අපට ඉදිරියෙන් පෙනෙන්නේ රාවණා රජ්ජුරුවන්ගේ මාලිගාවක් හා ඖෂධ උද්‍යානයක් තිබුණා කියල ජනප්රවාදයේ කියැවෙන රහලගල පර්වතය. ගමේ එක් පැත්තකින් බැඳපු මහා පවුරක් වගෙයි මේ පර්වතය. කඳු වැටි, මිටියාවත පුරා පැතිරුණු වෙල්යායන්, වනගොමු, දිය දහරාවන්, මේ හැම දෙයම සුන්දර ගම්මානයක අසිරියයි කියාපාන්නෙ. අරනායක නගරයේ ඉඳලා කිලෝ මීටර් හයක් විතර දුරින් පිහිටල තියෙන මේ ගමට කියන්නෙ සැලව කියලා. හැම පැත්තම කඳුවලින් වටවෙලා. කරගල, ගල උඩ ගල, පිඹුරාගල, පහනතිබූ ගල වාගෙ කඳු වැටි හා මුදුන් තමයි ඒ අතරින් ප්‍රධාන වෙන්නෙ.
රාස්සාව කඳු ප්‍රදේශයෙන් ආරම්භ වෙලා ගලාගෙන එන කුඩා ඔය සැලව ගම හරහා මහ ඔය දක්වා ගලන්නෙ ගමේ වෙල්යාය පහුකරගෙන. කුඩා ඔය ඉස්මත්තෙ සැලව කන්ද පාමුලයි ලෙන් විහාරය පිහිටල තියෙන්නෙ. වළගම්බා රජ්ජුරුවන්ගෙ කාලය හා සම්බන්ධ බවට ජනප්‍රවාද තියෙන සුවිශේෂී තැනක් තමයි මේ ලෙන් විහාරය. ඒ හින්දම සැලව ගම්මානයේ පෞරාණිකත්වය කියාපාන වැදගත් තැනක් හැටියටත් මෙතැන හඳුන්වන්න පුළුවන්. වෙල්යායත් කුඩා ඔයත් පහුකරගෙන විහාරයට යන ගමනෙදී දකුණු පැත්තෙන් පාර ළඟම කටාරම් කොටපු ගල් ලෙනක් දැකගන්නට ලැබෙනවා. ඒ වගේම ඊට ඉහළින් තියෙන ලඳු කැලෑවෙ තියෙනවා වැඩ අවසන් නොකරපු බුදු පිළිමයක හැඩය ගත්තු ශෛලමය නිර්මාණයක්.

පියගැට පෙළ නැඟගෙන තරමක් මුදුනට යද්දී වම් පැත්තෙන් දැකගන්න ලැබෙනවා සංඝාවාසය. තවත් ටිකක් මුදුනට ගියාට පස්සෙ මහා ගල් පර්වතයක් සෙවණේ අලංකාර විදියට නිම කරල තියෙන ලෙන් විහාරය හමුවෙනවා. ලෙන මුදුනේ ඉදිරි පැත්ත සම්පූර්ණයෙන්ම වාගෙ කටාරම් කොටල තියනවා. මේ කටාරම ලෙනේ පසුපස කොටස දක්වාම දිගට විහිදිලා යනවා.
මේ විශාල ගල් ලෙන පහළ විහාරෙ, මැද විහාරෙ හා උඩ විහාරෙ කියලා කොටස් තුනකින් යුක්තයි. මේ අතරින් පහළ විහාරෙ තමයි වඩාත්ම වැදගත් වෙන්නෙ. මේ විහාරෙ ඇතුළෙ තියන පිළිම, බිතු සිතුවම් බොහොමයක්ම පරණ විදියටම දැකගන්නට පුළුවන් වීමයි ඒකට හේතුව. ඉතාම විචිත්‍රවත් විදියට හදල තියෙන මකර තොරණක් යට හිඳි බුද්ධ ප්‍රතිමාව දක්නට ලැබෙනවා. බිම් මට්ටමේ ඉඳලා අඩි අටක් විතර උසින් පීඨීකාවක් මත සැතපෙන පිළිම වහන්සේ නිර්මාණය කරල තියෙන එකත් සුවිශේෂී ලක්ෂණයක්. ප්රතිමාවන් වගේම දෙපැත්තෙ බිත්තිත් වියනෙ සිතුවම් ආදියත් හැඩ ගැන්විලා තියෙන්නෙ මහනුවර යුගයේ කලා සම්ප්‍රදායෙන්.
ඊළඟට මුණගැහෙන මැද විහාරෙ දොරටු දෙකක් දැකගන්න ලැබෙනවා. මේ අතරින් ප්‍රධාන දොරටුවත් දොර පියන් දෙකත් සිතුවමින් අලංකාරවත් වෙලයි තියෙන්නෙ. මේ විහාරෙ ඇතුළෙ තියෙන සැතපෙන පිළිමය ඇතුළු පිළිම වහන්සේලාත්, බිතු සිතුවම් හැම එකක්ම වාගෙත් පස්සෙ කාලයක අලුත්වැඩියා කරල තියෙන බව පෙනෙනවා. පහළ විහාරෙත් මැද විහාරෙත් අතරෙ පිටත බිත්තියෙ ගල් පුවරුවක දකින්නට ලැබෙන්නෙ ලංකා ඉතිහාසයට ඉතාමත් වැදගත් සෙල් ලිපියක්. සිරිලක රාජ පරම්පරාවෙ අවසන් සෙල් ලිපිය විදියටයි මෙය හඳුනාගෙන තියෙන්නෙ. ලිපිය පිහිටුවීමේ ප්‍රධාන අරමුණ විදියට කියවෙන්නෙ මහනුවර අවසන් රජතුමා වුණු ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගෙ සහායෙන් මොරතොට ස්වාමීන් වහන්සේ ලවා විහාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරවීමයි. ඒ වගේම සතර මායිම් සහිතව විහාරයට පූජා කරපු ගොඩ මඩ ඉඩම්, සැලව ඇතුළු ගම්වර පිළිබඳවත් මෙහි සඳහන් වෙනවා.
උඩ විහාරය දක්වා යන්න හදලා තියෙන පියගැට පෙළේ පාමුල කුඩා ප්‍රමාණයේ සඳකඩ පහණක් දකින්නට ලැබෙනවා. මේ විහාරය ඇතුළෙ තිබුණු පරණ සිතුවම් වගේම පිළිම වහන්සේලාත් ප්‍රතිසංස්කරණය කරලා තියෙන ආකාරයත් දැකගන්නට පුළුවන්. කාලෙකට ඉස්සර විහාර මළුවෙ දාගැබක් තිබුණු බව කියනවා. ඒ දාගැබේ නටබුන් හැටියට බොරදම් සහිත ගල් පුවරු විහාර බිමේ අදත් දකින්නට තියෙනවා. විහාර මළුවත් බෝධීන් වහන්සේත් අතරෙ කුඩා ගල් පර්වතයක් පිහිටලා තියෙනවා. මේ ගල් පව්ව මුදුනේ අපැහැදිලි තත්වයේ පවතින ඉතා කුඩා ප්‍රමාණයේ සිරි පතුලක් දැකගත හැකියි.

ලෙන සහිත පර්වතයේ විහාරය පිහිටි පැත්තට විරුද්ධ පැත්තෙන්, ඒ කියන්නෙ පිටුපසින් දිග්ගෙය කියල හඳුන්වන කොටසක් තියෙනවා. මේ ඇතුළෙ තියෙන එක කොටසක් දකින්න ලැබෙන්නෙ උමඟක් වගේ. වළගම්බා රජ්ජුරුවො සතුරන්ට විරුද්ධව සේනා සංවිධානය කරන කාලෙදී ආරක්ෂාව සඳහා මේ ලෙනේ නැවතිලා හිටිය බව කියවෙන හින්ද මේ උමඟත් ඒ සඳහා යොදාගත් බව තමයි විශ්වාස කෙරෙන්නෙ. ලෙන් විහාරයට පිටුපස කොටස ගල් පර්වතවලින් ආවරණය වෙලා තියනවා. ගල් කුළු අතරින් එතැනට යන්න පුළුවන්.
වළගම්බා රාජ සමයෙන් පටන් ගන්න සැලව රජමහා විහාර ඉතිහාසයේ ස්වර්ණමය යුගය විදියට සැලකෙන්නෙ මහනුවර රාජ්‍ය සමය. මේ විහාරෙ ඉදිකිරීම් කටයුතු කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙදි ආරම්භ වෙලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙදි අවසන් වුණු බවයි පිළිගැනෙන්නේ. සැලව විහාරෙ වැඩහිටිය ශ්‍රේෂ්ඨතම භික්ෂූන් වහන්සේ විදියට සැලකෙන්නෙ මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවො. උන්වහන්සේ “රාජගුරු” කියන ගෞරව නාමයෙනුත් හඳුන්වලා තියෙනවා.
සැලව රජමහා විහාරය ප්‍රදේශවාසීන්ගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වුණු පින් බිමක් හැටියට හඳුන්වන්නට පුළුවන්. ගෞරවය මත පදනම් වුණු විශ්වාසයන් බොහොමයක් අදටත් මේ ස්ථානයත් එක්ක බැඳිල තියෙනවා. කාලයෙන් කාලයට ස්වාමීන් වහන්සේලා වැඩ වාසය නොකිරීමත් සොර සතුරු උවදුරුත් නිසා විහාරය අභාවයට ගිය කාලවල්ද තිබුණු බවයි දැනගන්නට ලැබෙන්නෙ. අද වුණත් දුර බැහැර පළාත්වලින් සැලව ලෙන් විහාරය දැක බලාගන්න පිරිස් නිතර එන්නෙ නැහැ. ඒ කොහොම වුණත් ඓතිහාසික වාගෙම පුරා විද්‍යාත්මක තොරතුරු අධ්‍යයනය කරන කෙනකුට නම් සැලව විහාර භූමිය තෝතැන්නක්. උඩරට සිතුවම් කලාවේ ස්වරූපය, වටිනාකම් හා විවිධත්වය පිළිබඳව හඳුනා ගන්නටත්, සැදැහැ සිතින් වන්දනාමාන කරන්නටත් සැලව ලෙන් විහාරය අගනා ස්ථානයක් විදියට හඳුන්වන්න පුළුවන්
මහේෂ් ඉන්දික විජේතිලක











