අතීතයේ කොළඹ මහනුවර දුම්රිය මාර්ගයේ වර්තමානයේ තිබෙන ඉහළකෝට්ටේ දුම්රිය ස්ථානය නොතිබුණ අතර එය අලගල්ල නමින් තිබී ඇති බවත් වර්තමානයේ ඇති ඔමබබැක බද 5 බිංගෙයක් එකල නොතිබුණ අතර ගල් තලාව මත කට්ටයක් කපා ඒ තුළ රේල් පාර තනා තිබු බවත් සඳහන් වේ. නමුත් රේල් පාර අසලින් මීයන් ඇල්ල කඩා වැටීම සුද්දාට බාධාවක් වූයේ අධික වර්ෂා සමයේ එයින් ඇති වන විශාල ජල ප්‍රභවය නිසා රේල් පාර සේදී යෑමේ අවදානමකට හසු වීම හේතුවෙනි.
ඉංග්‍රීසින් එයට පිළියමක් ලෙස මීයන් ඇල්ල ඉහළින් දෙපළු කර ස්ථාන දෙකකින් ඇදහැලෙන සේ නිර්මාණය කර තිබෙන අතර ගල් තලාව මතින් ඇදහැලුණු ඇල්ල, ගල්තලාවේ කුහරයක් නිර්මාණය කර කුහරය තුළින් ගලා යෑමට සැලැස්වීම මඟින් ජල පහරේ ප්‍රබලත්වය අඩුකරගනිමින් දුම්රිය මඟට වන බලපෑම අවම කරමින් ඒ අභියෝගය ජය ගැනීමට සමත් වී ඇත. ඉංග්‍රීසීන්ට උච්චාරණය කිරීමේ අපහසුව නිසාම මීයන් ඇල්ල, මීනගල්ල ලෙස හඳුන්වා ඇති බව සඳහන්ය.

වර්ෂා සමයේ මෙහි ඇති වූ නාය යෑම් නිසා දුම්රිය අනතුරක්ද සිදු වී තිබෙන අතර මීනගල්ලෙන් පෙර තිබූ මාර්ගය අතහැර එහි පසෙකින් ඇති තනිගල විද නොම්බර 5 බිංගෙය නිර්මාණය කර ඇත. සිංහලයන් දුටු ඒ සුන්දර කොමළිය ඇයගේ සුන්දරත්වය අඩු වූ නිසාම දුක්බර හඬින් පහළට ඇද හැලීම ආරම්භ වූයේ එතැන් පටන්ය.
මෙම මීයන් ඇල්ල සිංහල රජ සමයේ සතර කෝරළ වෙන් කරන සීමාවක් ලෙස පැවති බවද සඳහන්ය. නමුත් පසු කාලීනව සිදුවූ මිනිස් ක්‍රියාකාරකම් නිසාත් පාරිසරික වෙනස් වීම් නිසාත් වර්ෂා සමයට පමණක් සක්‍රීය වන ඇල්ලක් බවට මෙය පත් විය. මෙම මීයන් ඇල්ල තිබූ ආකාරයටම තිබුණා නම් ලංකාවෙ උසින් වැඩිම දිය ඇල්ලක් බවට පත් වීමට ඉඩ කඩ තිබූ අතර ඇල්ල දෙකඩ කර පරණ මඟ ඉවත් කරමින් සෑදූ ඔමබබැක 5 බිංගෙය මේවන විට ලංකාවේ දිගින් දෙවැනි ස්ථානයේ හිමිකර ගෙන තිබෙන බිංගෙය බවට පත්ව ඇත.
මීයන් ඇල්ලෙ අතීත කතාව මෙසේ වන අතර වර්ෂා සමය නිසා දුටු ඡායාරූපයක් නිසා එය නැරඹීමේ ආශාවක් ඇති විය. සතියේ දිනක වැඩ දවසක් වූවත් වරුවක් නිවාඩු දාගෙන කොමළිය බලන්න යන්න සිතාගත්තේ වර්ෂාව අඩු වූ සැණින් ඇයගේ සුන්දරත්වය අඩු වන බව හොඳටම දන්නා බැවිනි. ගමන තනියම යෑමට සිතා ගත්තත් තවත් සැරිසරන්නියක් වූ බාශි නංගිටත් යා යුතුමයි කී නිසා ඇයවත් සහභාගි කරගැනීමට සිදු විය. දහවල් වන විට නැවත පැමිණීමට අවශ්‍ය නිසාම පාන්දර 5ට පමණ රෝද දෙකේ සගයාගෙන් කිරිඳිවැල සිට පිටත් වී පස්යාල හන්දියෙන් බාශිවත් රැගෙන නුවර පාර ඔස්සේ ඉදිරියට ඇදුණේ සිහින් සීතලකටද මැදිවය.
කෑගල්ල පසු කර විට හමුවන රඹුක්කන මාර්ගයේ හෝ මාවනැල්ල නගරය තුළින් වැටී ඇති රඹුක්කන නගරයේ ගොස් ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය අසලට ගමන් කිරීමෙන් පසු මීයන් ඇල්ල වෙත පහසුවෙන් ළඟාවිය හැකිය. කෑගල්ල පසු වන විටම ඇති රඹුක්කන මාර්ගයෙන් හරවා ඉහළකෝට්ටෙ ස්ටේෂන් එක අසලට පැමිණෙන විට වෙලාව 7.45 පමණ විය. පැමිණෙන මඟ දෙපසම වර්ෂා කාලය නිසා මනබඳිනා දියකොමළියන් සක්‍රීය වී ඇති නිසා බාශිගේ දුරකතනයේ කැමරාවට නම් නිනව්වක් නැති විය. කෙසේ හෝ අතරමඟ හමුවූ කඩය අසල බයික් එකත් දමා ඉක්මන් කරමින් ඔමබබැක බද5 බිංගෙය අසලට ගමන් කළේ උදේ අට වන විට ඉහළකෝට්ටෙට ළඟා වන බදුලු බලා යන පොඩි මැණිකේ බලවේග කට්ටලය බලාපොරොත්තුවෙනි.
බලාපොරොත්තුව ඉෂ්ට වෙමින් හූ හඬ නංවමින් ී12 බලවේග කට්ටලය බිංගෙය තුළින් එළියට එන ඡායාරූප පෙළක් ලබා ගැනීමට හැකි විය. පොඩි මැණිකේ සමුගත් පසු බාශිගේ ෆ්‍රීෂූට් එකටත් මුහුණ දී ඇලි ටික නැරඹීමට යෑමට සූදානම් වන විට වැඩිහිටි පුද්ගලයන් දෙදෙනකු බැණ වැදුණේ ඔහෙ කැලේ යන්න බෑ කියමිනි.
මේකත් කැලයක්ද කියමින් අපි මාන කැලේ පීරමින් ඉදිරියට ගියේ බාශිගෙ ජැකට් එකට පිං දෙමිනි. පළමුවැනි ඇල්ල ළඟට පැමිණ එහි සුන්දරත්වය වින්දේ මඳ වෙලාවක් ඒ තුළ ගත කරමිනි. ඇල්ලෙන් එන සුළඟත් ඉදිරියෙන් දර්ශනය වන මනරම් කඳුපෙළත් ගතේ විඩාව සැණෙකින් අඩු කිරීමට සමත් විය.

ටික වේලාවක් එහි ගත කළ අප දෙවැනි ඇල්ල වෙත පිටත් වූයෙමු. එහි එක් ඇල්ලක පිටුපසින් කුහරයක් තිබෙන බව දුටු නිසාම එයට යෑමට විස්තර දැනගැනීමට කඩුගන්නාව ස්ටේෂන් මාස්ටර් ලෙස කටයුතු කරන මුණ නොගැසුණු මිතුරෙක් වන ගයාන් අයියට ඇමතුමක් දුන් පසු ඔහු පැවසුවේ බිංගේ ඇතුළෙන් ඒ වෙත යා හැකි බවය. එසේ ඒ ඇලි තුනේම සුන්දරත්වය විඳිමින් නැවත ආ මඟෙන්ම බිංගෙය තුළට ඇතුළු වුණේ විමසිල්ලෙනි. ඇතුළු වී ටික දුරක් යන විට පිටතින් පෙනෙන්නට තිබූ කුහරයේ ආරම්භය හමුවූ අතර තරමක් උසින් පිහිටා තිබූ නිසා එයට නැඟීමට පරිශ්‍රමයක් දැරීමට සිදු විය. කෙසේ හෝ මගේ උසත් උපයෝගි කරගනිමින් උඩට නැඟගෙන බාශිවත් උඩට ගැනීමට හැකි විය. ඒ තුළදී අපට තවත් අත්දැකීමකට මුහුණ දීමට හැකි විය. බිංගෙය තුළ වූ අනෙක් බිංගෙය තුළ අප සිටියදී ඵ6 වර්ගයේ ඇන්ජිමක් සමඟින් මිශ්‍ර දුම්රිය නුවර බලා ධාවනය විය. ඒ මොහොතේ ඇතිවූ අධික ශබ්දය කන් දෙක බිහිර කරවන තරමේ විය. දුම්රිය පිට වී ගිය පසු කුහරයේ ඇල්ල වැටෙන ස්ථානයට ගමන් කළ අප දුටු දර්ශනය ඉතාම ලස්සන එකක් විය. ආපසු පැමිණීමට හිත නොදෙන තරමේ සුන්දරත්වයක් එහි විය.
කෙසේ නමුත් කාලය ගත වී තිබූ බැවින් නැවත ආපසු පැමිණීමට අපට සිදු විය. රේල් පාර අසලම ඇති දිය පහරෙන් මූණ අත පය සේදූ පසු දැඩි වේදනාවක් දැනුණේ මාන පඳුරුවලින් ශරීරය සිදුව තිබූ හානිය නිසාවෙනි. ස්ටේෂන් එක පහළ ඇති කඩයෙන්ම ආහාරත් ගෙන නැවත ඒමට පිටත් වුණේ සුන්දර මතක ගොන්නත් සිතෙහි මෙන්ම කැමරාවේද ගබඩා කර ගනිමිනි.
දිලන්ත ළහිරු











