ෆේස්බුක් එකේ එන මේ පණිවුඩයට අහුවෙන්න එපා… මෙන්න වෙන විනාශය…
පවතින ආර්ථික අපහසුතා හමුවේ අන්තර්ජාලය ඔස්සේ ණය දෙන සමාගම් හරහා ණය ලබාගත් වැඩි දෙනකුට දැන් සිදුව ඇත්තේ ‘ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා’ වැනි අත්දැකීමට මුහුණ දීමටය. පෞද්ගලික තොරතුරු ඔන්ලයින් ඔස්සේ තෙවැනි පාර්ශ්වයක් අතට පත්වීම නිසා විවිධ අපහාසයන්ට ගොදුරු වීමට මෙන්ම නීතියෙන්ද නිසි පිළිසරණක් නොමැති වින්දිතයන් පිරිසක් බවට පත්වීමට ණය ආපසු ගෙවාගත නොහැකි වූ ගනුදෙනුකරුවන් වැඩි දෙනකුට සිදුව ඇති බව මේ පිළිබඳ කළ සොයා බැලීමකදී අනාවරණ විය.(Sri Lanka Latest News)
රටේ පවතින ආර්ථික අර්බුදය සහ ඉහළ ජීවන වියදම හමුවේ ජනතාවගෙන් බහුතරයක් සිය මාසික වියදම් ආවරණය කරගැනීම සඳහා මුදල් අතමාරු කරගැනීම සාමාන්‍ය සංසිද්ධියකි. බැංකු මගින් ණය ලබා ගැනීමේදී සම්පූර්ණ කළ යුතු කොන්දේසි සහ ගතවන කාලය හේතුවෙන් ඉක්මනින් ණය ලබාගැනීමට උනන්දු වන පුද්ගලයෝ බොහෝ විට මුදල් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා පොලියට මුදල් ලබාදෙන පුද්ගලයන්, සිය මිතුරන් හෝ ඥාතීන්ගෙන් ණය ලබාගැනීමට පෙලඹී සිටිති.
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ ඇතැම් විට කෙටි පණිවුඩ හරහා ද ප්‍රචාරණ කටයුතු කරනු ලබන ඔන්ලයින් ණය දෙන ආයතනවලින් ද බොහෝ පිරිසක් හදිසි ණය අවශ්‍යතා සපුරා ගන්නේ රහස්‍යභාවය ආරක්ෂා කරගැනීමේ අරමුණින්ය.
ණය ලබාගැනීමට ඉල්ලුම් කරනු ලබන පුද්ගලයන් ඊට අදාළ තොරතුරු සැපයීමේදී නොදැනුවත්ම ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු අදාළ සමාගම වෙත සපයනු ලබයි.
‘ෆේස්බුක් එකේ හරි වට්ස්ඇප් එකේ හරි ප්‍රමෝෂන් මැසේජස් තියෙන්නේ. ඒ විදිහට මැසේජ් එනවා මිනිත්තු පහෙන් ලෝන් එකක් දෙනවා, ඇපකරුවන් අවශ්‍ය නැහැ, ඔබට මුදල් හදිස්සියක් ද කියලා. ඔය වගේ මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න විදිහට මැසේජ් එකක් එනවා.’ නීතිඥ සඳරුවන් සේනානායක පැවැසීය.
‘සාමාන්‍යයෙන් වට්ස්ඇප් එකට හරි ෆේස්බුක් එකට මැසේජ් එක එන්නේ ලින්ක් එකත් එක්ක. ඒ ලින්ක් එක ක්ලික් කළාට පස්සේ ඔවුන් නිර්මාණය කරපු ඇප් එකක් ඩවුන්ලෝඩ් වෙනවා ෆෝන් එකට. ඒකෙ අදියර හතරක් විතර තියෙනවා. ඒ ටික අනුගමනය කරලා අවසාන අදියරට යද්දී ඒ ණය ඉල්ලුම්කරුගේ ෆේස්බුක් එකයි විද්‍යුත් තැපැල් ගිණුමයි හැක් වෙනවා. විද්‍යුත් තැපැල් ගිණුම හරහා අපේ දුරකතනයේ තියෙන කන්ටැක්ස් (දුරකතන අංක) වගේම ෆේස්බුක් එකේ පාලනයත් ඒ අයගේ අතට යනවා. නමුත් ඒ අය මොකුත් කරන්නේ නැහැ. ඉන් පසුව ඔවුන් දැනුම් දෙනවා ණය ඉල්ලුම්කරුට තමන්ගේ ජාතික හැඳුනුම්පත අත තබාගෙන සේල්ෆි ඡායාරූපයක් ගෙන එය ඔවුන්ට යොමුකරන්න කියලා….’
සියලු කරුණු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ණය ඉල්ලුම්කරුට පළමු පියවර වශයෙන් ණය නිකුත් කිරීම සිදුකරනු ලැබුවද අදාළ සමාගම සඳහා මුදල් ලැබෙන්නේ කුමනාකාරයෙන් ද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බව නීතිඥ සඳරුවන් සේනානායක සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ණය ලබාදීම හරහා අදාළ සමාගම් අධික පොලියක් අයකරගනු ලබන බවය.
‘ඉස්සෙල්ලාම රුපියල් 7,500 – 10,000 සිට රුපියල් දෙලක්ෂ පනස්දහසක් දක්වා ණය මුදලක් මෙම ආයතනය සපයනු ලබනවා.’
‘ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත අනුව ඔන්ලයින් ගනුදෙනු කරන්න පුළුවන්. ඊට පස්සේ 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකා මහබැංකුව චක්‍රලේඛයක් නිකුත් කළා. ඒ චක්‍රලේඛය අනුව ඔන්ලයින් හරි දුරකතනය භාවිත කරලා ණය දෙනවා නම් ඒකට වෙනම අවසරයක් ගන්න ඕනෙ. ඔය ණය දෙන එකම සමාගමක්වත් ඒ අවසර අරන් නැහැ.’
‘ඊළඟ කාරණාව මේ සමාගම් එකක්වත් ශ්‍රී ලංකා මහබැංකුවේ ලියාපදිංචි වෙලා නැහැ ණය දෙන ආයතන විදිහට. මේ සල්ලි කොහෙන්ද එන්නේ කොහෙටද යන්නේ කියලා ලොකු ප්‍රශ්නයක්.’
‘අනිත් කාරණාව ණය ලබාදෙන්නේ පොලී රහිතව කියලයි. හැබැයි රුපියල් 10,000ක ණයක් ඉල්ලුම් කළාම ණය ඉල්ලුම්කරුට ලැබෙන්නේ රු. 7,000ක් විතරයි. ඒකත් දවස් 10ක් ඇතුළත ගෙවන්න ඕනෙ. ඒ කියන්නේ දවස් දහයට පොලිය රුපියල් 3,000ක්. හරියට බැලුවොත් සියයට 30ක පොලියක් අයකරනවා. මාසයක කාලයක් යනකොට සියයට 90ක් පොලිය. එතකොට මේ ණය දෙන පිරිස් අධික ලාභයක් උපයනවා. මේක පිරිමිඩ්වලටත් එහා ගිය දෙයක්. එහෙම කරන්න ඉඩදෙන්න බෑ.’
‘යම් විදිහකින් අර රුපියල් 7000ක් ණයට ලැබුණු කෙනා දවස් 10ක් ඇතුළත රුපියල් 10,000ක් ගෙවන්න ඕනෙ. ඒ නියමිත දිනයට මුදල් ගෙවන්න බැරි වුණාම දවසකට 10%ක අමතර පොලියක් අයකරනු ලබනවා. ඒක තමයි ඔවුන්ගේ සැලැස්ම.’ ඔහු පැවැසුවේය.
මෙම ණය ලබාදෙන ආයතනවල කිසිදු ප්‍රධාන කාර්යාලයක් පිහිටා නොමැති අතර, ඒවා පුද්ගලික සමාගම් ලෙස ලියාපදිංචි කිරීමක් පමණක් සිදුකර ඇති බව මේ පිළිබඳ සොයාබැලීමේදී අනාවරණ විය.
පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කිරීමට ලබාදී ඇති ලිපිනයන් පරික්ෂා කර බැලීමේදී එම ස්ථානවල එවන් සමාගමක් පිහිටා නොමැති බවටද කරුණු හෙළිව තිබේ.
නීතිඥ සඳරුවන් සේනානායක පැවැසුවේ මෙලෙස ණය ලබාදෙන එක් සමාගමක අධ්‍යක්ෂවරයා මෙන්ම කොටස් හිමියා ලෙස කටයුතු කරනු ලබන්නේ තනි පුද්ගලයෙකු බවයි.
‘මේ සමාගම එකම වුවත් ඔවුන් විවිධ නම්වලින් සමාජ මාධ්‍යයේ පෙනී ඉදිමින් ප්‍රචාරණ කටයුතු කරනවා.’
මෙම ණය දෙන සමාගම් මගින් මුදල් ණයට ගෙන යම් හෙයකින් නියමිත දිනයට මුදල් නැවත පියවීමට අපොහොසත්වන පුද්ගලයන්ට ඉතා අප්‍රසන්න සිදුවීම්වලට මුහුණපෑමට සිදුව තිබේ.
‘ණය ලබාගන්නා පුද්ගලයන්ට යම් විදිහකින් නියමිත දිනට මුදල් ගෙවීමට නොහැකි වෙලා යම් කාලයක් ගතවුණොත් අදාළ ණය දෙන සමාගම කරන්නේ ණය ගත් පුද්ගලයාගේ ජංගම දුරකතනයේ තිබෙන සම්බන්ධතා ලැයිස්තුවට (කන්ටැක් ලිස්ට්) එකේ සිටින පුද්ගලයන්ට කෙටි පණිවුඩ යොමු කරනවා.’ නීතිඥ සේනානායක පැවැසීය.
ඒ කෙටි පණිවුඩයේ සඳහන් වනවා මෙහෙම ණය අරක් තිබෙනවා අදාළ පුද්ගලයා විසින්. ඔහු ඒ මුදල නැවත පියවා නැහැ. ඔහු වංචාකාරයෙක් කියමින් පණිවුඩ යවනවා. ඊට පස්සේ අර කන්ටැක් ලිස්ට් එකේ තියෙන නම්බර්ස්වලට කෝල් කරනවා. ඔය අතරවාරයේදී ලබා ගත්ත ඡායාරූපය යොදාගෙන ෆේස්බුක් හෝ වට්ස්ඇප් ගිණුමේ සිටින පුද්ගලයන්ට ඒවා යොමුකරනවා ණය අරන් නොපියවා ඉන්න පුද්ගලයෙක් බව කියලා. අන්න එතැනින් තමයි මේ ප්‍රශ්නය ඇති වෙන්නේ. මේ ඔක්කොම නීතියෙන් තහනම් වැඩ…’
සිය මවගේ රෝගී තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ණය ලබාදෙන සමාගම් කිහිපයකින් ණය ලබාගෙන මේ වන විට දැඩි අපහසුතාවකට ලක්ව සිටින ගුරුවරියක් මෙලෙස අදහස් දක්වා සිටියාය.
‘මම ගුරුවරියක්. පසුගිය කාලසීමාවේ මට ගොඩක් ආර්ථික ප්‍රශ්න ඇති වුණා. මේ නිසා මම අන්තර්ජාලය ඔස්සේ ණය ලබාදෙන ආයතනවලින් ණය ලබාගන්න පෙලඹුණා. මුලින්ම රුපියල් 5,000ක් වගේ පොඩි ගණන්වලින් තමයි ණය ලැබුණේ. මම ඒ වගේ ආයතන කිහිපයක් එක්කම ගනුදෙනු කරන්න පටන් ගත්තා. ණය ගන්න හේතුව වුණේ මගේ අම්මාට අසනීප වුණා. වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මම බැංකුවලින් ණය ගන්න උත්සාහ කළත් මගේ වැටුප ඇපයට තබාගෙන ණය ගන්න විදිහක් තිබුණේ නැහැ. මම අවුරුද්දක් විතර මේ අන්තර්ජාලය ඔස්සේ ණය දෙන සමාගම්වලින් මුදල් අරන් ඒවා හැම මාසයකදීම පියෙව්වා. ලොකු පොලියක් අය කරනවා ඒ අය. නමුත් හදිස්සියට වෙන ගන්න තැනක් නැති නිසා කරන්න දෙයක් නැහැ.
මේ අතරතුරදී මගේ ආර්ථික ප්‍රශ්න තවත් උත්සන්න වුණා. ඒ නිසා බැරිම තැන මම එයාලට කිව්වා මට ගෙවන්න සල්ලි නැහැ. මට ටික කාලයක් අවශ්‍යයි කියලා. ඒ වෙද්දී මම එක ණය දෙන ආයතනයකින් රුපියල් 40,000ක් වගේම තවත් ආයතන කිහිපයකින් තව මුදල් ප්‍රමාණයක් ණයට අරන් තිබුණේ. දැන් මම අර රුපියල් 40,000ක් ණයට ගත්ත සමාගමෙන් මාස එකහමාරක කාලයකට පොලී පිට පොලී එකතු කරලා රුපියල් 239,000ක් ගෙවන්න කියලා මට කියනවා.‘
‘ඒ වගේම අනෙක් ණය දුන් ආයතනත් වැල් පොලියට පොලී එකතු කරලා ඒ ණය ගෙවන්න කියලා කෝල් පිට කෝල් දෙනවා මට. සාමාන්‍යයෙන් උදේ 6.00 ඉඳලා රෑ 8.00 වෙනකම් මේ විදිහට මාරුවෙන් මාරුවට කෝල් කරනවා. අඩුම තරමින් එක දවසකට කෝල් 60ක් වත් එනවා. මම ඒ නිසා දැන් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඒ නිසා ඒ අය මගේ අම්මටත් කෝල් කරනවා. එයා අසනීපෙන් ඉන්නේ.’
‘දැන් ටික දවසකට කලින් මම රැකියාව කරන පාසලට කෝල් කරලා විදුහල්පතිට කියල තිබුණා මම මෙහෙම ණය අරන් නැවත ගෙවන්නේ නැහැ කියලා. පස්සේ මට කතා කරලා කිව්වා ළඟදීම ඉස්කෝලෙට එනවා ලෝයර් කෙනෙකුත් අරන්, ඒ ආවම ණය මුදලෙන් භාගයයි ලෝයර්ගේ ගාස්තුවයි මම ගෙවන්න ඕනෙ කියලා. මම කිව්වා එහෙම ගෙවන්න දැන් මගේ අතේ මුදල් නැහැ කියලා. එතකොට ඒ කතා කරපු කෙනා කිව්වා ඒකට කරන්න දෙයක් නැහැ. කොහොම හරි සල්ලි ගෙවන්න ලෑස්ති කරන්න කියලා. දැන් පුදුම විදිහට මානසිකව පීඩනයට ලක් වෙලා ඉන්නේ….’ ඇය පැවසුවාය.
විදේශගතවූ සිය මිතුරියකගේ ඉල්ලීම අනුව අන්තර්ජාලය ඔස්සේ ණය ලබාදෙන ආයතනයකින් සිය නමට රුපියල් 40,000ක ණය මුදලක් ලබාගත් කොහුවල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන රම්‍යා (සත්‍ය නම නොවේ) තමන්ට මුහුණ දීමට සිදුවූ අත්දැකීම මෙලෙස පැවසුවාය.
‘මගේ යාළුවෙක්ට රට යන්න මුදල් අවශ්‍යව තිබුණා. නමුත් එයාගේ නම ක්‍රිබ් එකේ තියන නිසා ණය ගන්න බැරි නිසා මට ලින්ක් එකක් එව්වා ණයක් අරන් දෙන්න කියලා. මම ණය ඉල්ලුම් කළාම ඒ අය මට ලින්ක් එකක් එව්වා ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගෙන ඒ කියන විදිහට කරන්න කියලා. මම ඒ අනුව හැමදේම කළා. පස්සේ අයිඩින්ටි එක අතේ තියන් ෆොටෝ එකක් අරන් එවන්න කිව්වා එයාලගේ වට්ස්ඇප් නම්බර් එකට.
මම ඒකත් කළා. ඒ ඔක්කොම කරාට පස්සේ මගේ බැංකු ගිණුමට රුපියල් 40,000ක් ලැබුණා. ගිය ජනවාරි මාසයේ දී මම ණය අරගත්තේ. පස්සේ යාළුවා මගෙන් ඒ ආයතනයේ එකවුන්ට් නම්බර් එකත් ඉල්ලා ගත්තා, එහෙ ගිහින් සල්ලි දාන්නම් කියලා. එයා ජනවාරි මාසෙම කුවේට්වලට ගියා. ගිහිල්ලා මාසයකට පස්සේ මට අර ආයතනයෙන් කෝල් කළා. සල්ලි ගෙවලා නැහැ කියලා. පස්සේ මම මගේ යාළුවට කිව්වා. එයා කිව්වා ජොබ් එක හරිගියේ නැහැ ඒ නිසා මාසයක් දෙකක් කල් දෙන්න කියන්න කියලා. පස්සේ මම කම්පැනි එකට කිව්වා කෝල් කරලා.’
‘ඔය අතර මාස දෙකක් ගියාම, මගේ ෆෝන් එකේ වට්ස්ඇප් එකේ තියෙන කන්ටැක් ඔක්කොටම මගේ ෆොටෝ එක යවලා මෙයා සල්ලි වංචා කරපු කෙනෙක් කියලා. ඔය මැසේජ් එක මගේ පුතා ඔන්ලයින් ක්ලාස් කරන ඉස්කෝලේ ගෲප් එකටත් ඒ අය යවලා තිබුණා. ඊට පස්සේ මගේ ඥාති වෙන මල්ලි කෙනෙක්ගේ ෆොටෝ එකයි මගේ ෆොටෝ එකයි එකට හදලා වට්ස්ඇප් එකට යවලා තිබුණා මේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්, මේ දෙන්නා සල්ලි වංචාකාරයෝ කියලා.’
‘ඔය අතරේම තමයි මගේ ෆෝන් එකේ කන්ටැක් ලිස්ට් එකේ තියෙන නම්බර්ස්වලට කෝල් කරලා ඒ කතා කරන අයට කියලා තිබුණා මම වංචාකාරයෙක් කියලා. ඔය වගේ මානසිකව වට්ටවන වැඩ ගොඩක් මේ අය කළා. සමහර පවුල් පවා කැඩෙන විදිහේ කෝල් දිලා තිබුණා. අවසානයේ දී බැරිම තැන මේ ගැන කොහුවල පොලිසියට පැමිණිලි කළා මම. පොලිසියෙන් මේ ආයතනයේ නිලධාරියෙක්ව කැඳවලා ඒ ගැන ප්‍රශ්න කළා.’
‘අද වෙද්දී මේ වගේ තැන්වලින් ණය අරන් ගොඩක් මිනිස්සු අපහසුතාවයට පත්වෙලා ඉන්නේ. ඒ අයගේ පෞද්ගලික තොරතුරු, ජාතික හැඳුනුම්පතේ ෆොටෝ පවා මේ අය එහෙ මෙහෙ ෂෙයාර් කරනවා. එහෙම කරන්න කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ. නමුත් ආර්ථික අතින් අසරණ වුණු මිනිස්සුන්ට දැන් මේ නිසා තවත් අසරණ වෙන්න වෙලා.’ ඇය පැවැසුවාය.
‘මෙහෙම කටයුතු කරන අයට එරෙහිව පොලිසියට ගිහින් පැමිණිල්ලක් කළත් අධිකරණය හමුවට ගියත් සිතාසියක් යොමු කරන්නවත් හැකියාවක් නැහැ. මන්ද අදාළ සමාගමට නිවැරදි ලිපිනයක් නොමැතිකම නිසා.’ නීතිඥ සඳරුවන් සේනානායක සඳහන් කළේය.
‘අන්තර්ජාලය ඔස්සේ ණය ලබාදීම හෝ ඒවාට ඉල්ලුම්කිරීම සඳහා යම් නියාමනයක් සිදුකළ යුතුයි. ඒ කියන්නේ යම් නිත්‍යානුකුල ලියවිල්ලක් තියෙන්න ඕනෙ. මොකද ණය ගන්නා පුද්ගලයාට යම් විදිහකින් ආසාධාරණයක් වුණොත් ඒ ගැන පැමිණිල්ලක් කළත් ඒ ගැන කටයුතු කරන්න හැකියාවක් නැහැ. හේතුව එම සමාගම් සඳහා ලිපිනයක් නොමැතිකම නිසා.’
‘අන්තර්ජාලය හරහා ණය දීම හෝ එය ලබා ගැනීම සිදුකරන්න පුළුවන් වුණත් එය නීත්‍යනුකූල ගිවිසුමක් හරහා ඉලෙක්ට්‍රෝනික ගනුදෙනු පනත යටතේ ඇක්සස් එකක් තියෙන්න ඕනෙ. යම් අයුරකින් ණය ලබාගත් අයකුට එය නැවත ගෙවීමේදී මුහුණ දෙන අසීරුතාවලදී ඔවුන් අපකීර්තියට ලක්කරන්න, තර්ජනය කරන්න අයිතියක් නැහැ.’
‘මේ වගේ ණය ගැනීම් නිසා ඇතැම් පුද්ගලයන් සියදිවි හානිකර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම ඇතැම් පාසල් ගුරුවරුන් සහ විවිධ ආයතනවල සේවය කරනු ලබන අයට ඔවුන්ගේ රැකියා පවා අහිමිවී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගොඩක් පැමිණිලි ලැබී තිබෙනවා. ඒ ගැන හැකි පමණින් අවශ්‍ය නීති ආධාර ලබාදීමට පියවර ගනිමින් ඉන්නවා. මේක සම්පූර්ණයෙන් වැරදි වැඩක්. එක්කෝ මේක නියාමනය කරන්න ඕනෙ, එහෙම නැත්නම් තහනම් කරන්න පියවර ගන්න ඕනෙ. මහබැංකුව මේ සම්බන්ධයෙන් ඉක්මනින් අවධානය යොමුකිරීම වැදගත්…’ නීතිඥවරයා පැවැසුවේය.
අන්තර්ජාලය ඔස්සේ මුදල් ලබාගත් පුද්ගලයන් නැවත ඔවුන් එම මුදල් පියවීමට අපොහොසත් වීමේදී අත්විඳීමට සිදුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සහ ඔවුන්ගේ ජංගම දුරකතන දත්ත වෙත වෙනත් පාර්ශ්වයකට ප්‍රවේශ වීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ ඒකකයෙන් කරුණු විමසුවෙමු. එහිදී එම ඒකකය සඳහන් කළේ මෙවැනි ණය ලබාගැනීම් නිසා අපහසුතාවට ලක්වූ පුද්ගලයන් කිහිප දෙනකු තමන්ට මුහුණ දීමට සිදුවූ තත්ත්වයන් සම්බන්ධයෙන් දැනුම් දුන් බවයි.
මේ ගනුදෙනුවේදී ණය ලබාදෙන ආයතනය විසින් පළමු ණය වාරිකය නොමිලේ ලබාදෙන බවට තොරතුරු තිබෙනවා. පසුව එය ගෙව්වාට පසුව වැඩි මුදලක් ගන්න පුළුවන් අවස්ථාව තිබෙනවා. හැබැයි ඒ සියයට 40ක් වගේ වැඩි පොලියට. මිනිස්සු සල්ලි ලබාගන්නා විට පොලිය ගැන විමසීමක් කරන්නේ නැහැ. ඒ එක්කම ඔවුන්ගේ ජංගම දුරකතනයට අදාළ ණය ගන්නා සමාගමෙන් ලින්ක් එකක් එවනවා.
ඒක ක්ලික් කරල ඔවුන් එකඟ වෙනවා තමන්ගේ ජංගම දුරකතනයේ ඇති තොරතුරුවලට එම ආයතනයට ප්‍රවේශ වෙන්න අවසරය ලබාදෙනවා කියලා. මේ වගේ සිදුවීම්වලට මුහුණ දුන් කිහිප දෙනෙක්ම ඒ ගැන අපගේ ඒකකයට දැනුම් දුන්නා. අපි ඔවුන්ට උපදෙස් දුන්නා අදාළ වන බල ප්‍රදේශයේ පොලිසිය වෙතට ගොස් පැමිණිලි කරන්න කියලා.’ සයිබර් අපරාධ ඒකකය සඳහන් කළේය.
අන්තර්ජාලය ඔස්සේ ණය ලබාදෙන ආයතන ඇතුළු කටයුතු නියාමනය සඳහා ඉදිරියේදී නව පනතක් ගෙන ඒමට ශ්‍රී ලංකා මහබැංකුව මේ වන විටත් කටයුතු යොදා ඇති බව බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේය. එමෙන්ම දැනට පවතින නීති පද්ධතිය අනුව යම් පුද්ගලයකුට මහජන තැන්පතු ලබාගැනීමෙන් තොරව තමන් සතු මුදල් යොදවා ණය දීමට මහබැංකුවේ අවසරයක් අවශ්‍ය නොවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
කල් බදු පහසුකම් ලබා දීමක් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පවතින නීතිය යටතේ එම ආයතනය ලියාපදිංචි විය යුතු බව එම දෙපාර්තමේන්තුව අනාවරණ කළේය.
පවතින තත්ත්වය සලකා බලා ණය දෙන ආයතන නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීමට ශ්‍රී ලංකා මහබැංකුව මේ වන විට යෝජනා කර තිබේ.
BBC සිංහල වෙබ්අඩවියෙනි










