පසුගියදා කොළඹ අලුත්කඩේ අධිකරණය තුළදී විත්ති කූඩුවේ සිටියදී ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධකරුවකු බවට සැක කරන ගණේමුල්ල සංජීව නමැත්තාට වෙඩිතැබීමට නීතිඥ වෙසින් සිටි සැකකරුට පිස්තෝලය ලබාදී පලාගිය ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව සෙවීමට පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ බුද්ධි අංශද රට පුරා සිදුකරගෙන යන මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා පියවර ගෙන ඇත. Sri Lanka Latest News
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා සඳහන් කළේ පොලිස් කණ්ඩායම් ගණනාවක් සිදුකරගෙන යන අදාළ මෙහෙයුම් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ණය යටතේ ක්‍රියාත්මක කර ඇති බවයි.
පසුගිය බ්‍රහස්පතින්දා සවස වනතෙක්ම ඇය අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබිණි.
ඒ සම්බන්ධයෙන් පසුගිය සති අන්තය වනවිට සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරගෙන යන බවත්, මිද්දෙණිය ප්‍රදේශයේදී සිදුවූ පාතාල ඝාතන සිද්ධියකට අදාළව සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්ය.
මේ අතර, මේ වනවිට පමුණුගම වෙරළට ගෙනගොස් පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන පමුණුගම පොලිසිය ප්‍රශ්න කරගෙන යයි.
අලුත්කඩේ සිද්ධියට අදාළව බන්ධනාගාර මට්ටමින්ද පරීක්ෂණයක් ආරම්භ කොට බන්ධනාගාර නිලධාරීන් 15 දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබාගෙන ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය) ගාමිණී දිසානායක මහතා පැවැසීය.
මේ අතර, ඉෂාරා සෙව්වන්දි නම් සැකකාරිය පිළිබඳ රහසිගත තොරතුරක් ලබාදෙන අයකුට රුපියල් ලක්ෂ 10ක ත්‍යාග මුදලක් පිරිනැමීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කොට තිබේ.
ප්‍රේමලාල් විජේරත්න










