‘වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
ඇයි හදවත රිදවන්නේ…’
(තම පිය රජ) කලා වැවේ වැව් බැම්මේ “හිටුවා පස් ගසා” (මැටි ගසා) මැරූ බව අනුරාධපුර සමයේ ඉතිහාස ගත සාහිත්‍යයේ “කළු” අකුරෙන් සඳහන්ය.
ඊට පසුව කෝට්ටේ යුගයේදී මායාදුන්නේ උන්නැහේ තම පියා “විජයබාහු රජුන්” රජකම උදෙසා මරාදැමුවේ යැයි කියති. ඔය මෑත ඉතිහාසයේය.
“බුදුන් උපන් කාලෙ මිනිහකුයැ”යි අප කොයි දේටත් පවසන්නේ ඒ කාලයේ (බුදුන් ජීවමාන සමයේ) කුරාකූඹියකුට තරම් හෝ වරදක් කිරීමට පෙලඹෙන කෙනෙකුන් නොවූ නියාව ඇඟවීමටය.
(හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උන්නැහේගේ වචනයෙන් කියන්නේ නම් “බම්බුව” තමයි. දැන් බම්බුව පමණක් නොව, සෙම්බුවත්, කොම්බුවත් වගේය.)
එච්චර හොඳ මිනිසුන් සිටියා යැයි කියන්නේ කෙසේදැයි විමසිය යුත්තේ බුදුන් වහන්සේගේ හොඳම ශ්‍රාවකයකු වූ “බිම්බිසාර” (බිංදුසාර රජ)” රජකම නුදුන් නිසා “උන්නැහේගේ” පුත්‍රයා යැයි හැඳින්වෙන“අජාසත්තයා” යැයි කියන “මගෝඩියා” විසින් ඝාතනය කරනු ලැබූ හෙයිනි.
එසේ ඝාතනය කරනු ලැබ ඇත්තේද මෑත යුගයේ අහවලාගේ “බටලන්දේ-ඇටසිංදේ” ගණනට “සබ්බුව” නොලැබුණත් ඊට අඩුවෙන් හෝ මාස ගණනාවක් තිස්සේ වධ දීමෙනි.
බුදුන්ගේ හොඳම ගෝලයකුට එසේ වූයේ වී නම් සෙසු සාමාන්‍ය කෙනකුට “කොසේ” වීදැයි (කෙ සේ) ඇසිය යුත්තේ ඒ නිසාමය.
“අග්ගඤ්ඤ” සූත්‍රයේ සඳහන් අන්දමට “ආභස්සර” දෙව්ලොව සිට නෙළුම් දඬුවක් දිගේ පහළට බට ස්ත්‍රී සහ පුරුෂ ලිංගික සත්වයන් දෙදෙනකුගෙන් මිහිතලය ජනාවාසවී “රසෝජාව” (පොළොවේ පස්) වළඳමින් ජීවත්වන කල්හි ප්‍රජා ගණත්වය අධිකවී තම තමන් පොළොව් කොටස් තමන්ටම වෙන්කර ගැනීමෙන් “වස්තු කාමය” උපන්නේ යැයි විස්තෘතය.
ඔය වස්තුවට (ධනයට) ඨානාන්තරයට පොළොවේ පස් (ඉඩකඩං), කඩදාසි සහ ලෝහ කෑලිවලට (සල්ලිබාගෙ) පෙරේතකම (තෘෂ්ණාව) නිසාවෙනි.
බුදුන් “අනත සුඛ” (ණය නොවී සිටීමට) දේශනා කළහ.
“ඒකේන භෝගේ භුංජෙයිය
ද්විහි කම්මං පයෝ ජයේ
චතුත්තංච නිධ්‍යාපෙයිය්‍ය
ආපදාසූ භවිස්සති”
(උපයන ආදායම සිවු කොටසකට බෙදා ඉන් එක් කොටසක් ආහාර සඳහා ගන්න, දෙකොටසක් සෙසු අවශ්‍යතාවලට ගෙන ඉතුරු කොටස ආපදා සඳහා ආරක්‍ෂාකාරීව තබාගන්න) යනු බුදුන්ගේ ආර්ථික න්‍යායයි.
(බුදුනුවනි, (බෞද්ධයනි) ඔබ මා කමා කෙරෙත්වා. (මට සමාවුව මැනව) මාසික ආදායම (විශ්‍රාම වැටුප) රුපියල් තිස්දහසක් (30,000) වූ අයකු සිය බිරිය සමග වර්තමානයේ ඒ ආර්ථික න්‍යාය අනුව ජීවත් වන්නේ කෙසේද? අද බොහෝ විශ්‍රාමිකයෝ (ලක්‍ෂ ගණනාවක්) රුපියල් විසිපන් දහසකටත් අඩු මාසික විශ්‍රාමික වැටුපක් ලබන්නෝය. ඇතැමුන්ට එමගින් මුණුබුරකු හෝ දෙදෙනකු රැකබලාගැනීමට සිදුවේ. අදින්නාදානා වේරමණී ශික්‍ෂාපදයද එසේම විවාදාපන්නය. දෙකෝටි විසිපන්ලක්‍ෂයකට මේ සංඛ්‍යාලේකන වැරැදිය) අධික ජනගහනයෙන් සැබෑ බෞද්ධයන් වැඩි පිරිසක් තම අඹුදරුවන් සමග “හුවගාතේ” (කුසගින්නේ) සිටිද්දී අතළොස්සක තරම් පිරිසක් ඔවුනගේ ධනයෙන් සුරසැප විඳිති. මේවාට පල විපාක ඊළඟ ආත්මයේලු. ඒ අශ්වයා පැනගියාට පසුවය)
ශුද්ධ වූ බයිබලයේ සඳහන් අන්දමට දෙවියන් වහන්සේ මවන ලද්දේ යැයි කියන අපේ හත්මුතු පරම්පරාවේ ආදිතම කිරිකෑමුත්තම්මාගේ ද, කිරිකෑමුත්තම්මා බව කියන “ඒවා” (ඊවා) ආර්යාව විසින් තහනං ගහේ ගෙඩි කෑමෙන් පසුව ඔන්න ඔය කියන “කෙළි” ඔක්කොම ආරම්භ වූයේ අපේ කපිල පුංචි මහත්තයාට ආවේණික වචනයෙන් කියන්නේ නම් ඔන්න ඔය “ආකාරයට”ය.
ඔය සමීකරණය කෙටියෙන් කියතොත් “මිනිග්ගජ්ජා” (මානවයා) වස්තුවට (ධනයට) ඨානාන්තරයට පොළොවේ පස්වලට (ඉඩකඩං), කඩදාසි සහ ලෝහ (මුදල් සහ රන්රිදී කෑලිවලට (සල්ලිබාගෙ) පෙරේතකම් (තෘෂ්ණාව) පාන්නට වූයේ මානව සංහතිය ආරම්භයේ පටන්ම බැව් පැහැදිලිය.
“හතරහිනා” යැයි සිනා හතරකි. ඒ හතර හිනාවෙන් එකක් ධනය අරබයා මාරයා විසින් පහළ කරනු ලබන්නේලු. ඉඩකඩංවලට මිනිසුන් ගහ මරාගන්නා විට පොළොවේ පස් නිසා මුන් මරාගන්නා බව කියමින් මාර දිව්‍ය පුත්‍රයා එසේ සිනාවෙන්නේලු.
සොර සැමියකුට දාව උපන් බිලිඳකු නියම සැමියා විිසින් “මගේ පුතා, මගේ පුතා” යැයි කියමින් සුරතල් කරන කල්හි අර කාන්තාව සිත යටින් සිනාසෙන බව තවත් අවස්ථාවක්ලු.
ධනය, වස්තුව යන දේපොළ වර්ග කළ විට ඒ සියල්ලේ “බේස්” එක සල්ලිය. සල්ලි ඇත්නම් ඕනෑම දෙයක් උපයා සපයාගත හැක්කේලු.
අපේ සුදු මහත්වරුන් Everything is money and every thing depends on money යැයි කියන්නේ ඔන්න ඔය හිංදා (නිසා)ය.
මහා බ්‍රහ්මයාගේ සුන්දරතම නිර්මාණය වනාහි “කාන්තාව”ලු. “ගස්වල කොළ සල්ලි වුණොත් කෙල්ලන් වඳුරන්ටත් ප්‍රේම කරනවා” යැයි කියන ශ්‍රේෂ්ඨ කියමන කාගේදෝ බෝල්පොයින්ට් පෑන් තුඩින් ප්‍රසූත වූයේ එහෙයිනි.
බුදුන් දවස රජවරුන්ට වඩා ධනවත්තු වූවෝ සිටුවරුය. අනේපිඬුලා First placeය.
ක්‍රිස්තුස්වහන්සේ සමයේ ද “හෙරෝද්ලා” උන්හ. ඔය අන්දමට එදා මෙදාතුර සිටි රජවරු සිටුවරු සහ සාමාන්‍ය ප්‍රජාව අතර විවිධ වර්ගයේ මූල්‍ය වත්කම් භාවිත විණි.
මොනවා වුවත් පෙරදිග මුල්තැන හිමි වූයේ කහවණු මසුරං වගේ දේටය. හොඳ කතාවක් කීවොත් “කටේ මසුරං දැමිය යුතු” යැයි කීවේ එබැවිනි.
එහෙත් ඒ යුග ගෙවීගොස් දැන් අපේ අතට රුපියල් ලැබී තිබේ. දැන් සල්ලි අතර ගෞරව පූජා ලබන්නේ “ඩොලර්” මිස රුපියල් නොවේ. ඩොලර් සමග සසඳන කල රුපියලේ තත්ත්වය වනාහි රුපියල් අස්සේ අළුක්කාල් (මුක්කාල්) ගහනවා වගේය යන්නය. නැතහොත් “මෝරුන්, තල්මසුන් අස්සේ කූනිස්සන් හාල්මැස්සන් වගේය.
අපේ රටේ රුපියල “ඩොලර් උන්නාස්සේ” ඉදිරියේ කෙළින් ඉන්න බැරි ගානට “උඩ්ඩේන යට්ටේන පැද්දේන” හෙවත් ඉහළ පහළ වැනෙන්නේය. මේ වන විට තුන්සීය මට්ටමේය. රුපියලට වැලේ වැල් නැත. රුපියල් නැති නිසා ඡන්ද කොළ ගහන්නත් බැරිය. ඡන්ද කොළ නැති නිසා ඡන්දෙත් නැතැයි ලොක්කා කියන්නේ එහෙයිනි.
අපට රුපියල් සේම සමහර රටවලට පවුන් සිලිංය. ඒ රටවල කාන්තාවන් යනවා කියන්නේත් සිලිංසිලිං ශබ්දය ධ්වනිත කරවමින්ය. හැබැයි ඒ අතේ වළලුවලින්නම් නොවේය.
සමහර රටවල පයිසා තිබේලු. මෙහේ නම් ලැසියා ළඟවත් පයිසා ඇත්දැයි කියන්නට බැරිය. ඉන්දියාවේත් රුපියල්ය.
“හෝව්, පොඩ්ඩක් හෝව්”.
පොඩ්ඩෙන් කියන්නට අමතක වෙන්නට ගිය තවත් දෙයක් ද තිබේ. කාන්තාවන්ගේ භාෂාවෙන් “කියන්නේ නම් අනේ ඕගොල්ලො” මේ රටේ වෙන්න යන වින්නැහිය දන්නවාද දන්නෙ නෑ. ඒ වුවත් ඒක කිව යුතුයි. අපේ රුපියලත් ඉන්දියාවෙ රුපියලත් එකක් කරන්න යනවද මොකක් ද කියන කතාවක් තිබේ. අපේ රට ගිලින්නද යන්නේ.
ඔය අතරේ අපේ ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දතුමා (දහතුන් වතාවක් මරණයෙන් ගැලවුණු ගරු බළල් පණා) ඉන්දියාවේ ධීවර බෝට්ටුවලට (ධීවරයින්ට) මාළු අල්ලන්ඩ “ලැයිසොං” දෙන්නත් යනවලු.
(මට වයස අවුරුදු අසූවට ළඟයි. ඒත් මේවා ඇහෙන කොට “මාළු” නටන්නෙ මූදෙ නෙමෙයි.)
(ඇත්තට හැබෑවට මුන්නෙ මවු දේවින්නාන්සේලාට “හුරුල්ලෝ” කිලෝ එකක් බැරිනං පන්සීයක්වත් ඇරං දෙන්න තරං කොන්ද පණ ඇති එක පූසිගෙ පුතෙක්වත් මේ සිරිලංකාවෙ නැති හැටියක්. අම්මපා..ආ..ආ..) ඒත් එපා “හෑං බ්‍රේක් එක” Hand Break අදින්ඩ එකෙක්.
අපේ ගංවල පැරැන්නන් “නෙදකු නෙදකු” කියන්නේ ඔය වෙලාවටය.
අප ඉලංදාරි කාලේ අධ්‍යාපන ඇමැතිවරයකු වූ දේශහිතෛෂී අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා පාසල් ගීතයක් නිර්මාණය කර දුන්නේය.
“ලෝකෙන් උතුම් රට ලංකවයි
ලංකාවයි සිරි ලංකාවයි.”
හැබැයි ඕක දැන් පොඩ්ඩක් වෙනස් කළ යුතුය.
ඒ, “ලෝකෙන් හිඟන රට ලංකාවයි
ලංකාවයි සිරි ලංකාවයි” හැටියටය.
දේශමාමක දේශබන්දු සහ දේශපන්දු තමුන්නාන්සේලා අපේ රට අන්තිමටම හිඟන තත්ත්වයට වැටුණු රටක් ගානට මවිසින් පලිච්චි කරන ලද බවට මාහා අඝාත නොබඳිනු මැනවි.
මා කිවේ ලෝකෙන් හිඟාකන බව පමණි.
ඉන්දියාවේ පොඩි උන් ටිකක් සල්ලි එව්වාත් හරිය. ඔවුන් කඩවල් ගානේ සල්ලි එකතු කරන්නට පිංගැට තිබ්බාට ගණනතුත් නැත. චීන පැටව් ටිකක් තමන්ට කඩචෝරු කන්ඩ දෙන පොකට් මනි අපට එව්වාත් කාරි නැත. ඒවා අපේ රනිල් අංකල් භාරගත්තේ ඒ අයට පින් පිණිස මිස අපට ඕනෑ “ලබ්බකට” නෙමේ.
අපට අපේ ගස්වල කොස්, දෙල්, පොල් ඕනෑ තරම් තිබේ. පොඩි පරහකට ඇත්තේ කොස් “වාත” ජනිත ආහාරයක් නිසාය. හැන්දෑවට කෑවොත් රෑට බුදියලා ඉවරය. බඩට වාතෙ පුරවයි. පුරවපු වාතෙ කොහෙන් හරි යන්නත් ඕනෑමය. මළගිය ඇත්තෝ කෘතියේ එදිරිවීර සරච්චන්ද්‍රතුමා කීවා සේ “යන්ඩ නම් එන්ඩම ඕනෑමය. එන්ඩත් යන්ඩම ඕනෑමය”.
හැබැයි අවුරුදු හැට හැත්තෑව පැන්න (අපේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ලියා එවන අන්දමට) ඉතා..ආ..ආ.රූමත් ලලනාවන්ට කොස් කෑමෙන් වාතෙ පිරීම වැඩිය. කොස් ඇට බැද කෑම සියල්ලටම වඩා බඩට වාතෙ පිරෙන්නකි.
අපේ වත්තට එහා වත්තේ ඔය කියන රූප සම්පන්න සහ වයස් සීමාවේ පසුවෙන නැන්දම්මා කෙනකු සිටියි. ඇගේ වත්තේ අවුරුද්ද පුරාම ගස්වල පලදාව වරන්නේ නැත. ගෙඩි “පෙරිය” සයිස්ය. කොස්ගස් හත අටක්ම තිබේ. ඒ ඉඩමේම ඇගේ මලයෙක් සිටියි. ඒ මනුස්සයා පහුගිය සංදියේ බාගෙට හුළං ගිය බැලුම් බෝලයක් මෙන් මුහුණ එල්ලාගෙන සිටියේය. හැබැයි දැන් මාස හත අටක සිට “දස්ට දිස්ටිය” වැඩිය. දැන් මේ මිනිහා කුඹුරක යන්නේ නම් “අලුත්නුවර ගම්භාර හූනියං දේවතා බණ්ඩාර හාමුදුරුවෝවත්” ඊට උඩින් නියරේ යන්නේ නැත. උන්නාන්සේ යන්නේත් මේ මිනිහා යන නියරට පහළ නියරේය. ඒ තරං මේ මිනිහගේ “තේජස්”ය.
ඇයි දන්නවාද? ඒ මනුස්සයා එදා සිටම නොම්බර එකේ “බත්ගොට්ටෙක්”නිසාය. කැපුවත් කොළය. පහුගිය දොහක රෑ හතහමාරට අටට විතර “ඩීංඩීංඩීං” ගා “උණවෙඩි” පුපුරන්නට පටන් ගත්තේය. අනතුරුව තප්පර කීපයක් ගෙවී ගියේය.
“අරුංදැට වාතෙවත් වැඩිවෙලාද” එහා ගෙදර බුරම්පි අක්කා (වයස අවුරුදු හැත්තෑ පහකි) කවුරුහෝ (අසල්වැසියකු) උත්තර බඳියි යන ආකල්පයෙන් උස් හඬක් නැගුවාය. එහෙත් විනාඩියක් දෙකක් යනතුරු කාගෙන් හෝ පිළිතුරක් නොනැගුණේය.
“මං දැක්ක උංදැ දාවලෙ (දවල්) හෙණපත (විශාල) කොස් ඇට වට්ටියක් ඇන්න (අරගෙන) යනවා. තනියෙං සෙතකැඩුවද? (තනියෙං ඔක්කොම කෑවද?) දන්නෑ” ඒ වර කාගෙන් හෝ උත්තරයක් නොවරදින අපේක්‍ෂාවෙන්ම ඇය ඇසුවාය. කාට හෝ රෑ පානෙ (රාත්‍රියේ) අසනීපයක් හැදුණොත් සොයා බලන සිරිත තවමත් අපේ ගමේ තිබේ.
“ඔච්චර හයියෙං ඒ සද්දෙ ඇහෙන්ඩ, තමුසෙ හිතුවද ඒ මනුස්සයට තියෙන්නෙ කාලතුවක්කු කටක් කියල? අනිත් අතට සද්දෙත් වෙනස්” ඒ බුරම්පි අයියාගේ හඬය. ඒ දෙන්නාට දරුවන් නැත. ඉන්නෙ තනිපංගලමේය.
“මගෙන් අහන්ඩ එපා, ඒ දවස්වල දෙන්නගෙ රැඟිල්ල” බුරම්පි අක්කා “කුංදබතේ” (සණ්ඩුව) අල්ලන්ඩ සැරසුණාය.
“එහෙම එකක් නෙවේ බුරම්පි අක්කෙ, අරූ “ගොට්ටා” රතිඤ්ඤ පත්තුකරනවා නොවැ මහ එකා උපදෙස් දීල” මම මැද්දට පැන උන්දැැට ඇරසන්නට කීවෙමි.
“ඒ මක්කටැයි” බුරම්පි අයියා අපේ මිදුලටම ආවා සේය. ඒ ගුටි කන්ඩ බැරි නිසා යැයි මම සිතුවෙමි.
“ඇයි උඹැහෙ දන්නෙ නැද්ද අයි.එම්.එෆ්. සල්ලි ආපු තංතෝසෙට”
“කිරිඅප්පට බල්ලෝ පැනපි කීවලු, හැබෑ නේන්නං මට ඒ ගැන හාංකවිසියක්වත් (මතකයක්) තිබුණෙ නෑ නොවැ. ඒක තමයි එහෙනං අයි.එම්.එෆ්.කාරයින්ගෙ අඩව්වට ඒකයිමේකයි පෙකණිවැලයි මුල ඉඳන්ම කපන්නෙ”
“උඹ කියන්නෙ බුරම්පි අයියෙ මේ පාර කොයි කාලෙකවත් නැතුව සිරිකොතෙත් පත්තු කෙරුවලු නෙවැ රතිඤ්ඤා”
“නැතුව, නැතුව වෙන පත්තු කරන්නෙ උන්නෙ අම්මගෙ දහරුවටැයි. අනේ අම්මා පල්ල මලයා, අරූ සයියගෙ පුතා ෙෙ….යා කියනවා ඒකෙන්ලු මේ පාර රජයේ සේවකයන්ට පඩි ගෙවන්නෙ කියල.”
“මුන් රෙදි ඇඳගෙනද ඔය කතා කරන්නෙ කියල හිතෙනව අයියෙ”
“කිසිම විලිලජ්ජාවක් නැතුව මුන් දාන බජව්, කෙළින පුරාජේරු, මලේ උඹහෙ දන්නෙයි, හන්දියෙ බණ්ඩිය මුදලාලි ණයට අරගෙන මඟුල් කෑහ අන්තිමේදි ඌට බෙල්ලෙ වැලදාගන්ඩ උණා වෙච්චි ගෙවා ගන්න බැරුව”
“ඒව කොදෙ මේ අය්ය එක්ක. ජේ.ආර්.ගෙ බෑණනේ, අපටයි තොණ්ඩුව වැටෙන්නේ”
“ඒ මනුස්සය මොකෙං මොකෙං හරි රට සංවර්ධනය කරන්න හදනවා. අපේ හරක් කෑ ගහනවා” බුරම්පි අක්කා ඔවුන්ගේ මිදුලේ සිටම ජාතිය අමතන්නට වූවාය. මට හිංදාඩිය දැම්මේය.
“කමිං කලර් ඊස් නෝ ගුඩ්ය”
“පැන්නෙම් ගෙටම සිහිවී සංකාරා සබ්බේ
මොනවා උනා දැයි නොදනිමි ඉන් ඔබ්බේ”

චන්ද්‍රසේන මාරසිංහ










