ලංකාවේ කාන්තා ශ්‍රම බළකා සහභාගිත්ව අනුපාතය පසුගිය වසර කිහිපය තුළ සැලකිය යුතු ආකාරයට පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රම බළකාය පිළිබඳ සමීක්ෂණ වාර්තාව තුළින් අනාවරණ වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. (Sri Lanka Latest News)
2018 වනවිට කාන්තා ශ්‍රම බළකා සහභාගිත්ව අනුපාතය 33.6%ක් ලෙස පැවැති අතර, 2024 පළමු කාර්තුව අවසන් වනවිට එය 29.6% දක්වා පහළ යෑමක් පෙන්නුම් කරනු ලබයි.
ලංකාවේ ආර්ථික වශයෙන් සක්‍රීය කාන්තාවන් ප්‍රමාණය 66,20,684ක් සිටින අතර, නාගරික ප්‍රදේශවල 11,30,571ක් ද, ග්‍රාමීය ප්‍රදේශවල 5,27,448ක්ද සිටින අතර, වතු අංශයේ 2,15,625ක්ද සිටිති.
කාන්තා ශ්‍රම බළකායේ සහභාගිත්වය අනෙකුත් රටවල් හා සසඳන විට ලංකාවේ පහළ අගයක පවතී. ආර්ථිකයේ සේවා අංශ සැලකිය යුතු ආකාරයට පුළුල් නොවීම, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ කාන්තාවන්ට රැකියා සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වීම කාන්තාවන් රැකියා සඳහා උනන්දුව අඩු මට්ටමක පැවැතීම සහ විවිධ සමාජ සංස්කෘතික කරුණු කාන්තා ශ්‍රම බළකා සහභාගිත්වය අඩු මට්ටමක පැවැතීම කෙරෙහි බලපා ඇති බවයි මහාචාර්යවරයා පවසන්නේ.
ප්‍රේමලාල් විජේරත්න









