ඇය තවමත් සුන්දර රුවැත්තියකි. දෙස්, විදෙස් ආදරය තවමත් එලෙසම ලැබෙන්නේ ඇයගේ තිබෙන ප්‍රතිභාපූර්ණ කුසලතාවටය. ඒ තරමටම ඇය කලා ක්‍ෂේත්‍රයේ සිටින තවත් වාසනාවන්තියක් විය. නමින් ඇය මාධනි මල්වත්තගේ ය.
වේදිකාවේ උපන් හපන්කම් දැක්වූ ඔබ අලුත් වැඩකට සිහින දකින බව ආරංචියි?
අධ්‍යක්‍ෂණය පැත්තට යොමුවෙන්න ලොකු ආසාවක් තිබෙනවා. ගොඩදෙනෙක් මගෙන් අහනවා මාධනි නිර්මාණයක් කරන්න අදහසක් නැතිද කියලා. නැතුවා නෙවේ. එය මගේ සිහිනයක්. මේ දිනවල වේදිකා පිටපතක් සොයමින් ඉන්නවා. නිකම් නිර්මාණයක් කරන්නම් වාලේ කළාට වැඩක් නැහැනේ.
අද බහුතරයක් රංගන ශිල්පීන් නිර්මාණ කරන්නේ ඔවුන්ගේ වැඩ පෙන්නන්න. නිර්මාණ නැති වුණාම ඔවුන්ම නිර්මාණ කරලා ඔවුන්ම රඟපානවා. ඔබත් ඒ ගොන්නට වැටේවිද?
මට නිර්මාණ ඕනෑ තරම් තියෙනවා. දවස ගානෙ නිර්මාණවලින් ආරාධනා එනවා. ඔබ ඔය කියන විදියට නිර්මාණ අඩුවක් නැහැ මට. මම අදටත් හොඳ නිර්මාණවල වැඩ කරනවා. මම අධ්‍යක්‍ෂණය කරලා මම රඟපෑවොත් මාව හසුරුවන්නේ කවුද? මම මගේ නිර්මාණවල ශිල්පීන් හසුරවන්නයි ඕනෑ. වැඩ දෙකක් කරලා අනාගන්න මම කැමැති නැහැ. එහෙම නම් නිර්මාණ අධ්‍යක්‍ෂණය නොකර මේ විදියට වෙනත් නිර්මාණවලට සම්බන්ධ වෙලා මට ඉන්න පුළුවන්.
මේ දවස්වල ඔබගේ කලා කටයුතු කොහොමද?
මධුර ජවනිකා, කැලණි පාලම, ගජමන් පුවත, බක් මහ අකුණු, බෙර හඬ වේදිකා නාට්‍යවල වැඩකටයුතු කරගෙන යනවා. එයට අමතරව තෝඩු, හුස්මක් තරමට ටෙලිනාට්‍ය මේ දවස්වල විකාශය වෙනවා. ඔය විදියට තමයි මගේ කලා වැඩ මේ දවස්වල සිදුවන්නේ.
දවස ගානේ වේදිකාවට විවිධ කතා එනවා. හැබැයි දවසින් දෙකෙන් ඒ නිර්මාණ දැකගන්නට නැහැ. ඒත් එදා ඉඳන් ඔබ රඟපෑ වේදිකා නාට්‍යවලට අදටත් හොඳ ඉල්ලුමක් තිබෙනවා නේද?
මම කලින් පැවසූ ආකාරයට කැලණි පාලම, මධුර ජවනිකා, ගජමන් පුවත වැනි නාට්‍ය ඒ කාලේ කඩඉම් නාට්‍ය විදියට හඳුන්වන්න පුළුවන්. ඒ නිර්මාණවලට අලුත් පරම්පරාව වුණත් කැමැතියි. ඈත පිටිසර ගම්වල ඉඳලා ප්‍රේක්‍ෂකයා කොළඹට එනවා මේ නාට්‍ය රස විඳින්න. පෙර පරම්පරාවත් ඒ විදියටම ඒ නාට්‍ය කලාව හොඳට රසවින්දා. මේ නිර්මාණකරුවන් මේ නිර්මාණ කළේ සැලසුම් සහගතව, බුද්ධියට වගේම හදවතට කතා කරන්නයි නිර්මාණ හැදුවේ. අලුත් පරපුරත් වේදිකාවට ලොකු කැමැත්තක් තිබෙනවා. නමුත් ඔවුන්ගේ නිර්මාණ ඉදිරියට ගෙන යෑමට ශක්තියක් නැහැ. මෙයට රාජ්‍ය අනුග්‍රහය ලැබීම වැදගත්. ටෙලිනාට්‍ය, චිත්‍රපටවලට තිබෙන සැලකිල්ලවත් වේදිකාවට නැහැ. වේදිකාවට කුඩම්මාගේ සැලකිල්ල ලැබිලා තියෙන්නේ.
තාක්‍ෂණය දියුණු වීමත් සමඟ නිර්මාණ කලාව දියුණු මට්ටමකට ගියත් ගුණාත්මක මට්ටමින් පිරිහීමක් දකින්න තියෙනවා නේද?
වෙනස් වෙන ලෝකයත් එක්ක හැමදේම වෙනස් වෙලා. දැන් තාක්‍ෂණය පැත්තෙන් පවා දියුණුයි. පුංචි කාලේ අපි දැක්කේ ගෙදර දුරකතනය පමණයි. ඒත් දැන් දරුවෙක් අතේ ජංගම දුරකතනය අනිවාර්ය වෙලා. ඒ කාලේ ලියපු පෙම් හසුන් දැන් ඉන්න ළමයි ලියනවා තියා දන්නෙවත් නැතුව ඇති. හැම දේම තාක්‍ෂණයට බැඳිලා. ආකල්ප, ඇසුරු කරන සමාජය අනිත් පැත්තට පෙරැළිලා. ඉතින් මම කියන්නේ තාක්‍ෂණය දියුණුයි නම් එයින් බුද්ධියට ප්‍රයෝජනවත් වැඩක් ගත්තොත් පිරිහීම නැතිකර ගන්න පුළුවන්. කලාව විතරක් නෙවේ හැම අංශයක්ම අගාධයට වැටිලා තියෙන්නේ. මේ කාලේ රැල්ල කියලා ඔහේ යන්නම වාලේ ගිහින් හරියන්නේ නැහැ.
වසන්ත විතාරණගේ











