නාරාහේන්පිට මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අල්මාරියක (කබඩ් එකක) තිබී අතුරුදන් වී ඇති වාහන ලියාපදිංචි කිරීමේදී නිකුත් කරන විශේෂිත පෝරම අදාළ පොතෙන් 12ක් අතුරුදන් වීම පිළිබඳ පරීක්ෂණ පවත්වන බොරැල්ල පොලිසිය එම අල්මාරියේ තිබූ සැකකටයුතු ඇඟිලි සලකුණක් හමුවී ඇතැයි පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
එම ඇඟිලි සලකුණු මෙම පරීක්ෂණවලට අදාළව මෙතෙක් කරන ලද පරීක්ෂණ වාර්තා හා සසඳා බැලීමට රජයේ ඇඟිලි සලකුණු පරීක්ෂණ අංශය වෙත යොමුකර ඇති බවද ඔහු පැවැසීය.
මෙම සිද්ධියට අදාළව එම දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලධාරීන් තිදෙනකුගෙන් පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, එය සිදුකර ඇති සැකකරුවන් අද හෙටම අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයිද පොලිසිය පැවැසීය.
මේ සම්බන්ධයෙන් මෝටර් රථ කොමසාරිස් නිශාන්ද අනුරුද්ධ මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මෙම විශේෂිත පෝරම අතුරුදන් වී ඇති බව දැනගන්නට ලැබුණේ පසුගිය සඳුදා ඊට අදාළ පොත පරීක්ෂා කිරීමේදී බවයි.
මේවා පිටතට ගෙන යෑමෙන් වාහන වංචාකරුවන්ට නීති විරෝධී ක්‍රියාවන්ට පාවිච්චි කළ හැකි බවත් එය කවදා හෝ හෙළිවන්නේ අදාළ පෝරමය සමග ඉල්ලුම්පත ආයතනයට ලැබුණු දිනක බවත් ඔහු පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










