පරාජයක ආරම්භය බෙදීම යැයි කෙනකු පවසයි නම් එය තර්කයෙන් තොරව පිළිගත යුතු සත්‍යයකි. මන්ද ඕනෑම අභියෝගයක් ජයගැනීම උදෙසා සියල්ලන්ගේ එකමුතු වීම වැදගත්ය. සියලු මුතුවලට වඩා එකමුතුකම වටිනවා යැයි පැරැණි කතාවක් කියා ඇත්තේ කට කහනවාට නොවේ. එහෙත් එකමුතුකම බිඳෙන්නේ අපි දකින අපට පෙනෙන දේවලින්ම පමණක් නොවන බව තේරුම් ගත යුතුය. ඊට බලපාන හේතු කාරණා රාශියකි. ඒ අතරින් කුල භේදයට ඇත්තේ බර තක්සේරු කළ නොහැකි බරකි. ඊට අටුවා ටීකා අවශ්‍ය නොවේ. එදිනෙදා සමාජය දෙස අවධානයෙන් බැලීම පමණක්ම සෑහෙනු ඇත.
බෞද්ධ මෙන්ම අනෙකුත් ජන කොටස් අතරද මුල් බැසගෙන ඇති කුල භේදය එකම සමාජය විවිධ සීමා යොදමින් එකට එක්වීමේ කඩඉම් ලකුණු කර වෙන්කර ඇත්තේය.
බොදු ගොවි, බොදු බත්ගම, බොදු කරාව, බොදු සලාගම, බොදු දුරාව ආදී වශයෙන් බෞද්ධ ජනයා කෑලි කඩා වෙන් කරද්දී කතෝලික කරාව, කතෝලික දුරාව, කතෝලික සලාගම, කතෝලික ගොවි ආදී වශයෙන්ද ඒ ඒ ජන කොටස් බෙදා වෙන්කර එකී බෙදීම් සමාජයේ මුල් අද්දවා රූස්ස ගස් බවට පත්කර අවසන්ය. එලෙස සමාජ බිම මත රූස්ස ගස් ලෙසින් වැඩුණු කුල භේදය රටේ සියලු පළාත් තුළ අතු ඉති පතුරමින් ජන සමාජයේ එකා මෙන් එකට එකතු වීමේ ස්වභාවය තදින් අහුරා ඇත්තේය. මේ තත්ත්වය මෑත අතීතයේද ඉතා තදින් ක්‍රියාත්මක වෙමින් සමාජය තුළ ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති අතර ඒ ඒ කුල අනුව විවිධ පිරිස් අසීමිත පීඩාවකට පත්වූ ස්වභාවයක්ද පෙනෙන්නට තිබේ.
ඇතැම් උසස් යැයි සම්මත කුල හිමියන් පහත් යැයි සම්මත කුල ඇත්තන්ට ඉතා පහත් අයුරින් සැලකූ අයුරු අතීත කතා ඇසුරේ මනාව පැහැදිලි වන අතරම මේ බව බොහොමයක් කලා කෘති ඇසුරින්ද ජනප්‍රවාද කතා මෙන්ම සමාජ ක්‍රියාකාරකම් ඔස්සේද පැහැදිලි වන්නේය.
කුල භේදය කොතරම් ප්‍රබලව සමාජ ක්‍රමය ආක්‍රමණය කළේද යන්න මෙරට බුද්ධ ශාසනයට නිකාය භේදය ඈඳීම තුළින්ම හඳුනාගත හැකිය.
1953දී මහනුවරදී පිහිටුවූ සියම් නිකායේ උපසම්පදාවට ඉඩ ලැබුණේ ගොවි කුලයටය. එනිසාම ඊට එරෙහිව නැඟී සිටි පහතරට සලාගම මංශිකයන් අමරපුර මහා නිකාය පිහිටුවා ගන්නේ අනෙකුත් සියලු කුලවලට උපසම්පදාව ලබාගන්නට හැකි වන අයුරිනි. එහෙත් එතෙක් සමාජය තුළත් මිනිස් සිත් තුළත් මුල් බැසගෙන තිබූ කුල භේදය අමරපුර මහා නිකායට නිදහසේ ශාසන කටයුතු කරගෙන යන්නට ඉඩ දුන්නේ නැත. ඊට හොඳම උදාහරණය සපයමින් අමරපුර නිකායද විවිධාකාර බෙදීම් ඔස්සේ කොටස් රාශියකට බෙදී ගියේය.
අතීත ජනප්‍රවාද මෙන්ම විවිධ සටහන් ඔස්සේ සොයා බැලීමේදී කුල ක්‍රමය කොතරම් ප්‍රබලව පැවැතියේද යන්නත් ඒ ඒ කුල අතර ගැටීම් ගැලහැප්පීම් සිදුවූයේ කෙසේද යන්නත් පැහැදිලි වෙයි. එවක විවිධ කුලවලට දුන් රාජ නියෝග ගැනත් දඬුවම් ගැනත් සන්නස් පත්‍ර සහ සෙල්ලිපි ආදියෙන්ද හෙළිවී ඇත්තේය.
අතීත ශ්‍රී ලංකාවේ ආර්ය සිවු කුල ක්‍රමයක් ගැන සඳහන් වන අතර එම සිවු කුලයෙන් හතරවැනි කුලය වන ගොවි කුලයද තම තමන්ගේ තත්ත්වය රැකියාව වැනි කාරණා අනුව කොටස් විසි පහකට බෙදී ඇත. එහිදී ඇතැම් පහත් යැයි සම්මත කුලවලට උසස් යැයි සම්මත කුලයක නිවෙසකින් පිපාසයට පැන් උගුරක් පවා බොන්නට වරම් නැති තත්ත්වයට කුල භේදය ප්‍රබල කරන්නට අතීතයේ විසූ ඇති හැකි පිරිස් කටයුතු කර තිබේ.
බොහෝ තැන්හි පෙනී යන ආකාරයට බොහොමයක් කුල නීති රීති ඇති හැකි අයගේ ආරක්ෂාවටත්, යැපීමටත් සකස් කළ ස්වභාවයක්ද පෙනෙන්නට ඇත්තේය.
කෙසේ නමුත් කුල ක්‍රමය අනුව සලාගම කුලයට විශේෂ රාජ්‍ය අනුග්‍රහයක් ලැබුණු බවට විවිධ කතා පුවත් ඔස්සේ මනාව හඳුනාගත හැකිය. ඉතිහාස කතාවට අනුව යාපහුවේ රජකම් කළ බුවනෙකබාහු රජුට ෆාතිමා නම් මුස්ලිම් බිසවක සිට අති අතර රජුගේ ඇවෑමෙන් පසුව රාජ්‍යත්වය උරුම වූයේ ෆාතිමා බිසවගේ පුත්‍රයා වන වත්හිමි කුමරුටය. එහෙත් වත්හිමි කුමරුට මුස්ලිම් සම්භවයක් තිබූ හෙයින් මහා සංඝරත්නය ඔහුට ඔටුනු පැලඳවීමේ මංගල්‍යයට සහභාගි වීම ප්‍රතික්ෂේප කර තිබේ.
මේ හේතුව නිසා ඊට විසඳුමක් ලෙස කේරළයෙන් බමුණන් අටදෙනකු ගෙන්වා එම ඔටුනු පැලඳවීමේ මෞලි මංගල්‍යය සිදුකර තිබේ. ඉන් පසුව බමුණන්ට ගම්වරද තුටු පඬුරුද සිංහල කුල කුමරියන්ද සරණ පාවා දී මෙරට තුළම රඳවා තබාගෙන ඇත්තේ ප්‍රති උපකාරයක් වශයෙනි. මොවුන් පදිංචි ගම සලාගම ලෙසින් ප්‍රකටව කුලයක් ලෙස පැවැත එමින් කාලයක් මුළුල්ලේ විවිධ පාලන යුගයන්හි රජවරුන්ගේ විශේෂ සැලකිලි ලැබූවන් බවටද පත්ව තිබේ.
ඉංග්‍රීසි පාලන අවධියේද සලාගම කුලය විශේෂ වරප්‍රසාද ලැබූ බව ආණ්ඩුවේ ගැසට් පත්‍ර තුළින්ද හඳුනාගත හැකිය.
මෙලෙස විවිධ කාලයන් අනුව ඒ ඒ කුල අනුව විවිධ ලැබීම් සහ විවිධ වරප්‍රසාද බෙදීයෑම තුළත් සමාජයේ එක්වීම එකමුතුකම පාලක පක්ෂයට අවශ්‍ය ආකාරයට පාලනය කරගැනීමටත්, කුලය නමැති බෙදීම සමාජය තුළ පැල කළා යැයි හඳුනාගත හැකි තැන් බොහෝ හමුවේ. එකී බෙදීම් නිසා අදද බොහෝ කාරණා විවිධ පාර්ශ්වවලට පහසුවටත් තවත් කොටසක අයහපතටත් හේතුවී ඇති බව හඳුනාගත හැකිය.
කුමාර රත්නායක










