බැඳීම් වැඩිවෙනකොට ප්‍රශ්න වැඩියි…
වේදිකාවේ සුවිශේෂ රංගන ශිල්පිනියක ලෙසට කටයුතු කළ ඇය මේ දිනවල අපට හමුවන්නෙ ‘ලොක්කි’ ලෙසයි. ඇත්තටම කවුද මේ ‘ලොක්කි’? අය තමයි සුබුද්ධි ලක්මාලි. ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘සකර්ම’ ටෙලි නාට්‍යයේ ‘ලොක්කි’ ලෙසින් සුවිශේෂ චරිතයක් නිරූපණය කරන ඇය සමග අප කතාකිරීම මුලපිරුවේ මේ විදියට.
🔴 සුබුද්ධි කොහොමද ඉතින් මේ දවස්වල කලා ක්ෂේත්‍රයට ඔබගේ දායකත්වය?
මේ දවස්වල නම් නිර්මාණවලට සම්බන්ධ වෙලා නැහැ. නැවත හිස ඔසවපු කොරෝන ප්‍රශ්නයත් එක්ක භාරගත් නිර්මාණත් කල් දැම්මා. මේ දවස්වල ගෙදරට වෙලා තමයි ඉන්නේ.
🔴 සිනමාවේ වේදිකාවේ අපි දැකපු අහිංසකාවි දැන් නපුරු වෙලා වගෙයි නේද?
මට ලැබෙන චරිත එක්ක පොඩි වෙනසක් දැනෙනවා ඇති. සකර්ම ටෙලි නාට්‍යයේ මම නිරූපණය කරන ලොක්කි චරිතය ටිකක් ආවේගශීලී වැඩියි. ඒ නිසා නපුරුකම තදින්ම දැනෙනවා ඇති මට හිතෙන්නේ.
🔴 සාමාන්‍ය ජීවිතයෙදිත් ඔබ මේ වගේද?
අපෝ නැහැ. මම සරලව, සතුටින් කා සමගත් සුහදව කතාබහ කරලා ඉන්න කෙනෙක්. අපේ පරිණතවීමත් එක්ක සමාජය ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්. ඉතින් යම් ප්‍රශ්නයක් ආවත් එය කතාබහ කරලා විසඳගන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා.
🔴 ‘ලොක්කි’ චරිතය ඔබට දැනුණේ කොහොමද?
සකර්ම ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන්නේ අම්මා. ඒ අම්මාගේ දරුවන් පස්දෙනා ගැන තමයි මේ කතාව ගොනුවෙලා තියෙන්නේ. විවිධ බාධක කම්කටොලු එක්ක තමයි ලොක්කි චරිතය සකර්ම තුළ ගලාගෙන යන්නේ.
🔴 ‘ඉලන්දාරි හැන්දෑව’ ටෙලි නාට්‍යයේ ඔබ නිරූපණය කළ ‘මිනූ’ චරිතය ගැන කතා කළොත්?
මගේ කලා දිවියේ මම නිරූපණය කළ සුවිශේෂ චරිතයක් ලෙසට මිනූ හඳුන්වන්න පුළුවන්. ඉලන්දාරි හැන්දෑව පිටපත මගේ අතට ලැබිලා හරිම ආශාවෙන් මම එය කියවා බැලුවා. සමාජයේ අපි දකින විවිධ චරිත ඉලන්දාරි හැන්දෑව තුළින් සූක්ෂ්ම ලෙසට රූපයට නඟලා තිබුණා.
🔴 මිනූ චරිතයට ලැබුණු ප්‍රතිචාරත් එක්ක ඔබ හිතුවා නේද ඇගැයීමට ලක්වේවි කියලා?
ටෙලි නාට්‍ය නරඹපු අයගෙන් ලැබුණු ප්‍රතිචාරත් එක්ක මගේ හිතෙත් බලාපොරොත්තුවක් තිබුණා නිර්දේශ නාම අතරට හරි එයි කියලා. ඒත් එහෙම වුණේ නැහැ. මොකද ඒ තරමට ඉලන්දාරි හැන්දෑව ටෙලි නාට්‍යයට හොඳ ප්‍රතිචාර තිබුණා. මාවත් ගොඩ දෙනෙක් දැන හඳුනා ගත්තේ මිනූ චරිතය හරහා තමයි.
🔴 ඔබ වේදිකාවේ සුවිශේෂ රංගන ශිල්පිනියක්. දැන් වේදිකාව එක්ක ගනුදෙනුවක් නැද්ද?
වේදකාව තමයි මගේ ජීවිතය. වේදිකාවෙන් ලබන අත්දැකීම් කිසිදාක අමතක කරන්න බැහැ. සුජීව පතිනිසේකර අධ්‍යක්ෂණය කළ ‘අන්ටච්’ වේදිකා නාට්‍යයේ මම විතරයි රඟපාන්නේ.එවැනි වේදිකා නාට්‍ය හඳුන්වන්නේ ‘මොන ඩ්‍රාමා’ ලෙසටයි. 2019 වර්ෂයේ ඒ වේදිකා නාට්‍ය ඩුබායිවල වෙදිකාගත කළා.ඒ නාට්‍ය බලලා තවත් රටවල්වලින් අපට ආරාධනා ලැබුණා ඔවුන්ගේ රටවලත් මේ නාට්‍ය පෙන්වන්න කියලා. අපට මොනවත් කරන්න බැරි වුණා ලෝකයටම බලපාපු කොරෝනා ප්‍රශ්නය නිසා. මේ ප්‍රශ්නය ඉවර වුණු කාලයක ලංකාවෙත් වේදිකාගත කරන්න තමයි අපේ නාට්‍ය කණ්ඩායමේ සූදානම.
🔴 ‘කළු හිම’ තුළින් නේපාලයට ගිය ගමන අමතක නැතුව ඇති?
‘කළු හිම’ චිත්‍රපටයේ නේපාල තරුණියකගේ චරිතයක් තමයි මම නිරූපණය කළේ.මාසයක් විතර අපට නේපාලයේ ඉන්න සිද්ධ වුණා. ‘කළු හිම’ වෙනුවෙන් විඳපු දුක් ගැහැට එමටයි. හැබැයි ඒ හැම දේම විඳදරාගෙන සාර්ථක නිර්මාණයක් කරන්න ලැබීම සතුටක්. ‘කළු හිම’ චිත්‍රපටයේ මම නිරූපණය කළ රංගනය වෙනුවෙන් රාජ්‍ය සිනමා සම්මාන උළෙලේ හොඳම නිළියට නිර්දේශ වීමත් මේ ගමනට ශක්තියක් කියලයි මට හිතෙන්නේ.
🔴 හැමදාම චරිතවලට ජීවය දෙන්නද අදහස. ජීවිතයේ වෙනසක් කරගන්න අදහසක් නැද්ද?
කලා ශිල්පිනියක් වුණාම නිදහස තමයි අවශ්‍ය. මට තවම ඒ ගැන හිතිලා නැහැ. බැඳීම් වැඩි වෙනකොට ප්‍රශ්න වැඩියි. ඉතින් තවම ජීවිතය වෙනස් කරගන්න ඕනා කියලා මට තවම හිතිලා නැහැ. බැඳීම් හදාගෙන අමාරුවෙන් වැඩකරන්න මම කැමැති නැහැ. එහෙම හිතලා බලනකොට මම හරිම තෘප්තිමත්ව තමයි සියලුම දෙනා සමග වැඩ කරන්නේ.
– වසන්ත විතාණගේ











