◼️ අමල් සර් මට තාත්තා කෙනෙක් වගේ…
◼️ මගේ වොයිස් එකට ගැළපෙන ස්ටයිල් එක තමයි වේගරිද්මය
බයිල වෙන්දේසිය අරන් ආව වරෙල්ලා, සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා, මංගලිකා මනාලිකා, රන්වන් වත බැබලෙන්නේ, ගල්කිස්සේ මුහුදු වෙරළේ’ එම්. එස්. ප්‍රනාන්දුල, නිහාල් නෙල්සන්ල, ෆ්‍රෙඩී සිල්වල රසිකයන් කුල්මත් කළ මේ වගේ බයිල ගීත ගොන්නක් එක පොකුරට
පහුගිය දවස්වල අහන්න ලැබුණෙ ‘හිරු ස්ටාර්’ වේදිකාවෙ. සාමාන්‍යයෙන් රියැලිටි තරගයක අහන්න නොලැබෙන මේ බයිල ගීත තමන්ගෙම ආරෙට, රහට කියන උදාර කෞශල්‍ය ගැන කතාබහ ඇතිවුණේ ඔහුගේ ඒ මනරම් ගායනයත් එක්ක. ‘හිරු ස්ටාර්’ කිරුළ ආසන්නයේ සිටින උදාර මෙතෙක් තමන් ආපු ගමන ගැන අපිත් එක්ක කිව්වෙ මේ විදිහට.
🔴 උදාර මේ වෙනකොට හිරු ස්ටාර් තරගාවලියේ අවසන් අදියර දක්වා ඇවිත් තියෙනව. කොහොමද ඒක දැනෙන්නෙ?
ඇත්තටම මම හිටපු තත්ත්වයත් එක්ක මේක හීනයක් හැබෑ වීමක් විදිහටයි මම දකින්නෙ. මොකද මට පොඩි කාලෙ ඉඳලම ගායකයෙක් වෙන්න ආසාවක් තිබුණා. නමුත් මේ වගේ ප්‍රතිචාරයක් මට ලැබෙයි කියල මම හීනෙකින්වත් හිතුවෙ නැහැ.
🔴 තරගයට සහභාගි වෙද්දි මේ තරම් දුර එන්න පුළුවන් වෙයි කියල උදාරට හිතුණෙ නැද්ද?
තරගයට සහභාගි වෙනකොට නම් මෙච්චර දුරක්, මෙච්චර රසික ආදරයක් මට ලැබෙයි කියල නම් කොහොමත් හිතුණෙ නැහැ.
🔴 තරගාවලියට සහභාගි වෙන්න කලින් ඔබට සංගීතය පිළිබඳ තිබුණෙ මොනවගේ හැදෑරීමක්ද?
මම පොඩි කාලෙ ඉඳලම සංගීතයට ලොකු ආසාවක් තිබුණ. ඒත් සංගීතය පිළිබඳව පාසලේදීවත් මම විෂයක් විදිහට හදාරල තිබුණෙ නැහැ. පාසලෙන් අයින් වුණාට පස්සෙ තමයි පොඩි පොඩි බෑන්ඩ්වල ගායකයෙක් විදිහට වැඩ කරන්න පටන් ගත්තෙ. සංගීතය පිළිබඳ ගොඩක් දේවල් මේ තරගාවලිය හරහා මම ඉගෙනගත්ත කිව්වොත් හරි.
🔴 මේ වෙනකොට බොහෝදෙනා ඔබව හඳුනාගෙන තියෙන්නෙ වේග රිද්මයේ ගායකයකු හැටියට. ඇයි ඒ ශෛලියෙන් ගීත ගායනා කරන්න හිතුවෙ?
මම හිතන්නෙ මගේ වොයිස් එකට ගැළපෙනම ස්ටයිල් එක තමයි වේගරිද්මය. අනෙක් එක තමයි නව පරපුරේ බයිල ගීත කියන ගායකයන් ඉතාමත් අඩුයි. ඉතින් මම හිතුව මගේ කටහඬින් වැඩක් ගන්න පුළුවන් හොඳම ස්ටයිල් එක මම තෝරගන්න ඕනෙ කියල. ඒ අනුව තමයි මම බයිල ගීතම විතරක් තෝරගත්තෙ. මම හිතනව ඒ තෝරාගැනීම මේ වෙනකොට ඉතාමත් සාර්ථක වෙලා තියෙනව කියල.
🔴 ඔබ තරගාවලියට ඉදිරිපත් වෙනකොටම තීරණය කරලද තිබුණෙ බයිල ගීතවලින් තමයි ඉදිරියට යන්නෙ කියල?
තරගාවලියට ඉදිරිපත්වෙනකොට අපිට මූලික වශයෙන් ගීත 15ක් විතර තෝරගන්න අවස්ථාවක් දෙනව. ඒ අතරින් මම බයිල ගීතයක මුල් වචන දෙක තුන කියද්දිම එතන හිටපු බිලී ප්‍රනාන්දු මට කිව්ව උදාර ඔයා දිගටම බයිල ගීත කියන්න කියල. ඒක තමයි ඔයාට හරියන ස්ටයිල් එක කියල. එදා ඉඳල තමයි මමත් තීරණය කළේ මේ පැත්තෙන්ම ඉදිරියට යන්න ඕනෙ කියල. මේ වෙනකොට මට ඒ හරහා අනන්‍යතාවයක් ගොඩනැගිල තියෙනව. ඇත්තටම සතුටු වෙනව ඒ වගේ තීරණයක් ගත්ත එක ගැන.
🔴 අමල් පෙරේරාගෙ කණ්ඩායම තෝරාගැනීම පිළිබඳව ඔබට මේ වෙනකොට තියෙන්නෙ මොනවගේ අදහසක්ද?
අන්තිම තරගකරුවන් 48දි තමයි අපිට කැමැති කෝච් කෙනෙක් තෝරාගැනීමේ අවස්ථාව දෙන්නෙ. ඒ අනුව තමයි මම අමල් පෙරේරාගෙ කණ්ඩායම තෝරාගන්නෙ. අමල් සර් මට තාත්ත කෙනෙක් වගේ. ඇත්තටම මම ගොඩක් සතුටු වෙනව ඒ තීරණය ගත්ත එක ගැන. ඔහුගෙන් ලැබෙන්නෙ කියල නිම කරන්න බැරි සපෝට් එකක්. තරගාවලියෙ ඉදිරියට යන්න ඔහුගෙන් ලැබෙන හයිය ඉතාමත් වටිනව. ඒ වගේම නිරෝෂ පෙරේරත්, ශිහානුත් මගේ අඩුපාඩු තියෙනව නම් ඒව පෙන්නල දීල ලොකු සපෝට් එකක් මට දෙනව.
🔴 තරගාවලිය තුළ උදාරගෙ ගායනය වගේම විලාසිතා පිළිබඳවත් මේ වෙනකොට බොහෝදෙනෙක් කතාවෙනව?
රියැලිටි තරගයක් තුළ මම හිතන්නෙ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන්නෙ අපේ ගායනය විතරක්ම නෙමෙයි. අපේ ඇඳුම්, අපේ ඉදිරිපත් කිරීම පිළිබඳවත් බොහෝ දෙනෙක් සැලකිලිමත් වෙනව. ඉතින් මගේ ගායන ස්ටයිල් එකටත් ගැළපෙන විදිහට තමයි මම මගේ විලාසිතා වෙනස් කරගෙන තියෙන්නෙ. ඒකට මේ වෙනකොට හොඳ ප්‍රතිචාර ලැබෙනව.
🔴 රියැලිටි තරගවලින් බිහිවන ගායක – ගායිකාවන් ගායන ක්ෂේත්‍රය තුළ යමක් කරන බවක් අපට පේන්න නැහැ. උදාරත් ඒ පිරිස අතරට එකතු වෙන තවත් තරුවක් වෙයිද?
ඇත්තටම තරගාවලිය තුළත් එකම ගීත ශෛලියක් තෝරගන්න හේතු වුණෙත් ඔය කාරණය.
හැමදේම බදාගන්නෙ නැතුව එකම පැත්තකින් ඉදිරියට යන්න තමයි මට උවමනා වුණේ. ඒ හින්ද තමයි මගේ වොයිස් එකට ගැළපෙන, මට කරන්න පුළුවන් හොඳම දේ මම තෝරගත්තෙ. ජීවිතයෙත් මගේ වෙන අරමුණු නැහැ. සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න තමයි මගේ එකම බලාපොරොත්තුව. ඉතින් මිනිසුන්ට මතක හිටින වැඩක් කරමින් ක්ෂේත්‍රයේ රැඳිල ඉන්න තමයි මම උපරිම උත්සාහ කරන්නෙ.
🔴 අවසාන වශයෙන් මේ තීරණාත්මක මොහොතෙ ඔබේ රසිකයන්ට මොනාද කියන්න තියෙන්නෙ?
ඇත්තටම මම ‘හිරු ස්ටාර්’ එකට ආවෙ තැනක් හදාගන්න. ඒ දේ බොහෝ දුරට දැන් සාර්ථක වෙලා තියෙනව. මම මේ තැන ඉන්නෙ මගේ ආදරණීය රසිකයො නිසා. මම හිතනව ඉදිරියටත් මගෙත් එක්කම ඔවුන් ඉඳීවි කියල. ඊට අමතරව සැඟවුණු දක්ෂතා තියෙන ගීත රචකයන්, සංගීත අධක්ෂවරුන්ට මම ආරාධනා කරනව මගේ ශෛලියට ගැළපෙන යමක් කරන්න පුළුවන් නම් මගෙත් එක්ක එකතු වෙන්න කියල. ඒ හරහා රටට වැඩදායී යමක් කරන්න මගෙත් එක්ක එකතු වෙලා කරමු කියන විවෘත ඉල්ලීම මම මේ අවස්ථාවේ කරනව. මගේ ගමනට ශක්තියක් වුණු සෑම දෙනාටම මේ අවස්ථාවේ මම ස්තුති කරනව.
– ඉන්දික වික්‍රමරත්න











