ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය පිළිබඳ ගැටලුව ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව එක්ව සාකච්ඡා කර විසඳා ගැනීම සුදුසු බව අභියාචනාධිකරණය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට යෝජනා කළේය.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අදාළ බද්ද අයකිරීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා සහ එක්දින කණ්ඩායමේ නායක චරිත් අසලංක ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මෙම යෝජනාව කළේය.
මෙම පෙත්සම් විභාගය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.
එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ, මෙම ගැටලුව මෙම සිද්ධියට සම්බන්ධ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පාර්ශ්වය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, නීතිපතිවරයා සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා එක්ව සාකච්ඡා කර විසඳා ගැනීම සුදුසු බවය.










