රොෂාන් රවීන්ද්‍ර ගැන අඳුන්නලා දෙන්න මම හිතන්නේ ලොකු කතාවක් ගොතන්නට හෝ වැඩියෙන් වචන නාස්ති කරන්න ඕනෑ නැහැ. සරලවම කියනවා නම් වැඩි දුරකට යන්න ඕනෑ කමකුත් නැහැ. ‘සහෝදරයා’ එහෙම නැත්නම් ‘වීරයා ගෙදර ඇවිත්’ ටෙලිනාට්‍ය මාලාව බැලුවා නම් ෆැන්ටසි නාට්‍ය කලාවෙන් බැහැරව ගිය අති දක්‍ෂ මේ රංගවේදියා ගැන අංග සම්පූර්ණ නියාමනයකට එන එක හරිම සරලයි. අනෙක රොෂාන්ගේ ලොකු සීන් නැහැ. ‘හාට්’ විශේෂාංගය ඔස්සේ එක්වන්නැයි කියල අප කළ ආරාධනය හදපතුලින්ම ඔහු පිළිගත්තේ ඒ නිසාමයි. හැබැයි මෙතැනදී අපට ඕනෑ වුණේ ‘රොෂාන් රවීන්ද්‍ර’ කියන රංගවේදියා ගැන දොඩමලු වෙන්න නම් නෙවෙයි. අවශ්‍යතාව තිබුණේ 19 වැනි ඉරිදා ස්වාධීන රූපවාහිනිය හරහා ප්‍රේක්‍ෂකයන් හමුවට කුලුඳුලේම පැමිණෙන ‘තණමල්විල කොල්ලෙක්’ ගැන කතා කරන්නයි.
ප්‍රවීණ රංගවේදියකු වූ ඔබේ පළමු අධ්‍යක්‍ෂණය මෙයයි. එහෙම නේද රොෂාන්?
පොඞ්ඩක් ඔහොම ඉන්න. ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට කලින් යමක් කිව යුතුයි. ‘ප්‍රවීණ රංගවේදියකු’ කියා මාව හැඳින්විය යුතු නැහැ’ මොකද ප්‍රවීණත්වයට පත්වීම සඳහා යම් නිර්මාණකරුවකු ලෙස මට යායුතු දුර තව බොහෝමයි කියන රාමු තුළයි මම තවම සිටින්නේ.
හොඳයි, ‘ආ මඟ කෙටියි යා යුතු මඟ දුරයි’ යන රාමුව තුළ ඉඳගෙන අපි කතා කරමු?
ඉහත ඇසූ ඔබේ ප්‍රශ්නයට පිළිතුරු දෙනවා නම් ‘තණමල්විල කොල්ලෙක්’ කියන්නේ නිවැරැදිවම කියනවා නම් මගේ දෙවැනි අධ්‍යක්‍ෂණයයි. මීට පළමුව මම ආනන්ද අබේනායක මහතාගේ ‘සංසාරේ පියසටහන්’ කතා මාලාවෙහි එක් කොටසක් සඳහා මගේ දායකත්වය දුන්නා. ඒ අධ්‍යක්‍ෂණය තුළ මම ‘රයිගම්’ සම්මාන උළෙලේදී ඇගැයීමට පවා ලක්වුණා. ‘තණමල්විල කොල්ලෙක්’ ප්‍රේක්‍ෂකයන් හමුවට එන්නේ මගේ දෙවැනි අධ්‍යක්‍ෂණය ලෙසටයි.
‘තණමල්විල කොල්ලෙක්’ ගැන වංහුං කියමුද?
මෙම නිර්මාණ වෑයම වෙනුවෙන් මම වසර හයක්, හතක් තිස්සේ සූදානම් වුණා. ෆැන්ටසි රාමුවෙන් එපිටට ගිය හොඳ නිර්මාණයක්. ආලින්දයේ සිනමාවට තිළිණ කරන්න මට ඕනෑ නිසා හොඳ කතා වස්තුවක් ගෙතීමේ අවැසිතාව තුළ මම ටිකක් කල්ගත්තා කිව්වොත් එය නිවැරැදියි.
‘තණමල්විල කොල්ලෙක්’ කතා තේමාව එහි අන්තර්ගතය ගැන තව ටිකක් කතා කරමුද?
මම හිතන්නේ පමණට වඩා නිර්මාණයක් ගැන කතා කිරීම හොඳ මදියි කියලයි එහෙම නේද?
ඔබ කියන්නේ කුතුහලය තුළ ප්‍රේක්‍ෂකයා ‘තණමල්විල කොල්ලෙක්’ පිළිගත යුතුයි කියලද?
කුතුහලය කියන වචනය මෙතැනට හරි යන්නේ නැහැ. මම අදහස් කළේ ප්‍රේක්‍ෂකයාටම නිර්මාණය හඳුනාගෙන ඒ හා රැඳෙන්නට ඉඩදිය යුතුයි කියලයි.
මෙහි ඔබ හා චරිත නිරූපණය ගැන හඳුන්වනවා නම්?
මම මෙහි කිසිදු චරිත නිරූපණයක යෙදෙන්නේ නැහැ. මම මුලින් කිව්වා වගේ ‘තණමල්විල කොල්ලෙක්’ වෙනුවෙන් සූදානම් වීමට මට බොහෝ කල්ගන්න වුණා. කතාව ලියන විට එහි ප්‍රධාන චරිතයක් ගැන මගේ හිතේ තිබුණා. නමුත් කාලය පමණට වඩා ගෙවුණු නිසා ඊළඟ පරම්පරාවට එය භාර දිය යුතුය යන මතයට ඉඩ දෙන්න සිද්ධ වුණා.
ඔබ තෝරා ගත් රංගවේදීන් ගැන කතා කරනවා නම්?
මේ නිර්මාණය සඳහා මට අවශ්‍ය මුහුණු කිහිපයක්ම තිබුණා. හැබැයි ඒ හොයපු හැම දෙනකුටම ‘තණමල්විල කොල්ලෙක්’ ළඟට අරන් එන්න මට පුළුවන් වුණේ නැහැ. නමුත් ප්‍රධාන චරිත නිරූපණයන් සඳහා මා දැරූ උත්සාහයත් සාර්ථක කරගැනීමට මට හැකියාව ලැබුණු බවද මෙහිදී කිව යුතුයි.
ඇතැමුන්ට මඟහැරුණෙ ඔවුන් ඔබේ ආරාධනය ප්‍රතික්‍ෂේප කළ නිසාද?
අපොයි නැහැ. එතැන මතුව තිබුණේ වෙනත් ගැටලු සහගත තත්ත්වයක්. එය සර්වසම්පූර්ණ කරගන්න මට නොහැකි වුණා.
නිර්මාණය සඳහා ඔබ සෙවූ, ඔබ දායක කරගත් රංගවේදීන් නිර්මාණය වෙනුවෙන් ඔබට අවැසි තැන සිටියද?
සත්තකින්ම ඔව්. ඔවුන් හැසිරවීම මට ඉතාම පහසු වුණා. ඔවුන් මා බලාපොරොත්තු වූ මෙහෙවර තුළ සාර්ථකව සිටියා කිව්වොත් හරියටම හරි. අනෙක් කාරණය, හොඳ නිර්මාණයකට අවැසි රඟපෑමක් නොවන රංගනය මම ඔවුන් තුළින් දුටුවා. ඒ වාගේම මෙහි චරිතයකට දායක නොවී, අධ්‍යක්‍ෂණය තුළ ඉඳගෙන මා නිර්මාණය කළ කතා පුවත ගොඩනැඟීමට මා විසින් සොයාගත් රංගවේදීන් වෙහෙස වෙන ආකාරය පැත්තකට වී නිහඬව බලා සිටීමෙන් මා ලද සතුට අපමණයි.
නිෂ්පාදන අංශයෙන් ඔබට ලැබුණු සහයෝගය?
‘ෆාහිම් බවුජුඞ්’ කියන්නේ හොඳ ටෙලි නිෂ්පාදන සඳහා සහයෝගය දෙන නිර්මාණකරුවෙක්. ආනන්ද අබේනායක මහත්තයගේ ‘වීරයා ගෙදර ඇවිත්’ ටෙලිනාට්‍යයේ ෆාහිම් සමඟ වැඩ කරන කොටම මට දැනුණා ඔහු ඉතාම සුහදව වැඩ කරන අයෙක් කියල. ඔහුම තමයි මට ආරාධනා කළේ ටෙලි නිර්මාණයක් කරමු කියලා. ඇත්තෙන්ම නිෂ්පාදකවරයකු ලෙස ෆාහිම් මට මිත්‍රශීලී සහයෝගයක් දුන්නා.
මෙගා ටෙලි සම්ප්‍රදාය තුළ ඔබේ නිර්මාණය සීමා වෙන්නේ කොටස් කීයකටදැයි කියන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම එය කොටස් 45ක් වැනි සීමාවකින් අවසන් කිරීම මගේ බලාපොරොත්තුවයි.
උසස් නිර්මාණයක් කළ වෑයම තුළ ඔබ අද තෘප්තිමත්ව සිටිනවාද?
‘උසස්’ යැයි කියන මගේම නිර්මාණයක් ගැන උජාරු කතා කියන්නට මම කැමැති නැහැ. ‘තණමල්විල කොල්ලෙක්’ ගැන මම මෙහෙම කියන්නම්. ටෙලි ෆැන්ටසිය තුළ හෙම්බත්ව සිටින ප්‍රේක්‍ෂකයන්ව එයින් මුදා, ජීවිතය යන විෂය ගැන කළු-සුදු අවබෝධයක් දෙන්නට මම උත්සාහ ගත්තා. අපේම ජීවිත තුළ මඟහැරුණු තැන්, තම තමන්ගේම ජීවිතය නැවැත ටෙලි නිර්මාණයක් තුළ දකින්නට ඔවුනට අවස්ථාව සලසා දෙන්න මට ඕනෑ වුණා. ඒ අතර, අධ්‍යාපනය, තාරුණ්‍යය කියන සුවිශේෂී අවස්ථාවන් අපේ ජීවිත තුළට කොයිතරම් වැදගත්ද කියන එක පෙන්නලා දෙන්නත්, පවුලේ හැමෝටම එකට එකතු වෙලා ජීවිතයේ සතුට, දුක, උපේක්‍ෂාව ගැන සංසිද්ධීන් ආලින්දයට වී නරඹන්නටත් මම ප්‍රේක්‍ෂකයනට අවස්ථාව සලසා දුන් බවක් මෙහිදී කියා සිටිනවා. නිර්මාණය උසස්ද, එය තම තමන්ගේ සිතට දැනුණේ කෙසේ දැයි යන්න ගැන ඔවුන් අවසානයේ තීරණය කරයි.
ෆැන්ටසි මෙගා තලයට නව මඟකට යොමු කිරීමට නව රජය විසින් පියවර ගෙන ඇති බව ආරංචියි නේද?
තවම කිසිවක් සිදුවී නැහැ. වසර ගණනක් තිස්සේ සිදුවූයේ ඒ ගැන කතා කිරීම පමණයි. වටමේස කතිකාවලට හෝ තීන්දු තීරණ ගැනීමෙන් සිදුවන්නෙත් නැහැ.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු











