ලොව බොහෝ දියුණු ජාතීන්ට කරන්නට බැහැයි කියූ දේ ඉතා සූක්ෂ්මව සහ දක්ෂ ලෙස සාර්ථකව ඉටු කළ පිරිසක් වේ නම් ඒ හෙළයන්ය. බැහැයි කියා දෙයක් නැතැයි යන්න නිතර සිත හෙළයා තමාට එල්ල වන බොහෝ අභියෝග ජයගත්තේ සිය නිර්මාණාත්මක හැකියාවන්ගෙනි. ඒ අනුව අතීත හෙළයන් විසින් ගොඩනගන ලද බොහෝ දේ වර්තමානයේ ලෝ වැසියන් මවිත කරවන දේ බවට පත්ව තිබේ. එවන් සුවිශේෂ නිර්මාණ අතරින් ඇතැම් දේ දියුණු යැයි සම්මත වෙනත් ජාතීන් බැහැයි කියා අතහැර දමන්නට සූදානම් වූ දේවල් වීමද විශේෂය. එහිදී දෙමෝදර පාලම කාටත් සිහිපත් වන්නේ සුද්දා හදන්නට බැහැයි කියා තමන් සතු තාක්ෂණයේද දුර්වලතා පෙන්වා දෙද්දී හෙළ ඉන්ජිනේරුවන් එම අභියෝගය භාරගෙන පාලම ඉදිකළේ කවුරුත් පුදුමයට පත්කරමිනි. මේ ආකාරයට රාවණ රජු දවස දක්වාම හෙළයා සතු විශේෂ නිර්මාණශීලී හැකියාවන් ගැන මතකයන් අතීතයට විහිදී යන්නේ මිසරයේ පිරමීඩ ඉදිකිරීමට පවා හෙළ ඉන්ජිනේරුවන් දායක වූ බවට සාක්ෂි සාධක සහිතව ඔප්පු කරමිනි. කෙසේ නමුත් හෙළ නිර්මාණකරුවා කොතරම් සූක්ෂ්ම වූයේද යන්න ලොවට කියාපාන තවත් පාලමක් ගැන පුවතක් ලෝ වැසියන් පුදුමයට පත් කරන්නට සමත්ව තිබේ. එම පාලම බෝගොඩ ලී පාලමයි.
විවිධ යුගයන්ට අනුව ගංගා ඇළ දොළ තරණයට විවිධ ක්‍රමවේද උපයෝගී කරගැනුණු අතර අනුරාධපුර යුගයේදී මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ විශේෂ දියුණුවක් සිදුවූ අතර පාලම් ඉදිකිරීමේදීද ගල් කුට්ටි සහ ගල් පුවරු භාවිතය ප්‍රචලිත විය. ඒ අනුව මල්වතු ඔය හරහා ඉදිකෙරුණු ගල් පාලම සුවිශේෂ වෙද්දී දැව කර්මාන්තයේ නිපුණතාවක් පෙන්වූ දඹදෙණි යුගයේදී ඉදිවූ බෝගොඩ ලී පාලමට හිමි වනුයේද සුවිශේෂ තැනකි.
ගල්ඇන්දා ඔය නමින් හඳින්වෙන ඔය, මහවැලි ගඟ පෝෂණය කරමින් ගලා යන උමා ඔයේ අතු ගංගාවකි. එම අතු ගංගාව උමාඔය සමග එකතු වන්නේ බෝගෝඩ පුරාණ විහාරය අසලින් වීම නිසාම එම අතු ගංගාව බෝගොඩ ඔය ලෙස කා අතරත් ජනප්‍රිය වී තිබේ.
බදුල්ල – කන්දකැටිය මාර්ගයේ සුන්දර කඳු ගැටයක් අසල ජගුල්ල ප්‍රදේශයේ පිහිටා ඇති බෝගොඩ පුරාණ විහාරය වළගම්බා රජු සමය දක්වා අතීතයට විහිදී යයි. වළගම්බා රජු බෝගොඩ ලෙන්හි සැඟවී සේනා සංවිධාන කළ බවත්, ඉන් අනතුරුව හෙතෙම රජු බවට පත්වීමෙන් පසු තමාට ආරක්ෂාව සහ සෙවණ සැපයූ බොහෝ තැන්හි වෙහෙර විහාර කරවීමේ වැඩසටහන යටතේ බෝගොඩ විහාරයද කරවූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වේ. බෝගොඩ විහාරය සතු තවත් විශේෂ කාරණාවක්ද වෙයි. ඒ, විහාරයෙන් ඇරඹෙන රහසිගත උමඟයි. එම උමඟේ එක් අන්තයක් දෝව රජමහා විහාරයේ ඇති රාවණ උමඟටත්, තව අන්තයක් කන්දෙ විහාරයේ ඇති උමඟටත්, තවත් අන්තයක් රාවණ ඇල්ලේ ඇති උමඟටත් යාවී තිබූ බවට තොරතුරු ජනප්‍රවාදයේ පවතී. එසේම මෙම විහාරයේ ඉතිහාසය ක්‍රි.පූ. අවධියට විහිදුණු බවට පූර්ව බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියැවුණු ලෙන් ලිපි තුනක්ද හමුවී ඇත.
මේ සුවිශේෂ විහාරය වැඳපුදා ගන්නට පැමිණෙන බැතිමතුන්ට එදා ප්‍රධාන අභියෝගයක් වූයේ බෝගොඩ ඔය හරහා ගමන් කිරීමයි. ස්වභාවික ගල් පර අතරින් ගලාබසින මෙම බෝගොඩ ඔය තරණය කිරීම පහසු කරවීමට එකල රජදරුවන්ට අවශ්‍ය වූ අතර මේ සම්බන්ධව අභියෝගය භාරගත්තේ දැව කර්මාන්තයේ නිපුණ ඉන්ජිනේරුවන්ය. සුන්දර දිය දහරටත් ස්වභාවික පිහිටීමටත් හානි නොකර ඉතා අලංකාර දැව පාලමක් ඉදිකිරීමට සැලසුම් කළ හෙළ ඉන්ජිනේරුවන් එදා ඉදිකළ පාලම බෝගොඩ දැව පාලම ලෙසින් ලෝකප්‍රකට වූයේ එහි ඇති සුවිශේෂ ලක්ෂණයන් නිසාමය.
ජනප්‍රවාදයට අනුව දඹදෙණි යුගයේදී ක්‍රි.ව. 1220-1270 ඉදිකරන ලද්දක් බව කියවෙද්දී තවත් මතයක් වන්නේ මහනුවර යුගයේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව. 1747-1780) ඉදිකරවූවක් බවයි. කෙසේ නමුත් බෝගොඩ දැව පාලම මෙතෙක් ලොව ඉතිරිව ඇති පැරැණිම ලී පාලම ලෙස හඳුනාගෙන තිබේ. එමෙන්ම කිසිදු වර්ගයක ඇණ භාවිතයකින් තොරව සම්පූර්ණයෙන්ම ලී පමණක් මූට්ටු කර ඉදිකරවූ මෙම දැව පාලමේ දිග අඩි 50කි. පළල අඩි 6කි. ඉතා අලංකාර වහලක් සහ අත්වැටවල් දෙකක් සහිතව ඉදිකර ඇති මෙහි වහලට පෙති උළු සෙවිලි කර තිබීමද විශේෂත්වයකි. පියැස්ස අඩි අටක් පමණ උසට සකසා ඇති අතර විහාරස්ථානයකට උචිත පෙනුමකින් ඊටම ගැළපෙන ආකාරයට පාලමද නිමවීමට කටයුතු කර තිබේ.
වහල වටා කැටයමින් අලංකාර කරවා ඇති මෙහි කණුද සුවිශේෂ නිමාවකින් හැඩකර තිබේ. ඇතුළත පෙනුම ඉතා ප්‍රියජනක වන අතර අඩි 35 පමණ උස විශාල දැව කඳන් දෙකක් මත පාලම ඉදිකිරීමට කටයුතු කර තිබේ. මෙහි ඇති කැටයම් බොහොමයක් මහනුවර යුගයේ කැටයම්වලට නෑකම් කියන අතර විශාල වශයෙන් කොස් සහ කුඹුක් දැව යොදාගෙන මෙහි ඉදිකිරීම් කර තිබේ. එමෙන්ම විශේෂ කොටස් සඳහා කළුවර හා මිල්ල දැව භාවිතයටද කටයුතු කර තිබීම විශේෂත්වයකි.
ලොව මවිතයට පත්කළ හෙළ නිර්මාණ අතර මෙරට දැව වඩුවන් සහ ඉන්ජිනේරුවන්ගේ විස්මිත හැකියාවන් කියාපාන බෝගොඩ දැව පාලම කොතරම් විශිෂ්ට නිමැවුමක්ද යන්න එම පාලම මත එක්වරක් පමණක් ගමන් කිරීමෙන් වුවද ඔබේ හදවතට දැනෙනු නිසැකය. එය හෙළ ඉන්ජිනේරු තාක්ෂණය කොතරම් විශිෂ්ටද යන්න ඔබට ආඩම්බරයක් සහ අභිමානයක් ඇතිකරනු නිසැකය.
කුමාර රත්නායක