ලංකාවේ 5 පන්තියේ සිට 6 පන්තිය දක්වා ගමන් කිරීම තුළ ළමයින් 7,300කට ආසන්න ප්‍රමාණයක් පාසල් පද්ධතියෙන් ඉවත්ව යෑමක් පෙන්නුම් කරනු ලබන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පාසල් සංගණන දත්ත තුළින් හෙළිවී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය. (Sri Lanka Latest News)
2021 වනවිට 4 වැනි පන්තියෙහි ඉගෙනුම ලැබූ මුළු ළමයින් ප්‍රමාණය 3,30,950ක් පමණ වූ අතර, 2023 වනවිට එය 3,23,692ක් දක්වා පහළ යෑමක් දැකගැනීමට හැකිය.
එනම් එය ළමයින් 7,268ක් පමණ රජයේ පාසල් හැරයෑමක් ලෙසයි පෙන්නුම් කරනු ලබන්නේ.
මේ තුළ පිරිමි දරුවන් 4,337ක් පමණ පාසල් හැරගොස් ඇති අතර, ගැහැනු ළමයින් 2,931ක් පමණ පාසල් හැරගොස් ඇති බව පෙන්නුම් කරයි.
මෙම පන්තිවලදී ළමුන් පාසල් හැරයෑම 5 වසර ශිෂ්‍යත්ව විභාගය තුළින් අතිවන දැඩි මානසික පීඩනයද හේතුවිය හැකි බවයි මහාචාර්යවරයා පවසන්නේ.
පාසල් අධ්‍යාපනය තුළ අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වාත් සියලු දරුවන්ට අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය පසුබිම සකස් කරදීම රටේ අනාගත අර්ථික සහ සමාජ ප්‍රගමනය සඳහා හේතුවිය හැකිය.
විශේෂයෙන් කුඩා කල දරුවන් විසින් අධ්‍යාපනය හැර යෑම ඔවුන්ගේ අනාගතයට මෙන්ම රටේ අනාගතය කෙරෙහිද ඍණාත්මක ලෙස බලපෑ හැකි බවද මහාචාර්යවරයා පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










