.
මෙම කයිලි ෆ්‍රේසර් නමැති ස්කොට්ලන්ත ජාතික තරුණිය වෛද්‍ය නේවාසික වීසා කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ 2019 අගෝස්තු 14 වැනිදා සිට යැයි වාර්තා වේ. එහෙත් ඇය ගැන පුළුල් සමාජ ප්‍රචාරයක් සිදුවන්නේ 2022 මාර්තු මාසයේ සිටය. ඇය ජන අරගලය උදෙසා එකල සමාජ මාධ්‍ය වෙත පළ කරන ලද බොහෝ වීඩියෝ දර්ශන ඉතා හැඟුම්බර ස්වරූයක් ගෙන තිබිණි. එනම් ඇය සමහර සජීවී වීඩියෝ දසුන්වල හඬාවැටෙමින් කඳුළු සලමින් අදහස් ප්‍රකාශ කරන ආකාරය අතිශය හැඟීම්බරය. එසේම මෙම ලිපියේ මුලින්ම ඔබට ලියා තැබූ ආගමන විගමන නිලධාරියාගේ කතාබහේදී පවා අවසානයේදී ඇය තම අදහස් ප්‍රකාශ කරන්නේ හඬාවැටෙන ස්වරූපයකිනි. ඇය එම අවස්ථාවේ සිදුවීම ඉතා රහසිගතව තම ජංගම දුරකතනයෙන් රූගත කර ඇතැයි පෙනෙන්නට තිබේ. ඇය මේ සියලු මෙහෙවර සිදුකළේ ශ්‍රී ලංකාවේ දුක් විඳින ජනතාව වෙනුවෙන් යැයි හඬමින් රාජ්‍ය නිලධාරීන් වෙත ප්‍රකාශ කිරීම එහිදී සිදුවෙයි. කෙසේ හෝ දින සිය ගණනක් පුරා පැවැති ජන අරගලයේදී විදේශීය නිල මාධ්‍යවේදියකු හෝ නිල ඡායාරූප ශිල්පියකු හෝ හැරෙන්නට කිසිදු විදේශිකයකු මේ ආකාරයට ජන අරගලය ගැන මතිමතාන්තර දැක්වූයේ නැත. ඇය බොහෝ පාර්ශ්ව විසින් හඳුන්වා දී තිබුණේ විදේශීය මාධ්‍යවේදියකු හෝ සිදු නොකළ සංවේදී ගැඹුරු ක්‍රියාවලියක් ඇය ඉටුකරනු ලැබූ බවයි. මේ නිසා පසුකාලීනව රාජ්‍ය බලධාරීන් ඇගෙන් පලිගත් බවයි. ඇය තමන්ගේ මෙම මෙහෙවර බොහෝ විට ඉටු කරනු ලැබුවේ ට්විටර්, ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් යන සමාජ මාධ්‍ය හරහාය. මෙම වටපිටාවේදී රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ ඇයගේ මෙම මාධ්‍ය ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාව, රජය සහ එහි ආරක්ෂක අංශ දැඩි සේ අපකීර්තියට පත්කළ බවයි. එසේම ඇය දැඩි ලෙස නිර්මාණය කරන ලද අසත්‍ය ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවටද චෝදනා නැගිණි.
ශ්‍රී ලාංකික ජන අරගලයේ පෙරගමනේ සිටි මෙම සුවිශේෂ කාන්තාව කවුදැයි දැන් ඔබ හොඳින් හඳුනනවා ඇත. එසේම ඇය කෙරෙහි වත්මන් රාජ්‍ය බලධාරීන් දියත් කළ මර්දනයේ යම් වගතුගක්ද ඔබ දන්නෙහිය. එහෙත් ඒ කතාන්දරය එතැනින් නිම වූයේ නැත. ඉන් පසුව ඇයගේ මෙම කතාව පියවර ගණනාවකින් ගලා යන්නේය. අප එම පියවර කිහිපය සාරාංශ කොට මෙලෙස ලියා තබමු.
2022 අගෝස්තු මාසයේ මුල් සතියේදී ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඇයට ප්‍රකාශ කර සිටියේ ආගමන – විගමන නීතිරීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඇයට අගෝස්තු 15 වැනිදාට පෙර මෙරටින් පිටව යා යුතු බවයි.
මෙම නියෝගයත් සමග ශ්‍රී ලංකාව තුළ ඇය ජීවත්ව සිටි නිසි ස්ථානයක් සොයාගැනීමට නොහැකිවිය. ඇය රට හැර ගියේද, එසේත් නැත්නම් රාජ්‍ය බලධාරීනව මඟහරිමින් සිටින්නේද යන්න පැනයක් විය.
අගෝස්තු මාසයේ දෙවැනි සතිය වන විටදී කයිලි ෆ්‍රේසර්ගේ වීසා බලපත්‍රය අවලංගු කිරීම සහ ඇයගේ විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන බලධාරීන් යටතට ගැනීම. ඇයට තිබෙන්නේ ලබන 2023 මාර්තු 08 දක්වා බලපවත්වනු ලබන නේවාසික වීසා බලපත්‍රයකි.
කයිලි ෆ්‍රේසර් තමන් මෙරටින් පිටුවහල් කිරීමට ගත් නියෝගයට එරෙහිව එය අභියෝගයට ලක් කරමින් රීට් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීම. ශ්‍රී ලංකාවේ ප්‍රකට මහජන නඩුහබ නීතිඥවරයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා ඇයට නීති ආධාර ලබාදීමට ඉදිරිපත් වෙයි. එහෙත් අවාසනාවකට අභියාචනාධිකරණයේදී විනිසුරු සෝභිත රාජකරුණා මහතා විසින් රීට් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කළේය.
2022 සැප්තැම්බර් 14 වනිදා කයිලි ෆ්‍රේසර් ශ්‍රේෂ්ඨාධිකණය වෙත ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රතික්ෂේප කරන ලදී. තමන්ගේ වීසා බලපත් අවලංගු කර රටින් පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලා පෙත්සම ගොනුකර තිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙ අලුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ ජනක් ද සිල්වා යන මහත්වරුන් විසින් පෙත්සම ප්‍රතික්ෂේප කරන ලද අතර ඇයට නීතිමය පිරිවැයක් ලෙස රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙසටද නියෝග කරන ලදී. මෙය සුවිශේෂ සිදුවීමක් ලෙස වාර්තා විය.
එසේ නම් කයිලි ෆ්‍රේසර් කතාවේ අලුත්ම වගතුග කුමක්ද? එනම් පසුගිය 2022 නොවැම්බර් 28 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ලබාදී තිබුණු නියෝගයකට අනුව ඇයගේ මෙම නඩුව විභාගයට ගනු ලබන්නේ 2023 ජුනි 07 වැනිදායින් පසු දිනයකදීය. එනම් තවත් මාස 06ක කාලයකින් පසුවය. එසේම ප්‍රියන්ත ජයවර්ධන විනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාටද නියෝග කර ඇත්තේ එම දිනයට පෙර කිසිදු මෝසම් අයැදුම්පතක් හෝ භාර නොගන්නා ලෙසය. මේ අනුව මෙම තත්ත්වය දැනට විශාල අර්බුදයක් බවට පත්ව ඇත. කයිලි ෆ්‍රේසර් පසුගියදා ප්‍රකාශ කර ඇත්තේ ඇයට අධිකරණ ක්‍රියාමාර්ගය හරහා අතිශය අසාධාරණයක් සිදුව ඇති බවයි. මේ නිසා ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ තිබෙන 10, 11, 12 සහ 14 යන වගන්තිවලින් ප්‍රකාශ වන මූලික අයිතිවාසිකම් සියල්ලම උල්ලංඝනය වී ඇතැයි ඇය ප්‍රකාශ කර ඇත. ඇයට දැන් මුහුණ දෙන්නට සිදුව ඇති තත්ත්වය ගැන යම් රහසිගත ස්ථානයක සිට ඇය මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කර තිබුණාය. එම ප්‍රකාශය ඇගේ වචනවලින්ම මෙසේය.
‘මාගේ මේ ප්‍රශ්නයට දැන් මාස 06ක් තිස්සේ නිසි විසඳුමක් ලැබී නැහැ. මම මේ කාලය ඇතුළත නීතිමය සටනක් සිදුකරමින් සිටිනවා. මම පසුගිය මාස ගණනාව පුරා ප්‍රසිද්ධියේ එළියට ආවේ නැහැ. එයට හේතුව වුණේ මම මගේ මුහුණ දැන් ප්‍රසිද්ධියේ පෙන්වන්නට ගියොත් සමහර විට මාව අත්අඩංගුවට ගනියි කියලා බියක් තිබෙනවා. ඒත් මගේ සටන අතහැර නැහැ. මම පසුගියදා බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයටත් කතා කරලා කිව්වා මට මේ ප්‍රශ්නයට උදව් කරන්න මැදිහත් වෙන්න කියලා. එහෙත් තානාපති නිලධාරීන් මට කියා සිටියා ශ්‍රී ලංකා රජය මැදිහත් වී තිබෙන මෙම ප්‍රශ්නයට ඔවුන්ට මැදිත් වෙන්න බැහැ කියලා. අද මට සිදුව තිබෙන්නේ මගේ මානව හිමිකම් සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක්. මට දැන් මේ රටෙන් ඉක්මනට පිටවෙලා යන්න ඕනෙ. මට දැනට මගේ විදේශ ගමන් බලපත්‍රය නැහැ. වීසා බලපත්‍රය නැහැ. මේවා මගේ අයිතිවාසිකම්. මට මේ ලිපි ලේඛන ඉක්මනින්ම ලබාදෙන්න. මගේ අතේ දැන් ජීවත්වෙන්නට මුදල් කිසිවක් නැහැ. ආර්ථික ප්‍රශ්නවලත් මම හිරවෙලා. ජුනි මාසය වෙනතුරු තවත් මාස 06ක් මම ජීවත් වෙන්නේ කොහොමද? ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය ලබාදී තිබෙන්නේ මගේ නඩුව නැවත විභාග කරන්නේ ජුනි මාසයේ අන්තිම කියලා. මගේ මානව හිමිකම් සම්පූර්ණයෙන්ම නොසලකා හැරලයි තියෙන්නේ. මම මේ රටේ ජන අරගලයට උදව් කළේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්. රජයට විරුද්ධව මම කිසිම කුමන්ත්‍රණයක් කරලා නැහැ. මට මගේ නිදහස සහ ආරක්ෂාව අවශ්‍යයි. මට මෙහෙම බියෙන් ජීවත් වෙන්න බැහැ. මට වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැහැ…’
මේ අතර මෙම ආන්දෝලන්තාමක සිදුවීමට අදාළව තවත් අලුත් පුවතක්ද පසුගියදා ආරංචි විය. එනම් ශ්‍රී ලංකාවේ සිටින අතිශය ප්‍රකට සහ දක්ෂ නීති විශාරදයකු වන ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම් මහතා, කයිලි ෆ්‍රේසර් වෙනුවෙන් නීතිමය කටයුතුවලට ඉදිරිපත් වීමට කැමැත්ත පළකර ඇති බවය. එසේම නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාද ඇය වෙනුවෙන් දිගටම පෙනී සිට ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ










