මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව දළදා මාළිගාව බාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් වෙනුවෙන් යොදාගැනීම සඳහා ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් සකසන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත. Sri Lanka Latest News
ඇහැලේපොළ වලව්ව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස යෙදවීමේ දී එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවය බවද ඇමතිවරයා කීය.
ඇමතිවරයා මේ බව සඳහන් කර සිටියේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේ දී ය.
ඓතිහාසික ඇහැළේපොළ වලව්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 147ක් පමණ වැයවී තිබේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුයේ, මෙම දේපළ දළදා මාළිගාවට පවරා ගන්නේ නම් සංවර්ධන කටයුතු වෙනුවෙන් වැයවූ රුපියල් මිලියන 147ක මුදල නැවත නාගරික සංවර්ධන අධිකාරියට ගෙවිය යුතු බවයි. එම මුදල ගෙවීමට දළදා මාළිගාව අකමැතිනම් මෙම දේපළ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගත යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ ඇහැලේපොළ වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබුණි. මෙම වලව්ව දළදා මාළිගාවට පවරා දිම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය විසින් මීට මාස හයකට පමණ පෙරදීද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබිණ.
එහෙත් මෙම දේපළ සංවර්ධනය කිරීමට වැයවූ මුදල් නැවත ගෙවීම සම්බන්ධයෙන් දළදා මාළිගාව පැහැදිලි පිළිතුරක් ලබාදී නොමැති බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදී අණාවරණය විය.










