රටම වෙළාගත් කොරෝනා වෛරසයේ බිය කෙමෙන් පහව යද්දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ භූමිකාව ජනතාවගේ අවධානයෙන් ගිලිහෙමින් පවතිද්දී එක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු පිළිබඳ බොහෝ දෙනකුගේ අවධානය යොමුවී ඇති බව සමාජ මාධ්‍යවලින් පෙනීයයි. එම අවධානය යොමුවී ඇත්තේ, ‘ටික් ටොක්වලින් රටකට දැනුම බෙදූ PHI මහත්තයා’ ලෙස ජනාදරයට පත්ව සිටි තරිඳු ධම්මික කෙරෙහිය.
රටේ ජනතාව කොවිඩ් මාරයාගෙන් බේරාගැනීම සඳහා රාජකාරියට අමතරව නව තාක්ෂණය ඔස්සේ ද ‘දිවා රෑ නොබලා’ සේවය කළ ඔහුට තමන්ගේ ජීවිතය මාරයාගෙන් බේරාගැනීමට නොහැකි වී ඇත. 33 හැවිරිදි ඔහු බ්‍රහස්පතින්දා (දෙසැ. 15) හදිසියේ මියගියේ, වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් බව කොළඹ ජාතික රෝහල පවසයි.
2014/2015 මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමේ පුහුණුව ලැබූ ඔහු වසර 7ක් පමණ කාලයක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු ලෙස සේවය කළේය. මියයන විට ඔහු සේවය කරමින් සිටියේ කළුතර සේරුපිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලෙසය. බණ්ඩාරගම මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වූ ඔහු විවාහ වී ඇත්තේ, මීට වසර එකහමාරකට පමණ ඉහතදීය.
තරිඳු ධම්මික කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබූ 2020 මැයි මාසයේ සිට යූටියුබ් නාලිකාවක් ආරම්භ කරමින් ජනතාව විවිධ කරුණු පිළිබඳ දැනුවත් කිරීමට යොමුවී තිබේ. ඊට අමතරව ටික්ටොක් සමාජ මාධ්‍යයද ඔහු සිය දැනුවත් කිරීමේ මාධ්‍ය ලෙස භාවිත කළේය.
ඔහුගේ අකල් මරණය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල පිරිසක් ශෝකය පළකර තිබිණි.
ඔහුගේ භූමිකාව සොයා යාමේදී ඔහු සමග සමීපව කටයුතු කළ දෙදෙනකු අපට මුණගැසිණි. ඉන් එක් අයකු ඔහු සමග මෑතක් වන තුරු කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ එකට සේවය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකි. ගිහාන් මලින්ද යනු කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන කළුතර නාගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාය.
‘ධම්මික කියන්නේ තමන්ගේ සෞඛ්‍ය ගැන නොසිතා ජනතාවට සේවය කරන්න කැපවුණු දුර්ලභ මනුස්සයෙක්. කොරෝනා වෛරසයෙන් ජනතාව බේරාගන්නත්, ඔවුන්ව ඒ ගැන දැනුවත් කරන්නත් එයා ගොඩක් මහන්සි වුණා. එයා ජනතාව ගැන කොයි තරම් හිතුවත් තමන්ගේ ජීවිතය ගැන හිතුවේ නැහැ. ඒකත් හේතු වෙන්න ඇති මේ මරණයට…’ ගිහාන් මලින්ද පැවසීය.
‘එයා දවල්ට කෑම ගත්තේ හවස 3ත් පහුවෙලා ගොඩක් වෙලාවට. ඒ වගේම සේවය කරන්න ගියාම කෑම බීම ගැන පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. පුළුවන් හැම වෙලාවෙම තමන්ගේ රාජකාරිය කරන්නයි කැපවෙලා හිටියේ. තමන්ගේ වියදමින් ඩේටා පාවිච්චි කරලා ටික් ටොක්, යූ ටියුබ් වගේ සමාජ මාධ්‍යවලින් ජනතාව දැනුවත් කරන්නත් ඔහු මහන්සි වුණා.’
බණ්ඩාරගම පදිංචි තරිඳු ධම්මික කළුතර බෝඩිමක නවාතැන් ගෙන සිට ඇත්තේ, බොහෝ විට මැදියම් රෑ වන තුරු රාජකාරී කටයුතුවල නිරත වූ නිසා බව ගිහාන් මලින්ද පැවසීය.
‘බණ්ඩාරගම ඉඳලා කළුතරට තියෙන්නේ පොඩි දුරක්. ඒත් ධම්මික කළුතර බෝඩ්වෙලා හිටියේ, වැඩි වෙලාවක් රාජකාරියට යොදවන්න ඕනෙ නිසයි. ඔහු ගොඩක් වෙලාවට බෝඩිමට ආවේ ගොඩක් රෑ වෙලා. හැම තිස්සෙම කිව්වේ කොරෝනා වෛරසයෙන් මිනිස්සු පුළුවන් තරම් බේරගන්න ඕනෙ කියලයි. එයාට වකුගඩුවක් බද්ධ කරන්න ඉන්න අතරේ තමයි මේ මරණය සිද්ධ වුණේ….’
ඔහු පිළිබඳ අදහස් දැක්වූ දෙවැන්නා වූයේ, දැනට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හෙද නිලධාරිනියක ලෙස සේවය කරන මධූ ද සිල්වාය. ඇය කළුතර හෙද අභ්‍යාස විද්‍යාලයේ හෙද නිලධාරිනියක ලෙස පුහුණුව ලබද්දී තරිඳු ධම්මික ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු ලෙස එම ආයතනයේම මහජන සෞඛ්‍ය පරීක්ෂක පුහුණුව ලබා තිබිණි.
‘ධම්මික අයියා තමයි අපට හැම තැනකදීම උදව් කළේ. එයා ගොඩක් බාහිර ක්‍රියාකාරකම් කළා. ගොඩක් දේවල් සංවිධාන කරලා ගොඩක් වැඩ කරපු නිසා ධම්මික කිව්වාම නොදන්න කෙනෙක් නෑ. එයා හැම තිස්සේම හිනාවෙලා හිටිය ගොඩක් සමාජශීලී කෙනෙක්…’ මධූ ද සිල්වා පැවැසීය.
ඇය පැවසූ පරිදි තරිඳු ධම්මික වකුගඩු රෝගියකු ලෙස හඳුනාගෙන ඇත්තේ මීට වසරකට පමණ පෙරදීය.
‘එයා අසනීප වෙලා ඉන්නකොට මම එයාට කතා කළා. ඒ කාලේ මම මන්නාරමේ වැඩකරපු නිසා මට ගිහින් බලන්න බැරිවුණා. ඒ කතා කරපු වෙලාවේ ලෙඩේ ගැන එයාට ලොකු බයක් තිබුණෙ නෑ. පස්සේ කීප වතාවක්ම අසනීප වෙලා රෝහල්ගත කළා. එයා නැති වුණු එක රටට ලොකු පාඩුවක්. ඒ වගේ සේවයට කැපවුණු ජනතාව ගැන හිතන අය හරිම විරලයි…’ මධූ ද සිල්වා පැවැසුවාය.
බීබීසී සිංහල වෙබ් අඩවියෙනි










