පසුගිය වසර තුළදී නීති විරෝධීව ඉන්දියානු ධීවරයන් රැගත් ට්‍රෝලර් යාත්‍රා 6,104ක් උතුරු මුහුදේ මත්ස්‍ය සම්පත් කොල්ලකමින් සිටියදී නාවික හමුදාව විසින් පලවා හැර ඇති බව වාර්තා වේ. (Sri Lanka Latest News)
මන්නාරමේ සිට මුලතිව් ඉහළ කොටස දක්වා වූ මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වන ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා පලවා හැරීමේ මෙහෙයුම්වලදී නාවික හමුදා අණ නොතකා දිගටම රැඳී සිටිමින් මත්ස්‍ය සම්පත් කොල්ලකෑ ඉන්දියානු ධීවර යාත්‍රා 34ක් සමග ධීවරයන් 229ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන උතුරේ ධීවර පරීක්ෂකවරුන්ට භාරදී ඇතැයි නාවික හමුදාවේ උසස් නිලධාරියකු ‘මව්රට’ට පැවැසීය.
2012 වසරේ සිට 2023 දක්වා වූ වසර 11ක කාලය තුළදී එවැනි අන්දමට නීති විරෝධීව උතුරු මුහුදු සීමාවන්ට ඇතුළු වූ ඉන්දියානු ධිවරයන් 3,881ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම කාලසීමාව තුළදී අත්අඩංගුවට ගත් ට්‍රෝලර් යාත්‍රා සංඛ්‍යාව 693කි.
මෙම වසරේ පෙබරවාරි 14 දක්වා කාලය තුළදී නීති විරෝධීව මෙරට මුහුදු සීමාවට පැමිණි ඉන්දියානු ධීවරයන් 88 දෙනකු සහ ට්‍රෝලර් යාත්‍රා 12ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
උතුරේ ධීවර සංවිධානයක නම හෙළිකිරීමට අකැමැති නිලධාරියකු සඳහන් කළේ මත්ස්‍ය සම්පත කොල්ලකෑමට විසඳුම් ලබාදීමට දෙරටේම ඇතැම් දේශපාලනඥයන් මැළිකමක් දක්වන බවයි.
ප්‍රේමලාල් විජේරත්න










