මේ කන්ද උඩරටට ආසන්න මහා වනාන්තරයකි. තමන්ගේ ඥාතියකුගේ හදිසි අවශ්‍යතාවකට බෙහෙත් පැළෑටි කිහිපයක් සොයාගෙන ඒ වන ලැහැබ තුළට වැදුණු ගැමියෝ තිදෙනකු ගහෙන් ගහට ඇසට පෙනෙන හැම තැනකම විපරම් කරමින් පියවරෙන් පියවර ඉදිරියට ගියහ. වන ලැහැබේ බොහෝ දුරක් ගෙවමින් සුළු අතපසු වීමකින් වුවද තමන් පැමිණි දිශාව සොයා ගන්නට අපහසු විය හැකි අවස්ථා බහුල වූ එම වනාන්තරයේ මේ තිදෙනාට එවන් හැඟීමක් ඇතිව නොතිබුණද හිටි හැටියේ ඉන් එක් පුද්ගලයකු තරමක් කලබලයෙන් නතර විය.
‘අපි ආපහු යන්න ඕනෙ කොහෙන්ද?’ ඔහු සිටියේ අන්දමන්දවය. අනෙක් දෙදෙනාද යම් කලබලකාරී ස්වභාවයකින් සිටියහ.
‘මටත් ඕකම හිතුණා. මං හිතන්නේ අපි කැලේ ඇතුළට ආවා වැඩියි. අපිට පාර වැරැදිලා වගෙයි මම හිතන්නේ…’ අනෙක් පුද්ගලයාද කතාවට අඩුවැඩිය එක් කරමින් කීවේය. තිදෙනාට ඒකමතිකව පිළිගත්තේ තමන් මංමුළාවී ඇති බවකි.
‘මට හිතෙන්නේ මංමුළා වැල් පෑගිලා කියලා…’
‘හ්ම්… මටත් හිතෙනවා…’
‘දැන් අපි මොකද කරන්නේ…?’
තිදෙනාම වන ලැහැබ තුළ ඒ මේ අත බලමින් කතාබහට එකතු වූයේ දෙගිඩියාවෙනි. ඉන් එක් පුද්ගලයෙක් අසල ගසකට නැඟ බැලුවේ කොහෙන් හෝ හෝඩුවාවක් සොයාගන්නා අදහසිනි. තමන් වනයට ඇතුළු වූ දිශාවේ පිහිටි කඳු පන්තිය හඳුනාගත් හෙතෙම බිමට බැස ඒ දිශාවට යන්නට යෝජනා කළේය. අනෙක් දෙදෙනාද අවිවාදයෙන්ම එම තීරණයට එකඟව එදෙසට පියවර තබන්නට පටන්ගත්හ.
මේ ආකාරයට සැලකිය යුතු දුරක් ඝන කැලෑව තුළ ඇවිද ගියද යළිත් ගසකට නැඟ පරීක්ෂා කරද්දී පෙර තරම් දුරකින්ම කඳුවැටිය පෙනුණේය. මේ ආකාරයට අවස්ථා ගණනාවකදී පරීක්ෂා කරමින් ඇවිද ගියද වන ලැහැබ අවසානයක් හමු නොවීය. මන්ද නිතර නිතර මාර්ගය වැරැදී ඇතැයි තේරුම් ගත් පිරිස යළිත් කතාවට වැටුණේ සැන්දෑ අඳුර අත වනමින් තිබියදීය.
‘අපට කැලෙන් එළියට යන්න බැරි වෙයි වගේ…’ ඔවුහු අවසානයට තීන්දු කළේ යම් තිගැස්මක්ද සමගය. ක්‍රමයෙන් රාත්‍රියද උදාවෙමින් තිබුණේය. එකිනෙකා අතර තිගැස්මද පැතිර යමින් තිබිණි. ඒ අතරේ එක් පුද්ගලයකුට අලුත් අදහසක් ආවේය. ඔහු දොහොත් මුදුන් දී වැඳගනිමින් කාටදෝ කන්නලව්වක් කළේය. ඉන් පසු මොහොතක් නිහඬව වැඳගෙන උන්නේය. අනෙක් දෙදෙනා කිසිවක් නොඅසා ඔහු හා වැඳගෙන සිටියහ. වෙන්නේ මොනවාද යන්න සිතනවාට වඩා යහපතක් වේවායි කියන සිතුවිල්ල ඔවුන් තුළ තිබුණේය.
‘දැන් හරි. මට හිතෙනවා අපි යන්න ඕනෙ මේ පැත්තට කියලා. යමුද බලන්න…’
කන්නලව්ව කළ පුද්ගලයා ඉස්සර විය. අනෙක් දෙදෙනා ඔහු පසුපසින්ම ගමනට වැටුණහ. බොහෝ දුරක් එද්දී ඔවුන්ටත් නොදැනීම තමන් යායුතු අඩි පාරට වැටුණේ අහම්බෙනි. එහි බොහෝ දුරක් ඇවිද ගිය ඔවුන් ගමන අවසන් කර ගුරු පාරට පියවර තැබුවේ සිතේ සතුටිනි.
‘ඇති ඔයින් ගියා. අපි හෙටම ගිහින් ලොකු මෑණියන්ට පූජාවක් තියන්න ඕනෙ…’
‘ලොකු මෑණියන්ට?’
‘ඔව්. මං අපිට හරි පාර පෙන්නන්ඩ කියලා ලොකු මෑණියන්ට කන්නලව් කළා..’
තර්ක විතර්ක නොමැතිව ඔවුන්ගේ කතාව අවසන් වූයේ එම ඉසව්වේ ජනයා තුළ මහ ලොකු මෑණියන් ගැන තිබූ විශ්වාසය නිසාමය. එම විශ්වාසය සහ ගෞරවය නිසාම ඔවුන්ට එදා යායුතු මාර්ගය පෙන්වා දුන්නේය. ඒ මහ ලොකු කිරි අම්මා නොහොත් මහ ලොකු මෑණියන්ගේ හැටිය. තමන්ට හදවතින් සලකන ගෞරව කරන කාටත් මහ ලොකු මෑණියන්ගේ පිහිට ආරක්ෂාව නොඅඩුව ලැබිණි. එතරම් බල සම්පන්න දේවතාවියක වූ මහ ලොකු මෑණියන් ගැන ජනප්‍රවාදයේ විවිධ කතා පුවත් පැවත එන්නේය. ඒ අතරින් සමන් දෙවියන් හා බැඳුණු කතාව විශේෂ වෙයි.
සමනල අඩවියට අධිපතිව වැඩවසමින් සිරිපා බිම ආරක්ෂා කරන සමන් දෙවිඳුගේ වැඩිමල් සහෝදරිය වන මහ ලොකු මෑණියෝ හෙවත් මහ ලොකු කිරි අම්මා ගැන රසබර ජනප්‍රවාද තිබේ. පෙර කල මහ බිය කුමරිය නමින් හඳුන්වා ඇති ඇය ශාක්‍ය වංශික පතීත රජුගේ දියණියකි. මුලින් මහ බිය කුමරිය පසු කලෙක මහ ලොකු මෑණියන් වන්නට ඇතැයි විශ්වාස කරයි. සුමන සමන් දෙවිඳුන් මහ බිය කුමරියත් පනීත රජුගේම දරුවන් ලෙසයි සැලකෙන්නේ.
කෙසේ නමුදු අදටත් මහ ලොකු මෑණියන් ගැන අසීමිත විශ්වාසයකින් වඳින පුදන මිනිසුන් සිටින ප්‍රදේශ ගණනාවක් ගැන අසන්නට ලැබෙයි. මහ බලගතු දේවතාවියක වන මහ ලොකු මෑණියන් සමග ආවාට ගියාට වැඩ කළ නොහැකි බවත්, එම දේවතාවියට වූ බාරහාර නිසි පරිදි ඉටුකළ යුතු බවටත් ජනයා විශ්වාස කරනවා. ඇය වෙනුවෙන් කරන පුද පූජාවලට ක්ෂණික ප්‍රතිඵල ලැබෙන බවත්, බොහෝ දෙනකු අතර අසීමිත විශ්වාසයක්ද ඇති අතර ඇගෙන් ඉල්ලූ යහපත් ඉල්ලීමක් ඉටු නොකර සිටින්නේ නැති බවටත් ජනයා විශ්වාස කරති.










