මේ දවස්වල ‘අග්නි පියාපත්’ ටෙලිනාට්‍යයේ ‘මාධවි’ ලෙසට ඔබ අප හමුවට එන සඳනි ප්‍රනාන්දු කාලෙකට පස්සේ තමයි නැවැත පුංචි තිරයට එකතු වන්නේ. ඉතින් ඇය පුංචි තිරයේ එක රැයකින් ජනප්‍රිය වුණු සුවිශේෂී රංගන ශිල්පිනියක් කිව්වොත් නිවැරැදියි. ඒ තරමට රශ්මිගේ චරිතයට ගොඩදෙනෙක් ආදරය කළා. ඉතින් රශ්මිටත්, මාධවිටත් ආදරය කරන ප්‍රේක්‍ෂක ඔබට කියන්න සඳනිගේ සැඟවුණු ආදර කතාවක් කාටත් හොරා අප දැනගත්තා. ඒ ආදර කතාව මොකද්ද කියලා හොයලා බලන්න ඇය සමඟ අප කතාබහ කළා.
මේ දවස්වල ඔබ පුංචි තිරයේ සුවිශේෂි රංගනයක නියැළෙන බව අපි දකිනවා. එය ගැන මුලින් කතා කළොත්?
‘අග්නි පියාපත්’ ටෙලිනාට්‍යයේ ‘මාධවි’ ලෙසට තමයි මම රඟපාන්නේ. මාධවි චරිතය වෙනස්ම අත්දැකීමක් නිසා මට එය විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන්.
ඒ තරමට ඔබට ‘අග්නි පියාපත්’ විශේෂත්වයක් වීමට හේතුව?
මොකද මම මෙයට පෙර අම්මා කෙනෙක්ගේ චරිතයක් රඟපාලා නැහැ. විශේෂයෙන්ම දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්. ඒත් මම ඒ අභියෝගයට බය නැතුව මුහුණ දුන්නා. ලැබෙන ප්‍රතිචාරත් හොඳයි.
‘හාරකෝටිය’ ටෙලිනාට්‍යයේ වැඩ කරපු කණ්ඩායමත් එක්ක තමයි සඳනි නැවැත හැඩවැඩ දාන්නේ නේද?
ඇත්තටම ඔව්. ‘හාරකෝටිය’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ ජයප්‍රකාශ සිවගුරුනාදන් තමයි ‘අග්නි පියාපත්’ ටෙලිනාට්‍යයත් අධ්‍යක්‍ෂණය කරන්නේ. ඔහු තමයි මාව පුංචි තිරයට ගෙනාවේ. ඔහුගේ ‘හාරකෝටිය’ ටෙලිනාට්‍යයේ රශ්මිගේ චරිතය රඟපෑවේ මම. අදටත් පාරට බැස්සොත් ගොඩදෙනෙක් මට කතා කරන්නේ රශ්මි කියලා. ඒ ගෞරවය ඔහුට හිමි විය යුතුයි. ඔහුත් එක්ක වැඩ කරන්න ලැබීමත් භාග්‍යයක් විදියට මම සලකනවා.
ඔබ එක්තරා කාලවකවානුවක අභිෂේක ලැබූ රුවැත්තියක්. ඒ කිරුළත් එක්ක සිනමාවට එන්න වාසනාවක් තිබුණේ නැද්ද?
2016 වර්ෂයේ ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය දෙවැනි තැනත්, 2017 ජාතික රූපවාහිනි අවුරුදු කුමරි දෙවැනි තැනටත් හිමිවුණා. ඒ ලැබුණු වරමත් එක්ක තමයි මට නිර්මාණවලින් ආරාධනා ගලාගෙන ආවේ. අරුණ ජයවර්ධනගේ අලුත්ම චිත්‍රපටයේ පෙම්වතියකගේ චරිතය රඟපානවා මම.
ඔබේ කලා දිවියේ තවත් විශේෂත්වයක් වන්නේ සිනමාවේත්, පුංචි තිරයේත් ඔබේ පෙම්වතා ලෙසට ජනප්‍රිය රංගන ශිල්පියෙක් හමුවීම?
එය ගැනනම් කතා කළ යුතුමයි. චිත්‍රපටයේ මගේ පළමු පෙම්වතාත්, පුංචි තිරයේ මගේ පෙම්වතා විදියට රඟපාන්නේ බිමල් ජයකොඩි අයියා තමයි. ඔහුගේ පෙම්වතිය ලෙසට රඟපාන්න ලැබීමත් සතුටක්. මොකද අපි නොදන්නා ගොඩාක් දේවල් ඔහුගෙන් දැනගන්න පුළුවන් වුණා මට.
ඔබේ පෙම්වතා මේ ක්‍ෂේත්‍රයේ නව පරපුරේ ගායන ශිල්පියෙක් බව අපිට ආරංචියි. ඔහුගෙන් ලැබෙන්නේ මොනවගේ සහායක්ද?
ඔහුගෙන් මට ලොකු සහායක් ලැබෙනවා. එහෙමයි කියලා විශේෂ බලපෑමකුත් නැහැ. ඔහු තුළ ඊර්ෂ්‍යාවක්, කුහකත්වය නැහැ. පුළුවන් තරම් හැමෝම එක්ක සතුටින් ඉන්න තමයි උත්සාහ කරන්නේ.
ඔබේ පෙම්වතා ගැන තවත් විස්තර ටිකක් අපි දැනගන්න කැමැතියි?
එය ගැන මම වැඩිදුරටත් කතා කරන්න කැමැති නැහැ. ඉදිරියේදී එය ගැන හැමෝටම කියන්නම්.
වසන්ත විතාරණගේ










