‘කාපු කට්ට’ විශේෂාංගය තුළින් අද සුවිශේෂ නිර්මාණ ශිල්පියෙක් ගැන කියන්නයි මේ සූදානම. ඔහු තමයි සම්මානනීය සංස්කරණ ශිල්පියෙක් වන ඉන්දික ජයවර්ධන. ටෙලිනාට්‍ය රැසක සංස්කරණ ශිල්පියෙක් ලෙස කටයුතු කරන ඔහු ශබ්ද සැලසුම්කරණ ශිල්පියෙක් ලෙසත් තිරය පිටුපස විශාල මෙහෙවරක් ඉටුකරනවා. ඉතින් ප්‍රථම වතාවට පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන්න ඉන්දික ජයවර්ධන ‘මව්රට’ ‘හාට්’ අපි සමග එකතු වුණේ මේ විදියට.Sri Lanka Latest News
ඉන්දික මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
මේ දවස්වල මම ටෙලිනාට්‍ය දෙකක සංස්කරණ කටයුතු කරගෙන යනවා. සුමිත් රත්නායක අධ්‍යක්ෂණය කරන ‘ගෑනු පිරිමි මල් පලතුරු’ ටෙලිනාට්‍යයේ සහ බන්දුල නානායක්කාරවසම් අධ්‍යක්ෂණය කරන ‘දිසාපති’ ටෙලිනාට්‍යයේ තමයි මේ දිනවල කටයුතු කරන්නේ.
වැඩ දෙකක් එක ළඟ සංස්කරණය කරන එක ඒ තරම් පහසු කටයුත්තක් නෙවෙයි නේද?
මමත් කැමැති එක වැඩක් ඉවර කරලා තව වැඩකට අතගහන්න. හැබැයි ආර්ථික පැත්තෙන් එහෙම හිතලා ලංකාවේ මේ විදියට නිර්මාණ කරන්න අමාරුයි. ගෙවන මුදල්වල ගැටලු තියෙනවා. අද කාලේ රූපවාහිනී නාලිකාවකින් ටෙලිනාට්‍යයකට ගෙවන මුදලකින් ටෙලිනාට්‍යයක් වුණත් කරන්න අපහසුයි. මම ටෙලිනාට්‍ය විතරක් නෙවෙයි වාර්තා වැඩසටහන්, වෙළෙඳ දැන්වීම්, මියුසික් වීඩියෝ සංස්කරණ කටයුතු කරනවා. නිදහස් සංස්කරණ ශිල්පියෙක් ලෙස තමයි මම දැන් වැඩ කරන්නේ. මගේ මේ ගමන පිටුපස දැවැන්ත පිරිසකගේ ලොකු සහායක් ලැබුණා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.
ඉන්දික මේ වෘත්තියට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මම ඉගෙනගත්ත පාසලේ සිංහල ඩ්‍රාමා උගන්වපු සුදම් එස්. පහළගම ගුරුතුමාගේ මගපෙන්වීම යටතේ උසස් අධ්‍යාපනය අවසන් කරලා 2000 වර්ෂයේ ලගීනා මීඩියා ආයතනයට සම්බන්ධ වෙනවා. එහිදී මම රුක්මාල් නිරෝෂ් සංස්කරණ ශිල්පියා යටතේ සහාය සංස්කරණ ශිල්පියෙක් ලෙස වැඩ කළා. ප්‍රසන්න ජයකොඩි අධ්‍යක්ෂණය කළ ‘සඳ අමාවකයි’ ටෙලිනාට්‍යයේ තමයි මම මුලින්ම සහාය සංස්කරණ ශිල්පියෙක් ලෙස වැඩ කළේ. පසුකාලීනව මේ ක්ෂේත්‍රයේ දැවැන්තයන් වන ආනන්ද අබේනායක, තිස්ස අබේසේකර, ලලිත් රත්නායක, අනුරුද්ධ ජයසිංහ වැනි ප්‍රවීණයන් සමග සහාය ශිල්පියෙක් ලෙස ඔවුන්ගේ දැනුමත් අරගෙන මම වැඩ කළා. ඔය විදියට තමයි මගේ ගමන ලගීනා මීඩියා ආයතනයේ සහාය සංස්කරණ ශිල්පියෙක් විදියට පටන් ගත්තේ.
ඊට පස්සේ ඉන්දික මොකද කළේ?
ඊට පසුව මම නිසුකි මීඩියා ආයතනයට සම්බන්ධ වෙනවා. එහිදී තවත් බොහෝ දේවල් ඉගෙනගෙන සුදත් මහදිවුල්වැවගේ ‘රූපමන්ත්‍රා’ ආයතනයට සම්බන්ධ වුණා. සුදත් මහදිවුල්වැවගේ මගපෙන්වීම යටතේ මගේ ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් වුණා. ඔහු මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක් වුණා.
‘ප්‍රාර්ථනා මල්’ ටෙලිනාට්‍යය ඔබේ මුල් පුටුව වුණා?
නාලන් මෙන්දිස් අධ්‍යක්ෂණය කළ ප්‍රාර්ථනා මල් ටෙලිනාට්‍යයේ ප්‍රධාන සංස්කරණ ශිල්පියෙක් විදියට මම මුලින්ම වැඩ කළා. ඔහුගේ නිර්මාණයක වැඩ කරන්නත් මගේ හිතේ ආශාවක් තිබුණා.
හෙමින් ආපු ගමන අවසානයේදී ඉන්දිකට සම්මාන රැසක් ලැබුණා නේද?
ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ ‘වන් වේ’ ටෙලිනාට්‍යයේ හොඳම සංස්කරණය වෙනුවෙන් රයිගම් සම්මානයද, ඔහුගේම ‘තාත්තා’ ටෙලිනාට්‍යය වෙනුවෙන් සුමති, සිග්නිස් සම්මානයද ලැබුණා. ඒ වගේම ‘ජීවිතයට එක දවසක්’ රාජ්‍ය සම්මාන උළෙලට නිර්දේශ වුණා ශබ්ද සැලසුම් නිර්මාණකරණය වෙනුවෙන්. ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කළ ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍යයේ හොඳම සංස්කරණය වෙනුවෙන් සිග්නිස් සම්මානයද, චන්ද ඉරුගල්බණ්ඩාරගේ ‘වියළි’ ටෙලිනාට්‍යයේ හොඳම ශබ්ද සැලසුම්කරණය වෙනුවෙන් සම්මානයද ලැබුණා. සම්මාන නොලැබුණත් ලංකාවේ තියෙන සියලු සම්මාන උළෙලවලට නිර්දේශ වීමත් ලොකු සතුටක්.
රැයක් දවාලක් නැතිව කරන වෘත්තියක් නේද මේක?
ඇත්තටම ඔව්. රැයක් දවාලක් කියලා හිතලා විවේක ගන්න බැහැ. මම පැය 48ක් එක දිගට වැඩ කරලා තියෙනවා. ඇත්තටම මම සතුටු වෙනවා මාව තේරුම් අරගෙන, මගේ වෘත්තිය අවබෝධ කරගෙන මගේ බිරිඳ ලබාදෙන සහාය ගැන. ඒ නිදහස තේරුම් ගැනීම නැතුව මේ වෘත්තිය ආවාට ගියාට කරන්න පුළුවන් එකක් නෙවෙයි.
වසන්ත විතාරණගේ











