‘ශ්‍රී ලංකාවේ වෙසෙන මිලියන 07කට (ලක්ෂ 70කට) ආසන්න ජනතාවක් ඉතා දරුණු ලෙස ආහාර සපයාගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටිනවා. මෙය ජනගහනයෙන් ඉතා විශාල සංඛ්‍යාවක්. ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ජනතාව දැන් ඉතා දුප්පත් තත්ත්වයට පත්වෙලා. එදිනෙදා ආහාර වේලක් සොයාගැනීමට නොහැකි තත්ත්වයකට පත්වෙලා සිටිනවා. ඒ අයට දැන් කිසිම ආහාර සුරක්ෂිතතාවක් නැහැ. ආහාර ලබාගැනීමට මුදල් සොයාගැනීමට හැකියාවක් නැහැ. ඉදිරි සති ගණන් මාස ගණන් යන විට මේ තත්ත්වය තව තවත් උග්‍ර වීමට ඉඩ තිබෙනවා. මේ තත්ත්වය ගැන අපි ඉතා බියෙන් පසුවෙන්නේ. අපගේ සංවිධානයේ නවතම සමීක්ෂණ සහ පර්යේෂණවලට අනුව පෙනීගොස් ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ සාගින්දර දිනෙන් දින ඉහළ යමින් පවතින බවයි. අපගේ සමීක්ෂණයන්ට ලක්වණු ශ්‍රී ලංකා ලාංකික ජනතාවගේ ප්‍රකාශ මගින් මේ තත්ත්වය හොඳින්ම පැහැදිලි වී තිබෙනවා. එමෙන්ම ඔවුන්ගේ වර්තමාන ජීවන රටාවන්ද අපගේ දැඩි අවධානයට ලක්වුණා. ජනතාවගේ ආදායම් මාර්ග නැතිවී යෑම, අතිශය දරුණු ලෙස ආහාර උද්ධමනය ඉහළ යෑම, රට තුළ නිසි ලෙස ආහාර නිෂ්පාදනය නොවීම, විදේශ මුදල් සංචිතයන් හීන වීම, ඉන්ධන ඇතුළු අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල බරපතළ හිඟය ආදී කරුණු හේතුවෙන් ජනතාව මෙලෙස සාගතයකට මුහුණ දෙමින් සිටින බව පේනවා. ලබන 2023 වසරේ ආරම්භය වන විට මෙම සාගතය ඉතා උග්‍ර වීමට ඉඩ තිබෙනවා. නිවාස සහ පවුල් වශයෙන් ගත් කල පවුල් 05කින් පවුල් 04ක්ම දරුණු ලෙස ආහාර අහේනියකට මුහුණදී සිටිනවා. ඒ නිසා ඔවුන් බොහොමයක් දිනපතාම එක් ආහාර වේලක්වත් ලබාගන්නේ නැහැ. දරුවන් සහ කාන්තාවන් සිටින පවුල් කෙරෙහි අපගේ විශේෂ අවධානයක් යොමු වුණා. එම දරුවන් සහ කාන්තාවන්ද මෙම අවාසනාවන්ත තත්ත්වයට ඉතා උග්‍ර ලෙස මුහුණදී සිටිනවා. කෙසේ හෝ මෙම ශෝචනීය තත්ත්වයට හැකි පිළියම් උපරිම අයුරින් යෙදීමට අපි බලාපොරොත්තු වෙනවා…’
මෙම හැඟීම්බර කතාව කියා සිටින්නේ කවුද? පසුගියදා මෙම ආන්දෝලනාත්මක වගතුග කියා සිටියේ එක්තරා සුවිශේෂ පුද්ගලයෙකි. ඔහු එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනෙහි ආසියා සහ පැසිෆික් කලාපීය අධ්‍යක්ෂවරයා වන ජෝන් අයිලීෆ් (United Nations World food programme – WFP, Regional director for Asia and Pacific region, John Aylieff) මහතාය. ඔහු පසුගියදා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි අතර එහිදී ඉහත බැරෑරුම් ප්‍රකාශය සිදුකර තිබිණි. ජෝන් අයිලීෆ් ශ්‍රී ලංකාවේ රාජ්‍ය බලධාරීන්ද හමුවී සාකච්ඡා කර ඇති අතර දිවයින තුළ දින තුනක් රැඳී සිට ඇත. එහිදී ඔහු අර්බුදයට මුහුණදී සිටින ශ්‍රී ලාංකික පවුල් රැසක් සජීවීව හමුවී සාකච්ඡා කර ඇත. කෙසේ හෝ ලෝක ආහාර වැඩසටහන දැනට දශක ගණනාවක සිට ශ්‍රී ලංකාවට ආධාර ලබාදෙමින් සිටියි. එහෙත් මෙතෙක් කිසිදු කාලයක නොවූ ආකාරයට ශ්‍රී ලංකාව දරුණු ලෙස ආහාර අර්බුදයට මුහුණදී සිටින බව මෙවර එම සංවිධානය තම නවතම සමීක්ෂණ වාර්තාව මගින් හෙළිකර සිටියි. මෙම නිල වාර්තාව දැඩි ලෙස අවධාරණය කර ඇත්තේ මෙම තත්ත්වයට ඉතා ඉක්මන් විසඳුම් ලබානොදුණහොත් තත්ත්වය ඉතා බරපතළ වන බවය. ශ්‍රී ලංකාවට අදාළ වූ මෙම නවතම සමීක්ෂණ සහ පර්යේෂණ වාර්තා සකස් කර ඇත්තේ ලෝක ආහාර වැඩසටහන (World Food Programme) සහ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (World Food and Aglicure Organization) යටතේ තිබෙන ආහාර සුරක්ෂිතතා තක්සේරු කාර්යභාරය (Food Security Assement Mission) නමැති ආයතන විසිනි.
මෙම ජාත්‍යන්තර වාර්තාවට අනුව සුවිශේෂම වගතුග හෙළිවන්නේ මෙතැනදීය. එනම් රට තුළ ඇති මෙම උග්‍ර අර්බුදකාරී තත්ත්වය යටතේ යටකී ආහාර අර්බුදය 2022 ඔක්තෝබර් මාසයේ සිට 2023 පෙබරවාරි මාසය වන විට අතිශය උග්‍ර වනු ඇතැයි පැවසෙයි. පසුගිය වගා කන්න දෙකක්ම නිසි සංවිධානාත්මක වැඩපිළිවෙළක් නොවීම හේතුවෙන් විනාශයට පත්වීම ප්‍රබල ප්‍රශ්නයක් බවත් එහෙයින් වහාම ගොවීන්ට අවශ්‍ය නිසි පහසුකම් සලසා දීම අත්‍යාවශ්‍ය බවත් වාර්තාව පෙන්වා දී ඇත. මෙම ආර්ථික අර්බුදය මත ජනතාව ලබාගන්නා ආහාර බොහොමයක් ඉතා අවම පෝෂණ ගුණයෙන් යුක්ත ඒවා බවත් මෙම වාර්තාව පෙන්වා දෙයි. මෙහිදී එම තත්ත්වය දරුවන්ට සහ කාන්තාවන්ට ඉතා තදබල ලෙස බලපා තිබීමද ඉතා කනගාටුදායක බව වාර්තාව අවධාරණය කරයි. මෙම තත්ත්වය යටතේ දරුවන්ගේ මන්දපෝෂණය පවා ප්‍රබල ප්‍රශ්නයක් බවට පත්වී ඇත. යටකී වාර්තාව සැකසීම සඳහා ඉහත සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළ පසුගිය 2022 ජූනි මාසයේ සිට ජූලි මාසය දක්වා සමීක්ෂණයන් සිදුකර තිබේ. මේ අනුව පෙනී යන්නේ අදාළ සමීක්ෂණයන් නවතම ඒවා බවයි. එසේම එහි නිගමනයන් ප්‍රකාශයට පත්කරනු ලැබූවේ මෙයට දින කිහිපයකට ඉහතදීය. මේ අනුව තවත් වැදගත් කරුණු රැසක්ද හෙළිවිය.
මේ අතර මෙම වාර්තාව මගින් පෙන්වා දී ඇති අනෙක් සුවිශේෂ නවතම කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 95%ක් දක්වා ඉහළ නැඟ තිබීමය. 2022 සැප්තැම්බර් මාසය වන විට එම ප්‍රතිශතයට ළඟාවී ඇති අතර දත්ත තවත් ඉහළ යමින්ද පවතියි. මෙම අර්බුදකාරී තත්ත්වය යටතේ රජය සහ අනෙකුත් වගකිව යුතු පාර්ශ්ව වහාම සිදුකළ යුතු ක්‍රමවේදයන්ද වාර්තාව මගින් පෙන්වා දී ඇත. එහිදී ප්‍රථමයෙන්ම කාන්තාවන්ගේ, ගැබැනි මවුරුන්ගේ කිරි දෙන මවුවරුන්ගේ සහ දරුවන්ගේ ආහාර සුරක්ෂිතතාව ඇතිකළ යුතු බව පෙන්වා දී ඇත. කෙසේ හෝ මෙම තත්ත්වයන් යටතේ ඉහත සංවිධානවල මෙහෙයද උපරිම අයුරින් ලබාදෙන බව ඔවුන් ප්‍රකාශ කර ඇත. එහිදී මූල්‍යමය ආධාර සහ ද්‍රව්‍යමය ආධාරද ලබාදීමට සිදුවනු ඇත.
කෙසේ හෝ මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී ශ්‍රී ලංකාව ගැන තවත් තිගැස්මක් ඇතිවන අලුත්ම පුවතක්ද ආරංචි වූයේ පසුගියදාය. එනම් ලෝක බැංකුව විසින් සිදුකරන ලද නවතම ජාත්‍යන්තර සමීක්ෂණයක වාර්තාවට අනුවය. ලෝකයේ ආහාර උද්ධමනය වැඩිම රටවල් අතරින් මේ වන විට ශ්‍රී ලංකාව පත්ව තිබෙන්නේ 04 වැනි ස්ථානය වීම එහි නවතම පුවතයි. මෙය 2022 සැප්තැම්බර් 20 වැනිදා නිකුත්වූ ලෝක බැංකු නවතම වාර්තාව වන අතර මින් පෙර ශ්‍රී ලංකාවට 05 වැනි ස්ථානය හිමිවී තිබුණු අතර එය දැන් සිවුවැනි ස්ථානයටද පත්ව සිටියි. මෙම නවතම දත්තයන් මොනවාදැයි සොයා බලමු. එලෙස ලෝකයේ රටවල් 53ක් අතරින් ලෝක බැංකුව මෙම නවතම දත්ත වාර්තාව ඉදිරිපත් කර ඇත. මෙහිදී අවධානයට ගත යුතු අනෙක් කරුණ වන්නේ ලෝකයේ රටවල් 200ක් පමණ අතරින්ද මෙම තක්සේරුව ශ්‍රී ලංකාවට හිමිවන බවය. එහෙත් මුලින් තිබෙන රටවල් 53 ගැන දත්ත ලෝක බැංකුව විසින් ඉදිරිපත් කර ඇති අතර එහි ඉහළින්ම ඇති ප්‍රධනතම රටවල් 10 වන්නේ මෙම රාජ්‍යයන්ය.
- සිම්බාබ්වේ – 353% (ආහාර උද්ධමනය)
- ලෙබනනය – 240% ”
- වෙනිසියුලාව 141% ”
- ශ්‍රී ලංකාව – 95% ”
- තුර්කිය – 86% ”
- ඉරානය – 81% ”
- ආජන්ටිනාව – 38% ”
- සුරිනාමය – 38% ”
- ඉතියෝපියාව 36% ”
- රුවන්ඩාව – 34% ”
දැන් ඔබට මේ තත්ත්වය හොඳින්ම පැහැදිලි වනු ඇතිය. මෙයට මාස කිහිපයකට පෙර මෙම ලැයිස්තුවේ ශ්‍රී ලංකාව සිටියේ තුර්කියට පහළිනි. එහෙත් දැන් තුර්කිය අභිභවා ඉහළට නොහොත් 04 වැනි ස්ථානයට පැමිණ ඇත. අතිශය දුගී රාජ්‍යයක් ලෙස ලොව පුරා කාලයක්ම කතාබහට ලක්වුණු ඉතියෝපියාව තිබෙන්නේ 09 වැනි ස්ථානයේය. එනම් අපට වඩා ස්ථාන 05ක් පහතින්ය. එසේම ලෝකයේ තවත් දුගී රටක් ලෙස සැලකුණු සෝමාලියාව සිටින්නේ 10 වැනි ස්ථානයෙන්ද පහළ තැනකය. මේ අනුව අද ඉතියෝපියාවේ සහ සෝමාලියාවේ ආහාර උද්ධමනය අපට වඩා ඉතා පහළ මට්ටමක ඇත. එනම් තෙගුණයකටත් වඩා පහළ මට්ටමක ඇත. මේ ආකාරයට බලන විට ශ්‍රී ලංකාවට මෙසේ අත්වී තිබෙන ඉරණම කොතරම් ශෝකජනකද? ආර්ථික විශ්ලේෂකයන් ප්‍රකාශ කරන අයුරින් මෙම තත්ත්වය තව තවත් උත්සන්න වෙනවා මිසක යහපත් තත්ත්වයකට හැරෙන ආකාරයක් බලාපොරොත්තු විය නොහැකිය. මෙයට වසරකට පමණ පෙර ඉහත ලැයිස්තුවේ ශ්‍රී ලංකාව තිබී ඇත්තේ පළමු ස්ථාන 10ටද පහත වූ ස්ථානයක වන අතර හරියටම රොකට්ටුවක් ඉහළ නගින්නාක් මෙන් අධික වේගයෙන් එය ඉහළ ස්ථාන කරා පැමිණ ඇත. මෙලෙස ආහාර උද්ධමනයට අමතරව ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමනය සහ භාණ්ඩ උද්ධමනයද අතිශයින්ම ඉහළ නැග ඇතැයි විවිධ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. එම තත්ත්වයද ලෝක ලැයිස්තුවල ඉහළින්ම ඇත.
මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී ශ්‍රී ලංකාවට තවත් දරුණු මරාලයක්ද කඩාගෙන වැටුණේය. මේ අලුත්ම ගිනිගෙඩිය කුමක්ද? මෙය නම් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතරින් අඩු ආදායම් ලබන (Lower Income Country) රටක් ලෙස වාර්ග කළ යුතු යැයි ලෝක බැංකුව ප්‍රකාශ කර තිබීමය. මෙයට වසර 03කට පමණ පෙර ශ්‍රී ලංකාවට මෙම තක්සේරුව යටතේ වර්ග කර තිබුණේ මැදි ආදායම් ලබන (Middle Income Country) රටක් වශයෙනි. කෙසේ හෝ කොවිඩ් වසංගත සමයේදී එනම් 2020 වසර මුල් භාගයේදී ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව පහත මැදි ආදායම් (Lower Income Country) ලබන රටක් ලෙස වර්ගීකරණය පහත හෙළනු ලැබුවේය. ඒ අනුව පසුගිය වසර 02ක් පුරා ශ්‍රී ලංකාව පහත මැදි ආදායම් ලබන රටක් බවට පත්විය. එහෙත් දැන් නවතම තත්ත්වය යටතේ සිදුවන්නට යන්නේ පහත ආදායම් ලබන රටක් බවට වර්ගීකරණය කිරීමය. කෙසේ හෝ මෙම ශ්‍රේණිගත කිරීම මෙතෙක් සිදුවී නැතත් ලෝක බැංකුව ඒ සඳහා තම යෝජනාව ඉදිරිපත් කර ඇත. මෙසේ කලින් කලට මෙලෙස වර්ගීකරණයන් රටවල් සඳහා සිදුකෙරෙන්නේ එම රටවලට අදාළ වන ඒකපුද්ගල ආදායම අවධානයට ගනිමිනි. 2019 වසරේදී ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4,060ක් වූ අතර, එය 2020 වසරේදී ඇ.ඩො. 4,020 දක්වා පහත බැස ඇත. එහෙත් ඉන් පසුව දැන් ගෙවෙන දරුණු ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම ඩොලර් 3,830 දක්වා පහත බැස ඇත. මෙය ඉතා දරුණු ලෙස ඒකපුද්ගල ආදායම අවපාතයට ලක්වීමකි. මේ නිසා මෙම තක්සේරු මත ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත්තේ මේ වසර තුළදී ශ්‍රී ලංකාව පහත ආදායම් ලබන රටක් ලෙස ශ්‍රේණිගත කළ යුතු බවයි. දැනට ලෝකයේ රටවල් අතරින් ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම ස්ථානගතව ඇත්තේ 113 වැනි ස්ථානයේය. එනම් රටවල් 200කට අධික ප්‍රමාණයක් අතරින්ය.
මේ අතර පසුගිය 2022 මැයි මාසයේදී ඉන්දියාවේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් විසින්ද යෝජනා කර තිබුණේ ශ්‍රී ලංකාව පහත ආදායම් ලබන රටක් ලෙස ශ්‍රේණිගත කළ යුතු බවය. එනම් මෙය මැදි ආදායම් ලබන රටක් ලෙස තිබී පසුව මැදි පහත ආදායම් ලබන රටක් බවට පත්ව දැන් පහත ආදායම් ලබන රටක් බවට පහත හෙළීමක්ය. වත්මන් ඉන්දීය මුදල් අමාත්‍යවරිය ප්‍රවීණ ආර්ථික විශේෂඥයකු ලෙස ප්‍රකට කාන්තාවකි. ඇය තම මතය පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණාය. කෙසේ හෝ මෙලෙස ලෝක බැංකුව සහ අනෙකුත් පාර්ශ්ව විසින් ශ්‍රී ලංකාව පහත ආදායම් ලබන රටක් ලෙස වර්ගීකරණය කළ යුත්තේ ලෝක ප්‍රජාවගෙන් ශ්‍රී ලංකාව කෙරෙහි යම් සානුකම්පික අවධානයක් ලබාගැනීමට යැයි කරුණු ප්‍රකාශ වෙයි. එනම් විවිධ ජාත්‍යන්තර මූල්‍ය ආධාර සහ අනෙකුත් විවිධ සහයෝගයන් ඒ මගින් ලබාගත හැකි යැයි තිබෙන විශ්වාසය මතය. එහෙත් මෙම තත්ත්වය ශ්‍රී ලංකාව හිමිකර ගන්නා විශාල අපකීර්තියක් සහ පරිභවයක් යැයිද ආර්ථික විශ්ලේෂකයන් ප්‍රකාශ කර සිටියි. කෙසේ හෝ එවැනි තත්ත්වයකට පත්වුවහොත් එය වසර 03ක් වැනි කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාවට අත්වූ ශෝචනීය ඉරණමක් වනු ඇතැයිද මෙම විශ්ලේෂකයන් අවධාරණය කර සිටියි. දැනට ශ්‍රී ලංකාව මුහුණපා සිටින උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ මෙරටට වැඩි ආධාර ප්‍රමාණයක් ලබාගැනීටම මෙම නවතම ශ්‍රේණිගත කිරීම පිටිවහලක් වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කර ඇත. කෙසේ හෝ මේ වන විට මෙම යෝජනාව ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර ඇතැයි රාජ්‍ය පාර්ශ්ව සඳහන් කර සිටියි. එය මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් තහවුරු කර ඇතැයිද කරුණු ප්‍රකාශ වෙයි. කෙසේ හෝ මේ වන තෙක් එවැනි තීරණයක් ශ්‍රී ලංකාව කෙරෙහි ගෙන නැති අතර කොයි මොහොතක හෝ එවැන්නක් සිදුවීමටද ඉඩ ඇත.
මේ අනුව අද හෙටම ශ්‍රී ලංකාව ලෝකයේ අඩු ආදායම් ලබන රටවල් ගොඩට වැටෙනු ඇත. මෙලෙස 2022 වසරේදී ලෝකයේ අඩු ආදායම් ලබන රටවල් ලෙස ලෝක බැංකුව රටවල් 59ක් නම්කර ඇති අතර ඉන් රටවල් 27ක් ප්‍රධාන වශයෙන් නම්කර ඇත. මේ වන විට මෙම ලැයිස්තුවේ කිසිම තැනක ශ්‍රී ලංකාව නොමැති අතර අප රට දැනට සිටින්නේ පහතමැදි ආදායම් ලබන රටවල් සඳහන් ලැයිස්තුවේය. 2022 වසර වෙනුවෙන් ලෝක බැංකුව ප්‍රකාශ කර ඇති අඩු ආදායම් ලබන රටවල් 27 ඇතුළත් ප්‍රධානතම ලැයිස්තුවේ ඇත්තේ ලෝකයේ ඉතා දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙන අතිශය දුප්පත් රටවල් සංඛ්‍යාවකි. එම රටවල් මොනවාදැයි දැනගැනීමට අපට අත්‍යාවශ්‍ය කරුණක් වනු ඇත. එසේ වන්නේ අද හෙටම අප රටද එම අවාසනාවන්ත රටවල් ගොඩට වැටීමට ඉඩ ඇති හෙයිනි. දැනට ලෝකයේ ඇති අතිශය අඩු ආදායම් ලබන දුගී දුප්පත් රාජ්‍යය ලෙස සැලකෙන්නේ ඇෆ්ගනිස්තානයයි. එනම් 2022 ලෝක බැංකු නිල ලැයිස්තුවේ ඉහළින්ම සඳහන්ව ඇත්තේ ඇෆ්ගනිස්තානයයි. එම ලැයිස්තුව (රටවල් 27) පිළිවෙළින් මෙසේය.
ඇෆ්ගනිස්තානය, බුර්කිනාෆාසෝ, බුරුන්දි, මධ්‍යම අප්‍රිකානු ජනරජය, චාඩි, කොංගෝ ජනරජය, එරිත්‍රියාව, ඉතියෝපියාව, ගැම්බියාව, ගිනියාව, ිනිබිසව් රාජ්‍යය, ලයිබීරියාව, මැඩගස්කරය, මලාවි, මාලී ජනරජය, මොසැම්බික්, නයිගර් රාජ්‍යය, උතුරු කොරියාව, රුවන්ඩාව, සියරා ලියොන්, සෝමාලියාව, දකුණු සූඩානය, සූඩානය, සිරියාව, නේටෝ, උගන්ඩාව, යේමනය එම රටවල්ය. දැන් හොඳින් නිරීක්ෂණය කරන්න. මෙම රටවල් 27න් රටවල් 20ක්ම අයත් වන්නේ අප්‍රිකාවටය. එනම් අතිශය දුගී අප්‍රිකානු රටවල් වෙයි. ඔබට මෙසේ ලියා තැබුවේ පැරැණි වගතුගක් නොවේ. එය මෙම 2022 වසරට අදාළ අලුත්ම කතාන්දරයයි. සමහර පාර්ශ්ව කියා සිටින්නේ ශ්‍රී ලංකාවද අන්ත දුගී රටවල් ගොඩට ඇද දැමූ පසු ශ්‍රී ලංකාවටද ලෝකයේ ධනවත් රටවලින් සහ සංවිධානවලින් ආධාර උපකාර ලැබෙනු ඇති බවයි. මෙය හරියටම කබලෙන් ලිපට වැටෙන කතාන්දරයකි. එනම් ලිපට වැටුණු පසු කිසිම දෙයක් ඉතිරි වන්නේ නැත. දැවි දැවී යෑම පමණක් සිදුවෙයි. කෙසේ හෝ දැන් ශ්‍රී ලංකාව මෙලෙස පත්වෙමින් තිබෙන තත්ත්වය ප්‍රකාශ කරන්නට වදන් නැත. එය අතිශයින්ම ශෝචනීය අවාසනාවන්ත තත්ත්වයකි.
මේ අතර පසුගිය ජුනි මාසයේදී ලෝක බැංකුව නිවේදනය කළේ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන තුරු ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබාදීමට සැලසුම් නොකරන බවයි. නව ණය බැඳීමක් ලෙස ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ආධාර කිරීමට සැලසුම් කරන බව මෑත කාලයේ පළවූ මාධ්‍ය වාර්තා සාවද්‍ය යැයි ලෝක බැංකුව පසුගියදා නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. එහෙත් පෙර අනුමත කරන ලද ලෝක බැංකුවේ ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකාවට ආධාර ලබාගෙන බවද එම නිවේදනය කියා සිටියේය. එසේම පසුගිය කාලයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදීමට මූලිකව තීරණය කර ඇති බව ප්‍රකාශ වුවද දැන් ඒ පිළිබඳ කිසිදු පුවතක් අසන්නට නැත. කෙසේ හෝ එහිදී IMF සංවිධානය කියා සිටියේ ශ්‍රී ලංකාවට ණය ලබාදීමට පෙර ණය තිරසාරතාව නිසි අයුරින් ස්ථාපිත කරගත යුතු බවය. එසේම IMF ණය ලබාදීම සඳහා මේ වන විට IMF සංවිධානය ශ්‍රී ලංකාවට කොන්දේසි රැසක් ඉදිරිපත් කර ඇති අතර දැනට එම සමහර කොන්දේසි රජය විසින් ක්‍රියාත්මක කිරීමද අරඹා ඇත. මෙම තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකාවේ ජනතාව තව තවත් අගාධයට වැටී තිබේ. කෙසේ හෝ හෙට අනිද්දා ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටවල් ගොඩට දැමූ විට ශ්‍රී ලංකාවට ලෝකය හමුවට යන්න වෙන්නේ සළුපිළි නැතිවය.

ප්‍රියන්ත හෙට්ටිගේ










