ගුණාත්මක භාවයෙන් යුතු ටෙලිනාට්‍ය කලාවට සමීප වූවන්ට හෝ හරයක් තිබෙන කලාත්මක නවකතා කියවන පාඨකයන්ට තුෂාරි අබේසේකර යනු කවුදැයි හඳුන්වා දීමට අවැසි නැත.
දවස් 20ක් අතුළත ලියූ “සුදු කපුරු පෙති” නවකතාව 2003 සාහිත්‍ය සම්මාන උළෙලෙහි හොඳම නවකතාව වූයේද තුෂාරි හොඳම දේ ඉතා කලාත්මක ලෙසින් පාඨක සිත් තුළට තිළිණ කරන නිසාය.
හෝපලු අරණ, ලාබයි ඇපල් සහ ශ්වේත ගංතීර නැරඹූ ටෙලිනාට්‍ය ප්‍රේක්‍ෂකයන්ට වුවද තුෂාරි පිරිනැමූ අමරණීය මතකය ඉතාම අනභිභවනීය විය.
ඒ නිසාම විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය තුළද තුෂාරිගේ පොතපත ගැනත්, ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණය ගැනත්, බොහෝ විට බොහෝ දෙනා කතා කළ තරම අප්‍රමාණ විය.
ඉතින්..,
අපටත් හිතුණා තුෂාරි අබේසේකර එක්ක ටිකක් කතා කරන්න. ඒ ඇගේ ලේඛන කලාව හෝ ටෙලි කලාව ගැන නෙවෙයි. ඈ ගැන ඇගේ ජීවිතය ගැන සහ සිතුම් පැතුම් ගැන කතා කරන්න.
කොහොමද තොරතුරු, ඔබ මේ දවස්වල ටිකක් නියඬයි?
පුංචිපහේ විවේක සුවයකයි මම මේ දවස්වල ඉන්නේ. හුදකලාව මගේම ලෝකයක මඳක් තනිව සිටිනවා.
ඒ කියන්නේ කලාව නිසා ඔබ වෙහෙසට පත්ව සිටියද?
අනේ නැහැ. කලාව කියන්නේ මට භාවනාවක් වාගේ විෂයක්. කලාව නිසා දැඩිව වෙහෙසට පත්වුණාය කියන කියමන මට අදාළ නැහැ. හැබැයි මම අතරමඟ නතර නොවී මහා දිග ගමනක නියැළුණා. අන්න ඒ නිසා පුංචි විරාමයක් අරගෙන ටිකක් නිස්කලංකේ ඉන්න ඕනෑ වුණා. ඒ අතර ගෙවී යන කාලය තමයි මේ.
සම්මානනීය නිර්මාණකාරියක බවට පත්වීමේ හීනයක් ඔබට තිබුණද?
සම්මාන ගන්න නම් හීන දැක්කෙ නැහැ. හැබැයි හීන නම් ගොඩක් තිබුණා. ඉස්කෝලේ යන කෙල්ලක කාලේ මම ගායිකාවක වීමේ හීනයක හිටියා. ඉන් පස්සේ පාසලේ විවිධ ප්‍රසංගවල නාට්‍යවලට එක්වෙමින් දක්‍ෂ නිළියක වීමෙ හීනයක් දැක්කා. යෞවනියක ජීවිතයට අවතීර්ණ වෙනකොට ඒ හීින සේරම අතෑරිලා තිබුණා. ඉන් පස්සේ හෙමින් හෙමින් සිතට ආවෙ ලේඛිකාවක වීමේ හීනයයි.
ඒ හීනේ සැබෑ වෙලා තුෂාරි අබේසේකර ලේඛිකාවක් වුණා. පළමුවෙන් යොවුන් පත්තර කලාවට සමීප වුණා. ඉන් පස්සේ දවස් 20කින් “සුදු කපුරු පෙති” ලියලා සම්මානත් ගත්තා.
බොහෝ විට ඔබේ නිර්මාණවලට ගැහැනිය වස්තු බීජය වන්නේ ඇයි?
ගැහැනියක නැති නිර්මාණයක් කොයින්ද? හැමෝම තම නිර්මාණයන්ට ගැහැනියව තමයි කේන්ද්‍ර කරගන්නේ.
ගැහැනිය කියන්නේ හරිම අපූරු මැවීමක්. අනෙක ගැහැනිය කේන්ද්‍ර කොට තනන නිර්මාණයන්වල මොකක්දෝ මන්දා සියුම් සාර්ථකත්වයක් තිබෙනවා.
අනෙක අපේ රටේ විතරක් නෙවෙයි, ජාත්‍යන්තර වශයෙන්ද බොහෝ උසස් කලාකරුවන් තම නිර්මාණයන්ට බොහෝ විටම දායක කොට ගන්නේ ගැහැනියවයි.
ඔබ තනන නිර්මාණවල ගැහැනිය බොහෝ විට මෘදු බවින් තොරයි නේද?
ගැහැනිය විවිධාකාරයි. මෘදුයි, මටසිළුටුයි, ඒ වගේම නාරිලතා පුෂ්පයක් වාගේ ලාලිත්‍යයි. හැබැයි, මහා සාගරයක් වාගේ වරින් වර වෙනස් විය යුතු අවස්ථාවන් ඇගේ ජීවිතය තුළට පැමිණෙනවා. එතැනදී තමයි යම් කැලඹීම් මත අර ඉහත කී මෘදු වස්තුව ප්‍රචණ්ඩව හැසිරෙන්නේ.
මා තනන නිර්මාණයන් තුළින් ප්‍රකට වන්නේද ගැහැනියකගේ ජීවිතයේ විවිධ වූ පැතිකඩයි.
ගායිකාවක සහ රංගවේදිනියක වීමේ සිහිනය යටපත් වීම ගැන හිතට දුක නැද්ද?
ගායිකාවක වීමේ හීනය ඉටුවුණා. මිල්ලෑව වලව්ව ටෙලිනාටකයේ තේමා ගීතය, අමරසිරි පීරිස් මහතා සමඟ ගායනා කරන්නේ මමයි. ඒ ගීතය රචනා කළෙත් මමයි. රාජ්‍ය සම්මාන උළෙලකදී හොඳම ගීත රචනය සඳහා එය නිර්දේශ වීම මට සතුටක්.
අද මෙගා නාට්‍ය කලාව හරසුන් ගමනක නියැළිලා නේද?
ඒ ගැන කතා කරන්නටවත් මම කැමැති නැහැ. ඒ තරමටම එය ඛේදනීයයි.
තුෂාරි අබේසේකර කියන කලාකාරිය ගැන ඔබ තෘප්තියට පත්වෙනවද?
ඔව්.., මතක හිටින යමක් ප්‍රේක්‍ෂකයන් සහ පාඨකයන් වෙනුවෙන් කළා නේද කියන නිරහංකාර සතුට මා සතුයි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු