නුගේගොඩ ඔගී ශබ්දාගාරයේදී 1983 වසරේ දිනයකදී සිදුවූ අපූරු සිදුවීමක් මතකයට එයි. නිෂාන්ත ද අල්විස්ගේ ‘ඩොරීන්ගේ සයනය’ චිත්‍රපටයේ ප්‍රධාන තේමා ගීතය පටිගත කිරීමට ලැහැස්ති කර තිබිණි. ගීතය ගායනය කිරීම කරනු ලබන්නේ ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පී සහ ගායන ශිල්පී විජය කුමාරතුංග විසිනි. චිත්‍රපටයේ සංගීතයත් මෙම ගීතයේ සංගීතයත් අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ ප්‍රේමසිරි කේමදාසයන් විසිනි. නිසි වේලාවට කටයුතු ආරම්භ කිරීමට සැලැසුම් කර තිබිණි. මාධ්‍ය ඡායාරූප ශිල්පීන් කිහිප දෙනකුම එම අවස්ථාව ඡායාරූපගත කිරීමට එතැනට පැමිණ සිටි අතර, මමද ඒ අතර විය.
ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් තමන්ගේ සංගීත ශිල්පීන් සමඟ සියල්ල ලකලැහැස්ති කරගෙන සිටියේය. ඉන් සුළු මොහොතකට පසුව ‘විජේ අයියා’ (විජය කුමාරතුංග) එහි පැමිණියේය. කේමදාස මාස්ටර් ඔහු සමඟ අවශ්‍ය දේ කතාබස් කරමින් සිට ගීතය පටිගත කිරීම ආරම්භ කළේය. ගීතයේ පළමු පදමාලාව ‘විජේ අයියා’ ගායනා කරන්නට ගත්තේය. සිදුවූයේ පුදුමයකි. දසුන දෙස බලාගෙන සංගීතය අධ්‍යක්ෂණය කරමින් සිටි මාස්ටර්ගේ මුහුණ වෙනස් විය. එහි කිසිදු ප්‍රියමනාප බවක් නොවීය. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාද උකුසු ඇස් යොමාගෙන සිටියේය. කේමදාස මාස්ටර් වහා සංගීත අධ්‍යක්ෂණය නතර කළේය. විජේ අයියා දෙසට හැරුණේය.
“විජේ මොකද මේ වෙලා තියෙන්නේ. කෝ වොයිස් එක? ඔහොම රෙකෝඩින් කරන්න බැහැ. නවත්තන්න, නවත්තන්න”
“ඔව් මාස්ටර්, වොයිස් ටිකක් වෙනස් වුණානේ”
“ටිකක් නෙවෙයි වොයිස් එක හොඳටම චේන්ජ් වෙලා, මොකද දේශපාලන මීටින්වල කතා කළා නේද?”
සිදුවන්නේ කුමක්දැයි සියල්ලන්ම බීරාන්තව බලා සිටියේය. විජේ අයියා කතා කළේය.
“ඔව් මාස්ටර්. සමාවෙන්න. ඊයේ, පෙරේදා දෙකේම මීටින් දෙකක් තිබුණා”
“ඒ වැඬේ හරියන්නේ නෑ විජේ. ඔයාගේ වොයිස් එක සම්පූර්ණයෙන් අවුට්. ඔයා එක්කෝ සින්දු කියන්න ඕන. නැත්නම් පොලිටිකල් මීටින්වල කතා කරන්න ඕන. තව එක රියර්සල් එකක් කරමු. හරි යන්නේ නැත්නම් වැඬේ පෝස්ට්පෝන්”
දෙවැනි පටිගත කිරීමක්ද ආරම්භ කළේය. එහෙත් මාස්ටර්ට විජේ අයියාගේ කටහඬ ඇල්ලුවේ නැත. එම අවස්ථාවද වහා නවතා දැමුවේය. ‘ඩොරීන්ගේ සයනය’ තේමා ගීතය පටිගත කිරීම වහා කල් දැමුවේය.
විජේ අයියා ශබ්දාගාරයෙන් එළියට ඇවිත් අප දෙස බලමින් “මාස්ටර්ගෙන් ලෙහෙසියෙන් බේරෙන්න බැහැ මල්ලී” යැයි අපට කීවේය.
ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රියන්ත හෙට්ටිගේ











