ඡන්ද 69 ලක්ෂයක් අරගෙන දීලා ගෝඨාභයට ජනාධිපති වරම දෙන්න පාරට බැහැපු අපේ කලා කවය මතකද? කාටද මතක නැත්තෙ. ඒක ඉතිහාසගත කඩේ යෑමක්නේ. ඔව්, සත්තකින්ම ඒක ඉතිහාසගත කඩේ යෑමක් තමයි. නොහිතපු විදියට ගෝඨාභය රජය රට නන්නත්තාර කරන කොට රටේ ආර්ථිකය උඩු යටිකුරු වෙලා තෙල් පෝලිම් ගෑස් පෝලිම් කිලෝමීටර් ගණන් දිග වෙනකොට, ගෑස් සිලින්ඩර් පුපුරද්දී තාත්තලා තෙල් පෝලිම්වල ආතතිය දරාගන්න බැරිව මැරිලා වැටෙද්දී, මිනිස්සු ඔය කියන කලා කවයට සාප ඉල්ලුවා.(Sri Lanka Latest News)
බොහොමයක් කලාකරුවන් ඒ සාපවලට බයේ මුළුගැන්වුණාය කිව්වොත් ඒක මුසාවක් නෙවෙයි. සමහර කලාකරුවෝ පත්තරයකට ඉන්ටර්විව් එකක් දෙන්නවත් ආවේ නැහැ. ෆෝන් එකත් ආන්සර් කළේ නැහැ. ඒ අතර කලා කවය පිහිටුවපු තවත් සමහර කලා ශිල්පියෝ ශිල්පිනියෝ සෝෂල් මීඩියාවලින් කතා කරලා ජනතාවගෙන් සමාව ඉල්ලපු අවස්ථාත් තිබුණා.
‘මෙහෙම දෙයක් වෙයි කියලා කවුද හිතුවේ? අපි හැමෝම පොහොට්ටුව වටේ එක්රොක් වුණේ වෙනසක් ඇතිකරන්න හිතාගෙනයි’
ඇතැම් කලාකරුවෝ අරගලයට ඇවිදින් ප්‍රසිද්ධියේම ඒ විදියට කතා කළා. රාජපක්ෂ ආණ්ඩුවට ගොට්ට අල්ලන්න ගිහින් තම තමන්ට වැරැදුණු බවත් ආයෙම කිසිම දේශපාලන පක්ෂයකට කඩේ නොයන බවටත් ඔවුන් ප්‍රතිඥා දුන්නා. කොටින්ම කියනවා නම් රාජපක්ෂ රෙජීමය හරි ලොකුවට ඔළුවේ තියාගෙන හිටපු ප්‍රවීණ කලා ශිල්පී ජැක්සන් ඇන්තනීගේ බාල පුතා ‘නාඩගම්කාරයෝ’ ටෙලියෝ සරා ගොයියා සජිත අනුන්තරත් ‘ගෝ හෝම් ගෝඨා’ කියන කළු පාට බැනරයක් එක්ක අරගල භූමියට ඇවිදින් මහ හයියෙන් කෑගැහුවා.
ඇත්තටම අපේ කලාකාරයන්ට රාජපක්ෂ ආණ්ඩුව ගැන එහෙමත් නැත්නම් පොහොට්ටුව ගැන අවංක කලකිරීමක් ඇතිවුණා කියලා හැමෝටම දැනෙන්න ගත්තා. එහෙම නේද?
ඔව්, ඒ කලකිරීම උඩ තමයි කලා කවයට උරදුන්න හැම කලා ශිල්පියෙක්ම වාගේ සිද්ධ වෙන හැම විනාශයක් හමුවේ මීයට පිම්බා වගේ සද්දෙ වහගෙන ඉන්න පුරුදු වුණේ.
‘දේශපාලනය ගැන නම් මොනවත් අහන්න එපා. වෙන ඕනෑම ප්‍රශ්නයක් අහන්න…’
බොහොම අමාරුවෙන් ඉන්ටර්වීව් එකකට ගෙන්න ගත්තත් ‘69 ලක්ෂයේ ඡන්ද ජයග්‍රහණය සහ කලා කවය’ ගැන කතා කරන්න හැදුවොත් ඔවුන් උත්තර දුන්නෙ ඒ විදියටයි. රාජපක්ෂ සමූහය ඇතුළුව ‘දේශපාලනය’ කියන විෂය ඇත්ත වශයෙන්ම ඒ හැමෝටම වාගේ වහ කදුරු තරමට තිත්ත වෙලයි තිබුණේ. රාජපක්ෂලා ඉන්න අහලකට හෝ මැතිවරණ කතන්දරයක් ගැන කියැවෙන වේදිකාවක් අහලකටවත් නොයන සෙයියාවක් තමයි ඔවුන්ගේ කයිවාරුවෙන් පෙනෙන්න තිබුණේ.
‘පෙනෙන්න තිබුණේ’ කියලා අඩ්ඩඩ්ඩාවට වාගේ කියන්නේ ඔවුන් දොඩාපු ඒ පම්පෝරි කතා ගැන හරියටම විශ්වාසයක් නැතුවද?
අවිශ්වාස කරන තැනට වැඩ කටයුතු සිද්ධ වේගන එනකොට කොහොමද එයාලගේ කතා ගැන විශ්වාසයක් තියන්නේ?
ඔය කියන්න හදන්නේ අපේ කලාකාරයෝ ආයෙම දේශපාලන වේදිකාවලට අඩිය තියන්නද සූදානම් වෙන්නේ?
වටින් ගොඩින් ඇහෙන්න තියෙන්නේ ඒ කතා තමයි. ඇයි ආරංචි නැතුවද? පහුගිය ඉරිදා කොළඹ විජේරාමේ තියෙන රාජපක්ෂ නිල නිවෙසේ සිද්ධ වෙච්ච සංගදිය. ඔන්න කලාකාරයන්ගේ සුහද හමුවක් ලෑස්ති කළාලු මහින්ද රාජපක්ෂ. කලාකාරයෝ කාණ්ඩෙකුත් ඇවිදින් භෝජන සංග්‍රහයකුත් තිබ්බා කියලයි ආරංචිය. මහින්ද රාජපක්ෂ උන්නැහේගේ ෆේස්බුක් එකේ ඒ ගැන අටුවා ටීකා ඇතුව හරි උජාරුවට ෆොටෝ එක්කම හැම දේම පෙළින් පෙළට දාලා තිබුණා කියලයි දැක්ක හැමෝම කියන්නේ.
කවුද දැන් ඔය ආවාය කියන කලාකාරයෝ කාණ්ඩෙ?
නිකන් ඔහේ නමට නළු නිළියෝ කියාගන්න අය වාගෙම ප්‍රවීණයොත් එතැන ඉඳලා තියෙනවා. පුදුමය කියන්නේ ප්‍රවීණ රංගන ශිල්පී කුමාරි මුණසිංහත් තද කළු පාට සාරියකුත් ඇඳගෙන හැඩට සැරසිලා ඒ සුහද හමුවට එකතු වුණාලු.
අනේ දෙවියනේ, ඇසූ පිරූ තැන් සපිරි අපේ මහා නිර්මාණකරු ජැක්සන් ඇන්තනී ලෙස ඇඳේ ඉන්නතාක්ම දෙස් දෙවොල් ඇහුවේ සාප ඉල්ල ගත්තේ රාජපක්ෂලාට දරදිය ඇද්ද මහා පාපකර්මයට නේද?
කාට කියන්නද මේ අවනඩුව? උන්නැහේගේ මරණෙට තාම තුන් මාසයක්වත් ගෙවිලා නැති එකේ කුමාරි මුණසිංහ නෝනා මහින්ද රාජපක්ෂත් එක්ක සුහද හමුවට ගිහින් බොහොම යාළුකමට කතා කර කර ඉන්න සීන් එකක් තමයි ෆේස්බුක් එකේ දාලා තියෙන ෆොටෝ එකේ තිබුණේ.
හත්තික්කේ ඇයි මේවා මෙහෙම වෙන්නේ…?
ඇත්තෙන්ම හිතාගන්න බැහැ. කුමාරි මුණසිංහට ටිකක් හරි හිතන්න තිබුණා. ජාත්‍යන්තර කීර්තියට පත් තම සැමියා වූ ජැක්සන් ඇන්තනීට මේ රටේ මිනිස්සු දුන්න ගෞරවය ආදරය බින්දුවට බැස්සෙ ඇයි? මහා විපත්තියකට නොසිතූ ලෙස මුහුණ දුන්න මේ මහා කලාකරුවාට මිනිස්සු අනේ අපොයි කීවේ ඇයි? ලෙඩ ඇඳක පණ අදිමින් හිටපු ඔහුට සෝෂල් මීඩියා හරහා ඔවුන් සාප ඉල්ලුවේ අපහාස කළේ ඇයි? ඒ හැම දේම සිද්ධ වුණේ ජැක්සන් ඇන්තනී රාජපක්ෂලාට ඉවක් බවක් නැතිව කඹුරන්න ගිය නිසයි. ඒක එහෙම වෙච්ච එකේ මහින්ද රාජපක්ෂ වටා නැවත පෙළගැහෙන්නට ගිය කලා හවුල සමග විජේරාම නිල නිවෙසට යන්න කුමාරි මුණසිංහ ගත්ත තීරණය හරි එකක්ද?
කොහොම වෙතත් තොරතුරු අනුව බලනකොට ඒ දෙසැම්බර් 10 වැනි ඉරිදා විජේරාම නිල නිවෙසට ප්‍රවීණය කියන කලා ශිල්පීන් ගිහින් හිටියේ කිහිප දෙනකු පමණයි. සමහර විට ඒ ආරම්භය වෙන්නත් පුළුවන්. තවත් සමහර විටෙක ඒක මුට්ටිය දමා බැලීමක් වෙන්නත් පුළුවන්. මුලිනුත් බොහෝ විට සිද්ධ වුණේ එහෙමයි. පළමු පියවරට ප්‍රවීණයෝ සහභාගි වෙන්නෙ නැහැ.
එහෙමත් වෙන්නේ ඇයි? හේතු කිහිපයක් තියෙන්න පුළුවන්. පුද පඬුරු ලැබෙනවද? ඒ කොයි විදියටද? ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද යන කාරණා එතැනදී ප්‍රධානයි.
මැතිවරණ වේදිකාවලට නගිනකොට දේශපාලකයන්ට දරදිය අදිනකොට ප්‍රේක්ෂකයන්ගේ ආකල්ප ගැන ඔවුන් ගණනකට ගන්නවාය කියා හිතන්න පුළුවන්ද? නැහැ. කොහොමටවත් ඔවුන්ට ඒ ගැන සත පහක ගානක් නැහැ. 69 ලක්ෂයේ මැතිවරණ ජයග්රහණයේදී ප්‍රවීණයන් රාජක්ෂලා එක්ක නටපු නෙයියාඩගමේදී ඒ ටික හොඳින්ම සනාථ වුණා.
ඒ අතීතයට අයිති කතා. අපි අද ගැන කතා කරමු. මොනවා කියන්නද? කාට කියන්නද? රටට මේ තරම් හරියක් වෙලා තියෙද්දී ඒ සියල්ලටම මහින්ද රාජපක්ෂ ඇතුළු සියලු රාිජපක්ෂවරුන් වගකිව යුතු බව දැන දැනත් කලාකරුවන් ආයෙම එවුන්ට කත් අදින්න පටන් අරන්. පහුගිය ඉරිදාවේ කොළඹ විජේරාම මාවතේ මහින්ද රාජපක්ෂගේ නිල නිවෙසේදී පත්තු වුණේ එහි පළමු වෙඩි මුරය වෙන්න ඇති. ඒ වගේම පොහොට්ටුවේ මහා ජාතික සම්මේලනය දෙසැම්බර් 15 වැනිදා පැවැත්වෙනවා, හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වා වාගේ එදාට තව තව කලාකරුවො ජය පහට සළුපිළි ඇඳගෙන රාජපක්ෂලා වෙනුවෙන් ජයපැන් බොන්න ඒවි.
කලාකරුවන් සංවේදීය කියනවා. එහෙම සංවේදීය කියන කලාකරුවෝ මේ රටට ගිනි තියපු රාජපක්ෂලාට ආයෙම ආවඩන්න මේ විදියට පෙළගැහෙන්න ගත්තේ ඇයි? උත්තරය ඇත්තේ ඔවුන් ළඟය. නටන්නට හදන වන්නම් හෝ අල්ලන්නට හදන මේ අඩව්ව කුමක් අරබයාද කියන එක දන්නෙත් ඔවුන්මය. අපට තියෙන්නේ බලාගෙන ඉන්න විතරය. රටවැසියන් වූ අපි හැමදාමත් කළේ දෙන විදියට කාලා බලාගෙන ඉන්න එකය. කෙසේ වුවද යමක් කිව යුතුව තියෙනවාය. ඒ මෙලෙසිනි…
අපේ කලාකරුවන් අතිශයින්ම ලැජ්ජා විය යුතුය. ඇයිද කියනවා නම් ඔවුන් දෙශපාලන හොරුන් හමුවේ මේ අලෙවි කරන්නේ සරස්වතී දේවියගෙන් ඔවුන් ලද සුවිශේෂ වරප්‍රසාදයය.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු










