දැන් වෙලාව හරියටම උදේ 9.00යි. අපි ඔන්න අද ඉන්නේ ලංකාවේ ආදරණීයම නගරයේ. ඒ කියන්නේ ඉතින් නුවර අහස යට. ඉතින් නුවර අහස යට ඉඳන් අපි අද යන්න යන්නේ හරිම අපූරු ඒත් සෑහෙන්න බය හිතෙන තැනකට. හරියටම කිව්වොත් ඒ තැන තමයි කටුසු කොන්ද. අපේ සමහරුන්ට නම් කටුසු කොන්ද කියන්නේ අලුත් තැනක්. ඒත් ඒ අත්දැකීම නම් කොයි වගේද කියලා කටුසු කොන්දට ගිය අය හොඳට දන්නවා. ඇත්තටම කටුසු කොන්දේ යනවා කියන්නේ ඔය මරණ බයත් හිතේ පැත්තක තියන් යන්න වෙන ටිකක් අමුතු රටාවක ගමනක්. ඇත්තටම ලියන මම කෑගල්ලේ වුණාට මේ අපූරු ගමනට තවත් පිරිසක් නුවරින් එකතු වුණා. ඒ හැමෝමත් එක්ක ඔන්න අපි නුවර අහස යටින් ගමන පටන් ගත්තා. අපිටම කියලා බස් එකක් ගත්තු අපි කටුසු කොන්ද පාමුල තියෙන ගමට ගිහින් ගමන යන්න සූදානම් වුණා.
හැබැයි කටුසු කොන්දට යන්න කලින් අපි පොඩි තීරණයක් ගත්තා. ඒ තමයි උදේට මොනවා හරි දෙයක් කාලම කන්දට යන්න. ඔන්න ඉතින් අපිටත් හැමදේටම කලින් ලොකු කෑම හින්දා අපි කළේ පරිප්පු එක්කලා පාන් කෑල්ලක් එහෙම කාලම ගමන යන්න පටන් ගත්තු එක. පෙනෙන නොපෙනෙන දුරින් තිබුණු හන්තාන හින්දා ඔන්න චූටි සීතලක් එහෙමත් ඇඟට දැනෙන්න පටන් ගත්තා. එහෙම පටන් ගත්තු ගමනේ මුලින්ම අපිට තිබුණේ කන්දක් නඟින්න. ඒ නැග්ගම ඊට පස්සේ අපට හම්බවුණේ ලොකු ගලක්. එතැන නම් පොඩියට ගෙයක් හදන් ලුණුයි බතුයි කාලා ජොලියේ ඉන්න හිටින්න ආස හිතෙන තැනක්. හැබැයි ඉතින් ඒ හිතෙන ඒවා හීන විතරක්ම හින්දා අපි කළේ ඊළඟට ගල අයිති කරන් සෙල්ෆි ගහපු එක. අර කඳු එහෙම නඟින අය කන්ද මුදුනට නැඟලා අන්තිමේ ගැම්මටම සිංහ කොඩිය උස්සලා ගහන ෆොටෝ එකකුත් ඔන්න පළමුවැනි වතාවට අපි හැමෝම වගේ ගැහුවා. ඒකත් හිතේ තිබුණු ලොකු ආසාවක්. ඒ ආසාවත් ඔන්න කටුසු කොන්දට යන අතරමඟ ඉටුකරගත්තා.

කන්දක් නැඟලා ගලක් දිගේ ගියපු අපිට ඊළඟට හම්බවුණේ පල්ලමක්. ඉළුක් පඳුරුවලින් වැහිලා තිබුණු ඒ පල්ලමේ යනකොට ඔන්න බය හිතෙන කතාවක් අහන්න ලැබුණා. ඒ තමයි අපි දැන් මේ ඉන්න ඉසව්වේ බඹරු ඇවිස්සිලා කියන එක. ඇත්තටම ඒ වෙලාවේ හිතට ලොකු බයක් දැනුණත් අපි සද්ද නොකර අපේ පාඩුවේ එතැනින් මාරු වුණා. අපිට ඔය යන්න තිබුණේ ඉළුක් පඳුරු අතරින් බේරිලා තිබුණු පොඩි පාරකින්. ඒ පාරේ යද්දී මම ඔන්න තුන් හතර සැරයක්ම ඇදගෙන වැටුණා. ඒ මදිවට මිනින්දෝරු මහත්තුරු විදිහට අපි දන්න කියන කූඩැල්ලොත් අපිට දිගට හරහට වදයක් වෙන්න පටන් ගත්තා. හැබැයි මං නම් හිටියේ ඇඟටම හිර ඩෙනිමක් ඇඳගෙන හින්දා මගේ ඇඟට නම් ඔය කූඩැල්ලෝ වැඩිය ගොඩවෙන්න ආවේ නෑ. ඒත් අනික් අයට නම් කූඩැල්ලෝ ලොකුවටම කරදර කළා. දැන් දැන් අපිට සෑහෙන්න මහන්සියි. ඒ අස්සේ ගිනි අව්වත් පිස්සු නටනවා. අපි ඉතින් අඩියෙන් අඩිය වතුර බොන ගමන් හරි අමාරුවෙන් ඉස්සරහට ගියා. ඔන්න එහෙම යද්දි ඈතින් අපිට කටුසු කොන්ද පේන්න ගත්තා.
ඇත්තටම ඈතින් පෙනුණු කටුසු කොන්ද ළඟටම ආවම තමයි අපිට දෙයියෝ බුදුන් සිහිවුණේ. ඒක නම් ඇත්තටම කටුසු කොන්දක්ම තමයි. නිකමට කියවන ඔයා මතක් කරගන්නකෝ ඔයා දන්න කටුස්සෙක්ගේ පිටක්. ත්‍රිකෝණාකාර පිටක්නේ ඔය කොයි කටුස්සටත් තියෙන්නේ. ඉතින් මේ අපි ඉස්සරහින් පේන්න තියෙන කටුසු කොන්දත් අන්න එහෙම තමයි. කටුසු කොන්ද දෙපැත්තෙන් තියෙන්නේ ඉතාමත් දරුණු ප්‍රපාතයන් දෙකක්. මොකක් හරි වෙලා වැටුණොත් ඉතින් ඇඟේ ඇටයක්වත් හොයාගන්නවා නම් බොරු. ඒ තරමටම එතැන භයානකයි. දැන් ඊළඟ වැඬේ තමයි අඩි සීයක් දෙසීයක් එහාට තියෙන මේ චූටි කටුසු කොන්ද දිගේ ඇවිදන් අනෙක් පැත්තට යන එක. අම්මෝ ඒ භයානක අත්දැකීම නම් ඔන්න ලියන්නත් අමාරුයි. අපේ අම්මලා එහෙම අපි ආපු තැන ගැන හරියටම දන්නවා නම් අපිට මේ ගමන එන්න දෙන එකකුත් නෑ. මොකද ඒ තරමටම කටුසු කොන්ද භයානකයි. ඊටත් වැඩිය ඒක උඩ ඇවිදන් යනවා කියන්නේ ජීවිතයයි මරණයයි අතරේ කරන සටනක් වගේ එකක්. අනේ බොරු නෙවෙයි ලියන මට ජීවිතේ පළමුවැනිම වතාවට මරණ බය කියන හැඟීම දැනුණේ මෙතැනදි තමයි.
කටුසු කොන්ද උඩින් ඇවිදන් ගියපු ඒ අත්දැකීම ගැනත් පොඞ්ඩක් නොකීවොත් ඒක ලොකු අඩුවක්. ඒ හින්දම ඒක ගැනත් කියාගෙනම යන්නම්. ඇත්තටම කටුසු කොන්ද උඩදි ඇඟේ ලේ ටික අනිවාර්යයෙන් වතුර වෙනවා. ඒ වගේමයි කටුසු කොන්දේ යන්නේ පළමුවැනි සැරේට නම් මරණ බයත් දැනෙනවා. ඔය ඔක්කෝම අස්සේ එතැනට මාර විදිහට හුළං එනවා. ඊළඟට උඩ පට්ට සීතලයි. ඉතින් ඔය දේවල් නිසා අන්තිමේ අපිව බලන් ඉන්නකොට වෙව්ලන්න ගත්තා. හැබැයි ඔය හැමදේම දරාගෙන අපි කටුසු කොන්ද දිගේ ඇවිදන් ගියා. ඇත්තටම ඇවිදන් ගියා කියන එක මෙතැනට ගැළපෙන්නේ නෑ. මොකද අපි කටුසු කොන්දේ ගියේ අතින් පයින් කියන දෙකෙන්ම. සමහරු නම් අයියෝ ඉඳගෙනත් ගියා. හැබැයි පුරුදුකාරයෝ ටික වැඞ්ඩෝ වගේ ඇවිදන් ගියා. අයියෝ දෙයක් කියන්න අමතක වුණා. ඒ තමයි ඔය කටුසු කොන්දේ යනකොට අතේ පයේ කිසිම දෙයක් අරන් යන්න බෑ. තවත් සරලව ඒ කතාව ආයෙමත් කීවොත් බෑග් වතුර බෝතල් එහෙම ඔක්කෝම පැත්තකින් තියලයි අපිට කටුසු කොන්දේ යන්න වෙන්නේ. ඒ වගේමයි කටුසු කොන්දේ ගිහිල්ලා කටුස්සගේ ඔළුව වගේ තියෙන තැනට ගියාම මුළු පළාතම ලස්සනට පේනවා.

ඊළඟට ඔය කටුසු කොන්දේ ගියා වගේම ආයෙත් ඒක දිගේමයි එන්න තියෙන්නේ. එතකොට මරණ බය ඩබල් වෙනවා. ඉතින් කටුසු කොන්දේ ගිහින් ඊළඟට ටික දුරක් ගියාම හම්බවෙන්නේ ඌරාගල. ඒ කියන්නේ අපේ ගමනේ අවසානේ. ඉතින් අපි ඌරාගලට ගිහින් ආයෙමත් කටුසු කොන්ද දිගේ ඇවිත් පල්ලම් බහින්න වුණා. හැබැයි ඒ වෙද්දි නම් අපි හැමෝම අනේ බාගෙට මැරිලයි හිටියේ. ඒ අස්සේ තමා අපි උඩට ඇරන් ගියපු වතුරත් ඉවරවෙලා තිබුණේ. වතුර නැතුව සෑහෙන්නම හෙම්බත්වෙලා හිටපු අපි දිහා දෙයියෝ බැලුවා වගේ අන්තිමේ පොඩි ජල උල්පතක් හම්බවුණා. ඒත් බෝතල්වලට පුරවන්න තරම් එතැන වතුරක් ආවේ නෑ. අපි කළේ එතැන ඉඳන් දවල්ට කාලා කට තියලම ඒකෙන් වතුර බීපු එක. ආයෙත් ඉතින් වෙන කරන්න දෙයකුත් නෑනේ. ඔන්න කාලා ඉවර වෙද්දිම හරි අපූරු අමුතු දෙයක් වුණා. ඒ තමයි අව්වයි වැස්සයි නරියගේ මඟුලයි. ඔන්න කන්දේ එක පැත්තකට වැස්ස. අනෙක් පැත්තට අව්ව. ඒ මැදින් හුඟාක් ලස්සන දේදුන්නකුත් පායලා. ඉතින් ඔය අත්දැකීමත් කැමරා අස්සේ පුරවන් අපි ආයෙමත් පල්ලම් බැස්සා. ඒ බැහැපු අපි අන්තිමේ කටුසු කොන්ද පාමුල ගම්මානෙට එනකොට වෙලාව හවස පහයි.
කටුසු කොන්ද බලන්න ගියපු ඒ ලස්සන ගමනින් පස්සේ ඔන්න ලියන මට නම් හොස්පිට්ල් එකේ දවස් තුනක් හතරක්ම ඉන්න වුණා. මොකද ඒක මගේ පළමුවැනිම ට්‍රැවල් එක. ඒ නිසා මට කිසිම අත්දැකීමක් තිබුණේ නෑ. හැබැයි ඉතින් දැන් කටුසු කොන්ද මතක් වෙනකොට ආයෙත් දවසක තනියම හරි එහේ යන්න හිතෙනවා. මොකද පරිසරයත් එක්ක ගෙවන ජීවිතේ හරි අපූරුයි. හරි විනෝදයි. ඒ හින්දා කියවන ඔයාලට අපි පුංචි ආරාධනාවක් කරනවා. නිවාඩු දවසක් බලලා ඔයාලත් කටුසු කොන්ද බලන්න එන්න. ඇවිත් හුඟාක් පරිස්සමට ඒ අපූරු අත්දැකීම විඳින්න. සත්තකින්ම ඒ හැඟීමට මට නමක් දෙන්න අමාරුයි. ඉතින් ඔයාලම ඇවිත් ඒ හැඟීමට නමක් දෙන්න. හැබැයි ඔන්න ඇවිත් වනසන්න එපා. මොකද ලංකාවටම කටුසු කොන්දවල් තියෙන්නේ මෙච්චරයි.
රුවන් එස්. සෙනවිරත්න











