ලංකාව යනු යමෙකු විසින් ඉවත දමන ලද බීජයක් වුවද පැළවෙන එම පැළය කිසිදු සත්කාරයකින් තොරව සරුවට වැවෙන, එසේ වැවුණු ගසේ ඵල බරවන තරමට අස්වැන්නක් ලැබෙන සාරවත් මහ පොළොවකි. මේ බව අදටත් වඩා එදා ලෝකය පුරා ප්‍රචලිත කාරණාවක් විය. එවක පෘතුගීසින් මෙරට අත්පත් කරගන්නට ප්‍රධාන සාධකයක් වූයේ ලංකා පොළොවේ තිබූ සාරවත්භාවයයි. මෙරට වැවෙන කුරුඳු කෙරෙහි පෘතුගීසින් දැක්වූයේ අසීමිත කැමැත්තකි. ලංකාවේ කුරුඳු හා සසඳන්නට වෙනත් කිසිදු රටක වැවෙන කුරුඳුවලට හැකියාවක් නැතැයි එදා පෘතුගීසීහු දැන සිටියහ. ඒ තරම්ම සාරවත් සහ ගුණාත්මක කුරුඳු අස්වැන්නක් ලංකා භූමියෙන් ලැබිණි.
එහෙත් මෙරට වැවෙන කුරුඳු ඇතුළු කුළුබඩු කෙරෙහි අසීමිත ලෝභකමකින් ක්‍රියා කළ පෘතුගීසින් මෙරට පාලනාධිකාරිය කෙරේත්, මෙරට ජනයාගේ ජීවිත කෙරේත් කිසිදු සැලකිල්ලක් නොදැක්වීය. ඔවුහු සිය වෙළෙඳ ඉලක්ක හඹා යමින් මුදල් පසුපසම පන්නා ගියහ.
එවක එනම් 1630 දශකයේ රට පාලනය කරමින් සිටියේ රාජසිංහ රජුය. පෘතුගීසින්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් ගැන රාජසිංහ රජු සිටියේ යම් නොසතුටකිනි. අවස්ථාවක් ලද විගස පෘතුගීසින් පන්නා දැමිය යුතු යැයි රජු නිතර නිතර සිතුවේය. ඊට ප්‍රධාන හේතු ගණනාවක් බලපෑවේය. රජතුමාට අයත් ප්‍රදේශවල පෘතුගීසි බළකොටු ඉදිවීමත් තමන් හා පෘතුගීසින් අතර ඇතිවූ ගිවිසුම් උල්ලංඝනය වීමත් රජුට බාහිර රටවල් සමග කළ හැකි වෙළෙඳාම් ආදිය පෘතුගීසින් විසින් අඩපණ කරනු ලැබීමත් යන කාරණාත්, උතුරු හා නැගෙනහිර වෙරළ තීරයේ සම්පූර්ණ බලය පෘතුගීසින් සතු වීමත් යන කාරණා නිසා රජු පෘතුගීසින් පන්නා දැමීමේ කටයුත්තට අතරමැදි පාර්ශ්වයක උපකාර ගන්නට සිතා ගත්තේය. අවසානයේ රජු ඒ සඳහා තෝරාගත්තේ ලන්දේසින්වය. ඒ අනුව රාජසිංහ රජු 1636 සැප්තැම්බර් මාසයේ 09 වැනි දින කැරල් රිජ්නියර්ස් නමැති ලන්දේසි ආණ්ඩුකාර තැනට ලිපියක් යවමින් පෘතුගීසින් මෙරටින් පන්නා දැමීමට ආධාර ඉල්ලා සිටියේය.
කෙසේ නමුත් රජුගේ ඉල්ලීම ගැන දැනගන්නටත් පෙර සිටම බතාවියේ ලන්දේසි පාලකයෝ රාජසිංහ රජුට උදව් කර රජුගේ කළුබඩු ආදායමෙන් කොටසක් හෝ තමන් සතු කරගන්නට සිහින දකිමින් සිටියහ.
තම සිතුවිල්ල අනුවත් රජුගේ ඉල්ලීම මතත් ක්‍රියාත්මක වූ බතාවියේ ලන්දේසි පාලකයෝ මහනුවර හා කොළඹ කේන්ද්‍ර කරගනිමින් රජකම් කළ මෙරට රජවරුන්ට පෘතුගීසින්ට විරුද්ධව කටයුතු කරන්නට අවශ්‍ය ශක්තිය ඇතිකරගන්නට ආධාර දීමට තීරණය කළහ. ඒ රජවරුන්ගේ කුරුඳු පෘතුගීසින්ට නොදී තමන්ට ලබාදෙන ලෙසත්, එසේ කිරීමෙන් රජවරුන්ට අවශ්‍ය වෙඩි බෙහෙත්, යුද උපකරණ සහ වෙනත් අවශ්‍යතා මුදලින් හෝ ද්‍රව්‍යමය වශයෙන් ලබාදීමටත් පොරොන්දු වෙමිනි.
ඒ අනුව ලන්දේසින්ට වාසි අත්වන පොරොන්දුද සමග තමන්ට ආධාර ලබාදෙන්නේ නම් ත්‍රිකුණාමලයේ හෝ මඩකළපුවේ ලන්දේසි බළකොටුවක් ඉදිකර ගැනීමට අවශ්‍ය සියල්ල ලබාදීමටත් පොරොන්දු විය.
එමෙන්ම පෘතුගීසි බළකොටුවලට පහරදීමට නැව් පහක් ලබාදීමටත් රජු පොරොන්දු විය.
ඒ අනුව රජුගේ උදව්වට නැව් හතකුත් සෙබළුන් 25 දෙනකුත් ලංකාවට එවීමට ලන්දේසි ආණ්ඩුකාර වැන් ඩීමන් කටයුතු කළේය. තමාගේ සහායට ලන්දේසින් පැමිණ ඇති බව දැනගත් රජු ඉමහත් සතුටට ත්ව තමාගේ කුරුඳු, ගම්මිරිස් ඇතුළු අනෙකුත් කුළුබඩු වර්ගත් වෙනත් ආර්ථික භෝගත් ලන්දේසීන්ට පමණක් අලෙවි කිරීමටද පොරොන්දු විය.
ඒ අනුව 1648 මැයි 14 වැනි දින රජුගේ හමුදා සහ ලන්දේසීන් පෘතුගීසින්ගේ මඩකළපු බළකොටුවට පහර එල්ල කරමින් පෘතුගීසින්ට එරෙහි ප්‍රහාර මාලාවක් ආර්ම්භ කළේය. රජුගේ හමුදා ගොඩබිමෙන්ද, ලන්දේසින් මුහුදෙන්ද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් පරාජය පිළිගත් පෘතුගීසින් යටත් වීමේ සංඥා නිකුත් කිරීම නිසා මහා සටනක් නොකර එම කටයුත්ත අවසන් විය.
ඉන් පසුව ත්‍රිකුණාමලයෙත්, නැගෙනහිර වෙරළේත් තිබූ පෘතුගීසි බළකොටු අත්පත් කරගත් ලන්දේසින් දැඩි ආශාවකින් සිටියේ කෙසේ හෝ පෘතුගීසින්ගේ මීගමුව හා කොළඹ බළකොටු අල්ලාගන්නටය. එහෙත් එම බළකොටු දෙකෙහි සහ ඒ අවට ප්‍රදේශයේ ආර්ථිකමය වටිනාකම මැනැවින් දැන සිටි පෘතුගීසින් සිය උපරිම බලය යොදා එම ප්‍රදේශ ආරක්ෂා කරගන්නට කටයුතු කරමින් සිටියේය.
මේ දෙපිරිසම කොළඹ සහ මීගමුව බළකොටු ගැන අසීමිත කැමැත්තක් දැක්වූයේ එම ප්‍රදේශවල කුරුඳු හා ගම්මිරිස් සරුවට වැවෙන බව ඉතා හොඳින් දන්නා නිසාමය. එසේම මීගමුව අවට ප්‍රදේශයේ කුරුඳු ඉතා ඉහළ අගයක් ගන්නා බවද එදවස බොහෝ දෙනකු දැන සිටි රහසකි.
ලන්දේසින්ගේ සහ රජුගේ හමුදාවන්ගේ ඊළඟ අරමුණ වූයේ කොළඹ පිහිටි පෘතුගීසි බළකොටුවට පහරදීමය. ඒ සඳහා දිනයක්ද යොදාගත්තේය. 1639 දෙසැම්බර් 18 දිනයයි. එහෙත් එදින පැවැති අධික වැසි තත්ත්වය හමුවේ එම කටයුත්ත අපහසු බව හඳුනාගත් පිරිස මීගමුවේ පිහිටි පෘතුගීසි බළකොටුවට පහරදීමට සූදානම් වූහ.
මෙලෙස විවිධාකාර සැලසුම් සකසමින් මීගමුව බළකොටුව කෙසේ හෝ අල්ලාගන්නට කටයුතු යෙදූ ලන්දේසීන්ට සිංහල සේනා සමග එකතු වී පෘතුගීසින්ට පහරදී මීගමුව බළකොටුව අල්ලාගන්නට හැකියාව ලැබිණි. එහෙත් රජු හා ලන්දේසින් අතර තිබූ වගන්තියේ අතැම් වගන්ති අමතක කරමින් ලන්දේසින් මීගමුව බළකොටුව ගැන කැමැත්තක් සහ යටි අරමුණක් ඇතිව එහි විනාශවී ගිය කොටස් අලුත්වැඩියා කරන්නට පටන් ගත් අතර රජු ඊට එකඟ නොවූයේ එවැන්නකට රජුගේ කැමැත්ත අවශ්‍ය බවට ගිවිසුමේම සඳහන්ව තිබූ නිසාය.
ගිවිසුමේ තමන්ට ඇති අවාසිය හඳනාගත් ලන්දේසින් රජුට අලුත් කෙටුම්පතක් ඉදිරිපත් කොට ඊට අනුව ක්‍රියා කරමුයි යෝජනා කළේය. එහෙත් පෙර ගිවිසුම පරිදි ලන්දේසින් කටයුතු නොකිරීම ගැන කෝප වූ රජු ලන්දේසින්ගේ යටි අරමුණ තේරුම් ගෙන ඔවුන් සමග සියලු ගනුදෙනු අත්හැරියේය.
එහෙත් පෘතුගීසින් මෙරටින් පන්නා දැමීම සඳහා ලන්දේසින්ගේ සහාය අවශ්‍යම බව රජු විශ්වාස කළේය. ඒ නිසා යළිත් ලන්දේසින් සමග සුහදව කටයුතු කරන්නට පෙළඹුණේය.
මේ අතර 1640 ජූලි 15 වැනිදා රජු බැහැදැකීමට පැමිණි කෝස්ටර් නමැති උප සෙන්පතියා රජුගේ සහෝදරයා සමග එක්ව කුමන්ත්‍රණයකට සැලසුම් කිරීමත් රජු අපහසුතාවට පත්කරන්නට ක්‍රියා කිරීමත් නිසා උරණ වූ සිංහලයන් කෝස්ටර්ව නිල්ගල නම් ස්ථානයට ගෙනගොස් මරාදැමුවේය. එම සිදුවීමෙන් පසුව රජු පෘතුගීසින් අතර විවිධ ගැටුම් හා මතවාද හටගත්තේය. මේ තත්ත්වය දෙස ඉතා සූක්ෂ්ම අවධානය යොමුකර සිටි පෘතුගීසින් එයින් ප්‍රයෝජන ගන්නට සිතා යළිත් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළේය. ඉන් පසු මුලින්ම මීගමුව බළකොටුව එලෙස අත්පත් කරගත් පෘතුගීසින් සිය බලය ගැන ඉතා සතුටට පත්වූහ. ඒ ආසියාවේ ලන්දේසින් සතු බළකොටුවක් ප්‍රථම වරට තමන් සතුකර ගන්නට හැකි වීමේ සතුටය. එම සතුටත් සමගින් පෘතුගීසින්ගේ ඊළඟ ඉලක්කය වූයේ රට අභ්‍යන්තරයේ ඇති බළකොටුවද තමන් සතුකර ගනිමිනි. එම ප්‍රදේශවලද ආදායම් තමන්ට ලබාගැනීමයි.
එහෙත් පරාජය භාරගෙන ඉවත්ව යෑමට කැමැත්තක් නොවූ ලන්දේසීහු සැලසුම් කළේ කොළඹත් මීගමුවත් බළකොටු යළි අල්ලාගෙන පෘතුගීසින්ගේ ඉරණම විසඳීමටය. ඒ අනුව බතාවියේ සිට 1700ක සේනාවක් සමග නැව් 13ක් එවීමට කටයුතු කෙරිණි. එම භට පිරිස්වද සහාය ඇතිව මීගමුව යළි අල්ලාගන්නට ලන්දේසින්ට හැකියාව ලැබිණි.
එහෙත් මීගමුව අල්ලා ගන්නට පෙර දින කිහිපයේ ලන්දේසින් සහ පෘතුගීසින් අතර සාම ගිවිසුමකට කටයුතු සිදුව තිබූ හෙයින් මීගමුව යළි පෘතුගීසින්ට ලබාදිය යුතු බවට පෘතුගීසි මතයක් තිබුණද එයට ලන්දේසි කැමැති නොවීය. ඒ අනුව අවසන් තීන්දුවකට එමින් 1645 ජනවාරි 10 දින කොළඹදී ගිවිසුම්ගත වෙමින් පෘතුගීසි හා ලන්දේසි ගාල්ල හා කොළඹ අතර ප්‍රදේශ බෙන්තර ගඟෙන් බෙදාගෙන සුහදව කටයුතු කරන්නට සැලසුම් සැකසිණි. ඒ අනුව ගඟට දකුණු දෙසින් ඇති ප්‍රදේශ ලන්දේසින්ටත්, උතුරු දෙසින් ඇති ප්‍රදේශ පෘතුගීසින්ටත් අයිති විය.
එයට අමතරව මීගමුව හා කොළඹ අතර ඇති ඉඩම්ද සමව බෙදිණි. ඒ අනුව මීගමුව ලන්දේසින් යටතේත්, මීගමුවට උතුරින් ඇති පුත්තලම සහ කල්පිටිය පෘතුගීසින් යටතේත් පාලනය විය.
ඒ අනුව මෙරට ජනයාගේ උදව්වට යැයි කියා රට තුළට ආ පිටරට්ටු තමන්ට රිසි සේ රට බෙදාගෙන සියලු වස්තුව තමන් සතුකර ගත්තේ එලෙසිනි.
කුමාර රත්නායක










