එවකට ප්‍රධාන අමාත්‍යාංශයක් භාරව කටයුතු කළ හෙතෙම රටේ පිළිගත් ඇමැතිවරයකු වූ අතර, බොහෝ පිරිසක් නොදන්නා මුත් ඔහු ගැන දන්නා සමීපතමයන්ට අනුව මේ ඇමැතිවරයා මනමාල ඇමැති ලෙස ප්‍රසිද්ධව සිටියේය. තරුණියන් පෙනෙන්නට බැරි අමුතු රෝගයක් ඔහුට ඇතැයි තතු දනනෝ දැන සිටියහ. මේ ඇමැතිගෙන් වැඩක් කරවාගන්නට නම් කාන්තාවක ඉදිරියට එවිය යුතු යන්නත් තවත් පිරිසකගේ අදහස විය.
කාලෙන් කාලෙට විවිධ උප්පරවැට්ටි යොදා තරුණියන් තම වසඟයට ගන්නා මොහු බොහෝ දුරට රැකියා ලබාගන්නට එන තරුණියන්වද සිය වසඟයට ගත්තේය. අහවල් ඇමැතිගෙන් ලියුමක් අරගත්තොත් රැකියාව ෂුවර් යැයි තරුණියන් දිරිමත් කරන හෙංචයියන් පිරිසක්ද මේ ඇමැති වටා සිටියේය. ඇමැතිවරයාගෙන් පොඩි පොඩි වාසි ලබාගන්නා මේ ගෝලබාල පිරිසද ඉතා කැමැත්තෙන් සිය රාජකාරිය නොපිරිහෙළා ඉටුකළහ.
මේ අතරේ ඇමැතිවරයා නිසා අපහසුතාවට සහ අසරණභාවයට පත් තරුණියන් පිරිසද විශාලය. මේ ඇමැතිවරයාට රට වටේ දරුවෝ සිටිනවා යැයි ඇතැම් පිරිස් සමච්චල් කළද එහි යම් ඇත්තක්ද ඇති බව තතු දන්නෝ දැන සිටියහ.
මේ අතර එවක පැවැති රජයේ විශේෂ සාදයක් සංවිධාන කෙරුණේ මෙරට ප්‍රධාන පෙළේ හෝටලයක් කේන්දර කරගනිමිනි. ඊට රජයේ ඉහළ මැති ඇමැති මන්ත්‍රීවරු මෙන්ම සියලු ප්‍රභූ පවුල්වල පිරිස්ද සහභාගි වීමට නියමිතව තිබිණි. ඒ සඳහා විශේෂ ආරාධනා පත්‍රයකුත් සැකසිණි. එම ආරාධනා පත්‍රය ඒ ඒ අමාත්‍යවරුන්ට සහ ඒ අයගේ හිතවතුන්ට යැවීම පිණිස අදාළ ඇමැතිවරුන්ටම පැවරිණි. ඒ අනුව එක් අමාත්‍යවරයකුට ආරාධනා පත්‍ර විසිපහ බැගින්ද හිමිවිය. එම ආරාධනා පත්‍ර සිය අමාත්‍යාංශයේ වගකිව යුතු පුද්ගලයන්ට යැවීමට උපදෙස්ද ලැබී තිබිණි.
උත්සවය සඳහා නියමිත දිනය එළඹුණේය. මැති ඇමැති ප්‍රභූ පිරිස් මධුවිත තොලගාමින් සතුටු සාමීචියේ යෙදුණේය. ඒ අතර පෙර කී අමාත්‍යවරයා කලින්ම සූර්වී සිටියේය. බෝතලයක් බිව්වත් වැටෙන්නේ නැතැයි කී ඇමැතිවරයා එදා කලින්ම වෙරිවීම කාටත් ප්‍රශ්නයක් විය. මේ වෙරිවීම ගැන අමාත්‍යවරයාගේ බිරිය පසුවූයේ තරමක කේන්තියකිනි. ඇය ඒ බව සඟවාගනිමින් සිටින්නට උත්සාහ කළේ සැමියාගේ අමාත්‍ය තනතුර වටිනා නිසාය.
මේ අතරවාරයේ හදිසියේම පැමිණි කාන්තාවක් බීමත්ව සිටි ඇමැතිවරයා අසලට ආවේ සිනාසෙමිනි. ‘රෝෂිණී…’ ඇමැතිවරයා මනමාල සිනාවක් පාමින් අර කාන්තාවගේ අතින් අල්ලාගෙන තමා අසල වාඩිකරවා ගත්තේ බිරිය සිටින වග අමතකව ගියාක් මෙනි.
‘ඔයා කොහොමද ආවේ…?’
ඇමැතිවරයා සතුටින් අසයි.
‘ඇයි මට ආරාධනාවක් එවලා තිබුණේ…’
කාන්තාව පිළිතුරු දුන්නේ බෑගය අදිමිනි. එහෙත් කලබලේට ආරාධනා පත හමු නොවීය. ආරාධනා පත නොමැතිව ඇතුළු වීමට නොහැකි බව ඇමැතිවරයා දැන සිටියේය.
එහෙත් තමා ඇයට ආරාධනා පත්‍රයක් නොයැවූ බව ඔහුට වෙරිමතින් වුවද මතකයේ විය.
‘හා හා කමක් නෑ ඔයා ආපු එක හොඳයි. අපි විනෝද වෙමු… විනෝද වෙමු….’
හෙතෙම එසේ කියා නටමින් සිටි පිරිස අතරට යන්න සූදානම් වෙද්දී තවත් කාන්තාවක් ඔහු අසලට ආවාය.
‘ආ… දයානි…’
ඇමැතිවරයා ඇයවද නම කියා පිළිගත්තේය. මෙලෙස කාන්තාවන් හයදෙනකු ඔහු හමුවට ආවේ විටින් විට වුවත් අවසානයේ සියලු කාන්තාවන් සහ බිරියද සිටින තැන ඇමැතිවරයා තමා ගැන හරි අපූරු පාපොච්චාරණයක් කළේ වෙරිමතින් කරන අඳෝනාවක් මෙනි.
අවසානයට ඇමැතිවරයා මේ සියලු කාන්තාවන් සමග අනියම් සබඳතා පවත්වා ඇති බව හෙළිවුණේය. එම කාන්තාවන්ට ලිපි යැවූ කෙනෙක් සොයාගත නොහැකි වූ අතර එම මොහොතින් පසු කාන්තාවන්ගේ බෑග් තුළ වූ ආරාධනා පත්‍ර අතුරුදන් වීමද විමතියට කරුණක් විය. එය කෙසේ සිදුවූවාවද යන්න සොයාගැනීම අපහසු වුවද එදිනම ඇමැතිවරයාගේ බිරිය සිය මවුපියන් සතු මහ ගෙදරට ගිය බවට රාවයක් පැතිර ගියේය.
මේ අතර ඇමැතිවරයා යම් මානසික ආබාධයකට පත්ව ඇති බවකුත් නිතර නිතර දොඩවන ස්වභාවයකුත් ඇතිවීමෙන් ඔහුව බණ්ඩාර කපු මහතා වෙත කැඳවාගෙන එන්නට කටයුතු කර ඇත්තේ ඇමැතිවරයාගේ මිතුරෙකි.
මියගිය තරුණියකගේ ශාපයට ඇමැතිවරයා හසුව ඇති බවත්, ඇගේ ආත්මය ඇමැතිවරයා පසුපස එන බවත් වටහා ගත් බණ්ඩාර කපුමහතා ඒ සඳහා අවශ්‍ය පිළිවෙත් කර ඇගේ ශාපයෙන් ඔහුව මුදාගෙන සහනය සලසා දීමට කටයුතු කර තිබේ. අද මේ ඇමැතිවරයා නැතත්, තතු දන්නෝ තවමත් ඇමැතිවරයා ගැන තමාගෙන් අසන්නට අමතක කරන්නේ නැති බව බණ්ඩාර මහතා පවසයි.
සත්‍ය කතාවකි
නම්ගම් මනඃකල්පිතයි
කුමාර රත්නායක









