රාජ්‍ය අධිකාරීන් බහුතරයක් ප්‍රගාමීව ප්‍රකාශයට පත්කර තිබෙන්නේ අවශ්‍ය තොරතුරුවලින් 40%කට වඩා අඩු ප්‍රමාණයක් පමණක් බව වෙරිටේ රිසර්ච් පවසනවා. 2023 සැප්තැම්බර් මස 09 වැනිදා, කොළඹ දී නිකුත් කර ඇති එම නිවේදනය අනුව තොරතුරු දැනගැනීමේ පනත මගින් නියම කර ඇති පරිදි අන්තර්ජාලය හරහා හෙළිදරව් කර ඇත්තේ එසේ කළ යුතු තොරතුරු වලින් අල්ප ප්‍රමාණයක්.Sri Lanka Latest News
වෙරිටේ රිසර්ච් කර ඇති අධ්‍යනයකින් රාජ්‍ය අධිකාරීන් 70%කට වඩා අන්තර්ජාලය හරහා හෙළිදරව් කර ඇත්තේ තොරතුරු දැනගැනීමේ පනත මගින් නියම කර ඇති තොරතුරුවලින් 40%කට වඩා අඩු ප්‍රමාණයක් බවයි අනාවරණයව ඇත්තේ. අධ්‍යනයට අනුව ප්‍රගාමීව තොරතුරු අනාවරණය කිරීම අතින් ඉහළම ස්ථාන ලබාගෙන ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යි. මෙම අමාත්‍යාංශයන් ප්‍රගාමීව ප්‍රකාශයට පත්කළ යුතුව තිබෙන තොරතුරුවලින් අඩකට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ වෙබ් අඩවිවල පළකර තිබෙනවා.
අනෙක් පසින්, ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය ඔවුන්ගේ වෙබ් අඩවිවල පළකර ඇත්තේ නියම කර ඇති තොරතුරුවලින් 20%කට වඩා අඩු ප්‍රමාණයක් බවයි පැවසෙන්නේ. එමෙන්ම, ප්‍රගාමීව තොරතුරු ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් තොරතුරු දැනගැනීමේ පනතේ පවතින නියමයන්ට අඩුම මට්ටමකින් අනුගතව කටයුතු කර ඇත්තේ තාක්ෂණ අමාත්‍යාංශය යි.
“බොහෝ රාජ්‍ය අධිකාරීන් අතර ඉතා ඉහළ භාෂා නැඹුරුවක් පවතින බවත් අධ්‍යයනයෙන් සොයාගෙන ඇත. ජනාධිපති කාර්යාලය සහ වනජීවී අමාත්‍යාංශය පමණක් භාෂා ත්‍රිත්වයෙන්ම අන්තර්ජාලයේ තොරතුරු නිරන්තරයෙන් ප්‍රකාශයට පත්කර ඇත. සමස්තයක් වශයෙන්, සියලුම රාජ්‍ය අධිකාරීන් අදාළ සියලුම තොරතුරුවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත්කර තිබේ. නමුත් සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත්කර ඇති ප්‍රමාණය 37%ක් පමණි. දෙමළ භාෂාවෙන් ප්‍රකාශයට පත්කර ඇත්තේ ඊටත් අඩු 29%ක ප්‍රමාණයකි.
මෙම සොයාගැනීම් වෙරිටේ රිසර්ච් ආයතනය විසින් ‘ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ප්‍රගාමීව තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන්: පොදු අධිකාරීන් ශ්‍රේණිගත කිරීම’ යන අධ්‍යනයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම අධ්‍යනය එළිදැක්වීමේ උත්සවයේදී අදහස් දැක්වූ වෙරිටේ රිසර්ච් ආයතනය හි විධායක අධ්‍යක්ෂක ආචාර්ය නිශාන් ද මෙල්, ප්‍රජාතන්ත්‍රවාදයේ අපේක්ෂාවන් පිළිබඳව අදහස් දක්වමින්,
‘ජනතාවට හිමිවිය යුතු තොරතුරු බෙදා ගැනීමට රජයට බැඳීමක් තිබෙනවා. තොරතුරු දැනගැනීමේ පනතේ රෙගුලාසිවල තොරතුරු ප්‍රගාමීව බෙදාගත යුතු බව දක්වා තිබෙනවා වගේම අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත්කළ යුතු තොරතුරුත් විශේෂ කොටම දක්වා තිබෙනවා’ යැයි පැවසුවේ ය.
තොරතුරු දැනගැනීමේ පනතට සහ එහි පවතින රෙගුලාසිවලට අනුව, අමාත්‍යවරුන් සහ රාජ්‍ය අධිකාරීන් නිරන්තරයෙන් වාර්තා ප්‍රකාශයට පත් කිරීම, වත්මන් ව්‍යාපෘති පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ ඔවුන්ගේ මෙහෙයුම්, අයවැය සහ සේවාවන් පිළිබඳ යාවත්කාලීන තොරතුරු අන්තර්ජාලය හරහා සන්නිවේදනය කිරීම සිදුකළ යුතු වේ.
වෙරිටේ රිසර්ච් සිදුකළ අධ්‍යනයේ දී, අමාත්‍යාංශ 29 ක් සහ ජනාධිපති සහ අගමැති කාර්යාලන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ මාර්ගගත ප්‍රගාමීව හෙළිදරව් කිරීමේ අවශ්‍යතා සමඟ අනුකූල වීම තක්සේරු කිරීම සිදුවිය. මෙම තක්සේරුව මානයන් දෙකක් මත පිහිටා සිදුවූ අතර ඒවා වූයේ, : (අ) තොරතුරු ප්‍රගාමීව අනාවරණය කර ඇති ද, සහ (ආ) අනාවරණය කළ තොරතුරු භාවිතා කිරීමට ඇති හැකියාව, යනාදිය යි.
මෙම ඇගයීමෙන් ලැබුණු අගයන් පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ රජයේ විවෘතභාවය ගණනය කිරීමත් වෙරිටේ රිසර්ච් සිදුකළ අතර, එහිදී අනාවරණය වූයේ වසර 2017 සිට 2022 දක්වා ගෙවී ඇති වසර 6ක කාලය තුළ රජයේ විවෘතභාවය 25%ක සිට 33%ක් දක්වා වැඩි වී ඇති බවයි. නමුත් ඒ වැඩිවීම ප්‍රමාණය අනුව ගත්විට ඇත්තේ අඩු මට්ටමක” යැයි සිය අධ්‍යනය පිළිබඳව වෙරිටේ රිසර්ච් නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.










