එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන යටතේ ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ 2022 සහ 2023 වසරවලදී දිගින් දිගටම අධ්‍යයනයක් සිදුකොට තිබේ. (Sri Lanka Latest News)
ඒ අනුව, 2023 මාර්තු වන විට මධ්‍යස්ථ ලෙස හෝ දරුණු සෙ ආහාර අනාරක්ෂිත පිරිස ලංකාවේ ජනගහනයෙන් 17%ක් ලෙස පැවැති අතර, එය 2023 සැප්තැම්බර් මාසය වනවිට 24% දක්වා වැඩිවී තිබූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය.
එනම් රටේ ජනගහනයෙන් ලක්ෂ 52ක් පමණ ආහාර අනාරක්ෂිතව සිටින බවයි එමගින් පෙන්නුම් කරනු ලබන්නේ.
2023 අගෝස්තු වනවිට නාගරික අංශයේ ආහාර අනාරක්ෂිත පිරිස 14%ක් ලෙසත්, ග්‍රාමීය අංශයේ 25%ක් ලෙසත්, වතු අංශයේ 51%ක් ලෙසත් වාර්තා වේ.
2023 මාර්තුවලට සාපේක්ෂව සලකා බලනවිට 2023 සැප්තැම්බර් වනවිට ග්‍රාමීය අංශයේ සහ වතු අංශයේ ආහාර අනාරක්ෂිත පිරිස ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති බවක් පෙන්නුම් කරනු ලබයි.
තවද පිරිමින් ගෘහ මූලික පවුල්වල ආහාර අනාරක්ෂිතභාවය 16% සිට 22% දක්වා ඉහළ ගොස් ඇති අතර, කාන්තාවන් ගෘහ මූලික පවුල්වල ආහාර අනාරක්ෂිත ප්‍රමාණය 23% සිට 32% දක්වා ඉහළ යෑමක් පෙන්නුම් කරනු ලබයි.
2023 සැප්තැම්බර් වනවිට සමාජ සුබසාධන වැඩපිළිවෙළ යටතේ ජීවත් වන පුද්ගලයන්ගෙන් 57%ක් පමණ ආහාර අනාරක්ෂිතභාවයක සිට ඇත.
තවද කුලී වැඩ කරන්නන්ගෙන් 36%ක්ද, කුඩා ව්‍යාපාරිකයන්ගෙන් 24%ක්ද, ආහාර භෝග වගාකරන අයගෙන් 27%ක්ද ආහාර අනාරක්ෂිත තත්ත්වයක සිට ඇති බවයි මහාචාර්යවරයා පවසන්නේ.
ප්‍රේමලාල් විජේරත්න










