පුතකු යනු පවුලකට ශක්තියකි. පවුලක පාරම්පරික උරුමක්කාරයන් පුතුන්ය. පවුලක් වූ පසුව සෑම පිරිමියකුම පිය පදවිය ලබාන්නට පෙරුම්පුරා බලා සිටිති.
සුවිශේෂීව ගත්කල විශාල බූදලයකට හිමිකම් කියන්නෝ හෝ යම් ශිල්පියකට පාරම්පරිකව හිමිකම් කියන්නෝද තම දායාදය මෙන්ම උරුමය පුතකුගේ කරමත පැටවීමට තුන්කල් සිහින දකිති.
එලෙසම පුතකු නැති වුවහොත් එය දුවකට පවරන ආඩම්බරකාර පියවරුන්ද වෙති.
නමුත් ඒ සඳහාද එයට කැපවෙන දුවක බිහිවිය යුතුය. ඒ වාගේම ඒ දුවණිය වගකීම කරට ගන්නා සුවච කීකරු අයකු විය යුතුය. පිය උරුමයට සරිලන සහජ හැකියාව මෙන්ම එම ආභාසය ඉදිරියට ගෙන යෑමේ දක්ෂතාව කැමැත්ත සහ අභිමානයද තිබිය යුතුය.
ඒ සියල්ලෙන් පිරුණු අපූරු දුවක හදවතින්ම අප හා කතාබහට එක්විය. ඈ අන් කවුරුත් නොව අසේකා විජේවර්ධන. ප්‍රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධනයන්ගේ සහ උපුලි පණිභාරත විජේවර්ධනයන්ගේ එකම දූ කුමරිය ඈ විය.
පළමුවෙන් ඔබ ගැන ඔබේ වචනවලින්ම කියනවා නම්?
මම අසේකා විජේවර්ධන. ජීවිතය දිහා බලන්නේ හරිම සරලවයි. සිනාවට මම බොහොම ඇලුම් කරනව.ා ම්… තව මොනවද? මම හුඟාක් නිහතමානී කෙනෙක්.
වඩා සමීප අම්මටද? තාත්තටද?
අම්මට තමයි ගොඩක්ම සමීප. පුදුම විදියට මගේ අම්ම මාව අධ්‍යයනය කරනවා. මම හැරුණත් ඒ මොනවටද කියන එක එයා දන්නවා. ඒ වගේම අම්මයි මමයි හරිම අපූරු යාළුවෝ. යමක් ඉෂ්ටකර ගන්න ඕනෑ වුණාම පළමුවෙන් අම්මට කියනවා. දෙවනුව තමයි තාත්තාගේ අවසරය ලැබෙන්නේ.
ඒ කියන්නෙ තාත්තට ඔබ බයයි?
බයක් නෙමෙයි. මම හිතන්නේ ඒ ගෞරවය සහ දුවක තුළ තිබිය යුතු හොඳකම.
ඔබ ඉස්කෝලේ යන කෙල්ලක කාලේ හරිම ලැජ්ජාශීලීලු?
අපොයි ඔව්. ස්ටේජ් එකක ඕඩියන්ස් එකත් ඉස්සරහා අද නටන්නේ කොහොමද කියලා මට වෙලාවකට හිතෙනවා. ලොකුම ගැටලුවකට තිබුණේ බඩ පේන්න ඇඳලා නටන එකයි. මම කොහොමවත් ආස වුණේ නැහැ බඩ පේන විදියට අඳින්න. ඒ වගේම එහෙම ඇඳලා නටන්න මට මහ නුහුරක් දැනුණා.
නුහුරු හිතින් ඉවත් වුණේ කොහොමද?
අම්මයි තාත්තයි නර්තන විෂය ගැන මාව දැනුවත් කළා. මගේ අදහස් වෙනස් කර ගන්න උදව් කළා. ඒ වාගේම භාතිය සන්තුෂ් කියන්නේ මගේ සමීපතම යාළුවො දෙන්නෙක්. පැහැදිලිවම කියනවා නම් පුංචි කෙල්ලක කාලේමයි මම එයාලගේ රසිකාවියක් වුණේ.
අන්න ඒ දෙන්නත් මම හිතන විදිය වෙනස් කරගන්න නර්තනය තුළ දිග ගමනක් යන්න මට සහාය දුන්නාය කිව්වොත් හරි මම හිතන්නේ.
ඔබ හීන දැක්කේ නර්තන ශිල්පිනියක වීමටද?
හීන කිහිපයක්ම ඒ කාලේ තිබුණා. නර්තන ශිල්පිනියක්ම වෙන්න ඕනෑ කියන නියමයෙහි මම හිටියේ නැහැ. මගේ අම්මා තාත්තා වුණත් කවදාවත්ම මට බලපෑම් කළේ නැහැ, නැටුම් ශිල්පිනියක් විය යුතුමයි කියලා. ඒ නිසා මම කුඩා කාලේ ටීචර් කෙනෙක් වෙන්න කැමැත්තක් තිබුණා. හැඩට සාරිය ඇඳලා සාරියේ පාටට හෑන්ඞ් බෑග් එක අරගෙන කොණ්ඩ ගෙඩියක් බැඳලා යන්න හීන දැක්කා. ඊළඟට ඔය අතර නිළියක වීමේ කැමැත්තක් තිබුණා. ඉන් පස්සේ චිත්‍ර ශිල්පිනියක් මගෙ හීනවලට ආවා. ඒ හීනෙ නම් සෑහෙන කාලයක් කුඩා කෙල්ලක අවදියේ ඉස්කෝලේ යනකොට තිබ්බා.
නර්තන ශිල්පිනියත් ඒ අතරට ආවේ කොහොමද?
දැනුම් තේරුම් ඇති යුවතියක වෙනකොට නිවෙසේ පරිසරය දකිනකොට හිත වෙනස් වෙන්න ගත්තා. අම්මයි, තාත්තයි ෂෝවලට යනවා, එනවා, උගන්වනවා. ඒ එක්කම සීයාගේ ආභාසය, ඔය හැමදේම නිසා වෙන්නැති මම නර්තන ශිල්පිනියක වුණේ.
ගුරුවරියකගේ හීනයට තිත තිබ්බද?
නැහැ. ඒ ආශාවත් මම ඉටුකර ගත්තා. මම ඉගෙන ගත්තේ බිෂොප් කොලේජ් එකේ. එහිදී ගුරුවරියක ලෙස කෙටි කාලයක් මට සේවය කරන්න ලැබුණා. ඒ වගේම දැනටත් මම කරන්නෙ ගුරුවරියගේ කාර්යය තමයි. චන්න උපුලි රංගායතනයේ ගුරුවරියක ලෙස මම උගන්වනවා.
චිත්‍ර ශිල්පිනියට මොනවද වුණේ?
ඇය තවම මා සිතෙහි ඉන්නවා. මම තවම ඇයට ළැදියි.
එකතු කළ චිත්‍රවලින් ප්‍රදර්ශනයක් තියන්න හීනයක් එහෙම හිතේ ඇති?
බලමු සමහර විට එවැන්නක් සිදුවිය හැකියි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ මං හුඟක් අවිවේකයි. එනිසා එහෙම දේ ගැන ස්ථිරව කියන්න අපහසුයි.
අනාගතය ගැන ඔබේ ඉලක්කයන් මොනවද අසේකා?
ලොකුවට එහෙම අනාගතය ගැන හිතලා නැහැ. හෙමින් ගමනක නියැළෙනවා. ජීවිතය දෙන දේ භාරගන්නවා. එහෙමයි මම හිතන්නේ.
නර්තන කලාව තව ඉහළට ඉගෙන ගන්න විදේශගත වෙන්න ආස නැද්ද?
නර්තන කලාව තවදුරටත් ඉගෙන ගන්න මගේ වටපිටාවේම ඉතාම හොඳ ගුරුවරයෙක් මට ඉන්නවා. ඒ තමා මගේ තාත්තා. තාත්තගෙන් මම ඉගෙනගත යුතු තව බොහෝ දේ තියෙනවා. ඒ හින්දා නර්තනය හදාරන්න තව කොහේවත් යන්න ඕනෑය කියන අදහසක් මා සිතෙහි නැහැ.
ජීවිතය නැවත අලුතින් ඔබට ලැබෙනවා නම් ඔබ ඉල්ලන්නේ මොනවද?
චන්න විජේවර්ධන කියන තාත්තටත්, උපුලි පණීභාරත කියන අම්මටත් දාව උපන්න අසේකා විජේවර්ධනවම මට දෙන්නය කියා ඉල්ලනවා.
අම්මා තාත්තා ගැන යමක් කියනවා නම්?
මගේ තාත්තා තුළ තිබෙන අපූරු නිර්මාණ ශක්තියටත්, මගේ අම්මා තුළ තියෙන ඉවසීමේ ගුණාංගය සහ ජීවිතය දෙන දේ සතුටින් භාරගැනීම යන පැවැත්මටත් මම තදින් ගරු කරනවා.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











