‘මහා විෂ්ණු දෙවියනි, ඔබ කොහිද? ශ්‍රී වෙන්කටේස්වරා දෙවියනි ඔබ කොහිද? මේ ඔබවහන්සේ විරාජමානව වැඩසිටින මහා පින්බිම නේද? මනහර සප්තකන්‍යා කඳු වළල්ලකින් වටකරගත් මේ දෙවොල ගැන ලෝකයේ නොදන්නා කෙනෙක් නැති තරම්ය. මහා විෂ්ණු දෙවියනි, ඔබවහන්සේට මෙහිදී පුද සත්කාර කෙරුණේ මහා බැති භක්තියකිනි. එහෙත් අද මේ රන් දෙවොල මහා විනාශයකට පත්වී ඇත. එම පූජනීය බිම්කඩ වසාගෙන මහා ජල කඳක් පැමිණ හමාරය. බලන, බලන අත මහා කුරිරු ජලකඳ දෙවොල වසාගෙනය. අහිංසක බැතිමතුන්ගේ ජීවිත රැසක් මරුවා අරගෙන ගොසිණි.
ඔබ වහන්සේ තවම මේ දේවාලය තුළ වැඩ සිටින්නේද, එසේත් නැතිනම් සප්තකන්‍යා කඳුවැටියට පලා ගියේද?
මෙම මහා දෙවොල් බිම්කඩේ කතාව ඔබට ගලා එන්නේ කුමන දේශයකින්ද? ඒ අපගේ යාබද භාරතයෙනි. ඉන්දියාවේ දකුණු ප්‍රාන්තයක් වූ ආන්ද්‍රා ප්‍රදේශ්වල පිහිටා තිබෙන මෙම සුවිශාල, අමරණීය දෙවොල, ‘තිරුපති තිරුමාලා’ විෂ්ණු දෙවොලයි. මෙයට දින කිහිපයකට ඉහතදී මෙම දෙවොල මුහුණ දුන්නේ මහා විනාශයකටය. එනම් කිසිදු කලක නොවූ ආකාරයෙන් දෙවොල් බිම සහ දෙවොලේ සමහර ස්ථාන මහා ජල කඳකින් යටවිය. දින ගණනක් පුරා ඇදවැටුණු මහා වැසි සහ ගංගාවක් පිටාර ගැලීම නිසා මෙම කුරිරු විනාශය සිදුවිය. මින් පෙර ඉතිහාසයේ කිසිදු දිනයක ‘තිරුපති තිරුමාලා’ දෙවොල මේ ආකාරයෙන් ජලයෙන් යට නොවීය. මේ නිසා දැනට දෙවොල වෙත පැමිණ සිටි බැතිමතුන් රැසකගේ ජීවිත පවා අහිමි විය. මෙම දසුන් පෙනෙන්නට ගත්තේ දෙවොල ඉදිරියෙන් ගඟක් ගලනවා වැනි ආකාරයටය.
මෙම මහා කුරිරු දසුන් දකින විට ඇති වන්නේ මහා භීතියකි. එය ඒ තරම්ම යක්‍ෂාවේෂ වූ මහා ජල කඳකි. පසුගිය දින ගණනාවක් පුරා බෙංගාල බොක්කේ ඉතා දරුණු අවපීඩන තත්ත්වයක් පැවැතුණු හෙයින් දකුණු ඉන්දියාවට අධික වර්ෂාව ඇති වී තිබිණි. මෙහිදී අපගේ මතකයට එන්නේ ශ්‍රී ලංකාවේදී මිනිස් ජීවිත 28ක් පමණ බිලිගත් අවපීඩන තත්ත්වයක් තිබුණු අතර, එය මෙයට දින 10කට පෙර ශ්‍රී ලංකාවෙන් පහව බෙංගාල බොක්ක දෙසට හමා ගියේය. මෙම සිදුවීම සිදුවන්නේද ඉන් දින 05කට පමණ පසු කාලයකදීය. කෙසේ හෝ මෙම විනාශය සිදුවන්නේ ‘තිරුපති තිරුමාලා’ මහා විෂ්ණු දෙවොල පිහිටා තිබෙන ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ තිරුපති නගරය ආශ්‍රිතවය. එනම් ප්‍රධාන වශයෙන්ම මෙම මහා දෙවොල පිහිටා තිබෙන භූමිය තුළය. එසේ කිසිදු කලක නොවූ ආකාරයෙන් දෙවොල අසල සහ දෙවොල තුළම මෙම විනාශය සිදුවීම මේ වන විට ලොව බොහෝ ජනතාවකගේ දෙනෙත් විවර කරවන සිදුවීමක් වී ඇත.
මෙම සිදුවීම කෙතරම් බියකරු එකක්ද යත්, මෙය සුනාමියක් සිහිගන්වන ආකාරයේ විනාශයක් විය. එනම් මුලින් වර්ෂාව නිසා යම් ආකාරයකින් ජල ගැල්මකට පත්වුණු තිරුපති නගරය සහ තිරුපති දෙවොල අවට ප්‍රදේශය කෙටි වේලාවක් ඇතුළත තවත් මහා විනාශයක් බවට පත්විය. එනම් මෙම බලගතු දෙවොල පිහිටා තිබෙන යාබද ප්‍රදේශය ඉතා දර්ශනීය කඳු හතකින් යුත් වළල්ලකි. මෙම සප්ත කඳු වළල්ල සහ දෙවොල පිහිටා ඇති ප්‍රදේශය මුහුදු මට්ටමින් මීටර් 855ක් හෙවත් අඩි 2,799ක උසින් පිහිටා ඇත. වර්ෂාව පටන්ගත් දිනයේ සිට දින 04ක් නොකඩවා වර්ෂාව ඇදහැලෙන්නට විය. මේ අතරවාරයේ භයානකම විනාශය සිදුවිය. එනම් සප්ත කඳු වළල්ලේ එක් කඳු වැටියකින් ආරම්භ වන ‘ස්වර්ණමුඛි’ නැමැති ගංගාව උතුරා යන්නට විය. අවසානයේදී මෙම ගංගාවෙන් පිටාර දැමූ ජලය හරියටම ‘තිරුමාලා’ දෙවොල අසලින්ම කන්දෙහි එක් ස්ථානයක් නාය යෑමකට පත්කරමින්, දෙවොල අසලටම කඩාවැටෙන්නට වූයේ සුනාමි ජල පහරක් සිහි ගන්වමිනි.

එසේ මාරාවේශව කඩාවැටුණු ජල කඳ ‘තිරුමාලා’ දෙවොලේ ප්‍රධාන දේවස්ථානය අසලින් සහ ඒ අසබඩ දිගට ගොඩනඟා තිබෙන උස් වූ තාප්පය අසලින් අතිශය දරුණු ලෙස පහළට ගලා යන්නට විය. වාසනාවකට මෙන් මහා ජල කඳ පහළට ඇදී යෑම නිසා දෙවොලේ ගොඩනැඟිලි කැඩී, බිඳී යෑමකට පත්වූයේ නැත. එහෙත් ජල කඳ පොළොව මට්ටමින් පැමිණ දෙවොල ඇතුළට කඩාවැදී දේවස්ථානය ඇතුළත යම් මට්ටමකට ජලයෙන් යටවන්නට ගත්තේය. මෙම මහා ජල ගැල්ම සිදුවූයේ දහවල් වරුවක හෙයින් ඒ වන විට පුදපූජා සඳහා විශාල පිරිසක් දේවාලය වෙත පැමිණ සිටියේය. දෙවොලේ පරිපාලනය වහා එම පිරිසට ප්‍රකාශ කර සිටියේ කිසිවෙකුත් දේවාලයෙන් පිටතට නොයන ලෙසයි. දින 02ක පමණ කාලයක් මෙම බැතිමතුන් දේවාලයේ අතරමං වූ අතර, ඔවුනට අවශ්‍ය සියලු ආහාරපාන සහ අනෙක් පහසුකම් දෙවොලේ පරිපාලනය විසින් ලබා දී ඇත. වැඩිහිටියන් මෙන්ම කුඩා දරුවන් රැසක්ද මෙහි විය.
ජල ගැන්ම යම් අයුරකින් අඩුවත්ම කෝවිල පැත්තේ සිට අනෙක් ගොඩබිම් ප්‍රදේශය වෙත ජලය හරහා ඇවිදගෙන ඒමට මිනිසුන් විශාල කඹ දමා දෙපැත්ත ගැට ගැසුවේය. ඉන්පසුව ගංවතුර මැදින් පිරිස අනෙක් පැත්තට පිටත් වන්නට ගත්තේය. ගතවූයේ සුළු කාලයකි. තවත් මහා විනාශයක් සිදුවන්නට ගත්තේය. එම පිරිස ඇවිදගෙන යන අතරේ තවත් මහා ජලකඳක් කඳු වැටියේ සිට පහතට කඩාපාත් වන්නට ගත්තේය. මෙහිදී ඉතාමත් ශෝකීය අයුරින් කඹය අල්ලාගෙන සිටි මිනිසුන්ද සමහරක් කඹය ගිලිහී ජලයේ ගසාගෙන ගියේය. කඹය අල්ලාගෙන මෙසේ ජලකඳ මැදින් ගමන් නොකරන මෙන් අනතුරු හඟවා තිබුණද, සමහර මිනිසුන් එය තඹයකට මායිම් කළේ නැත. මෙසේ මෙම මහා විනාශයෙන් පුද්ගලයන් 55කට ආසන්න පිරිසක් මරණයට පත්වී ඇත. කඳු වැටිය මතින් පහළට කඩා හැලුණු ගංගාවේ ජලය හේතුවෙන් ජලගැල්ම දෙගුණ, තෙගුණ විය.
මෙම තත්ත්වය යටතේ තිරුපති ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කටයුතුද සියල්ල අඩාළ වූ අතර, ගුවන් යානා බැස්සවීම සහ පිටත්වීම නතර කර දැමිණි. ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා කිහිපයක්ම නැවැත හරවා යවා තිබිණි. මේ අතර තවත් විනාශයක්ද සිදුවී ඇති අතර, එනම් තිරුමාලා දෙවොල වන්දනාමාන කිරීම සඳහා පැමිණෙන බැතිමතුන් නවාතැන් ගෙන සිටි සංචාරක නිකේතන රැසක්ද ජලයෙන් යටවී ඇත. එම සමහර ස්ථාන කඩාවැටීම්වලටද පත්වී ඇත. තවද ජල ගැල්මේ දරුණුකම නිසා රථවාහන රාශියක්ද ජලයේ ගසාගෙන ගොස් ඇත. මේ අතර තවත් අතිශය බියකරු තත්ත්වයක් ලෙස වාර්තා වූයේ, දෙවොල අසල කඳු මුදුනක පිහිටා ඇති ස්වාභාවික මහා ජලාශයක ඉවුරු කිහිපයක් ඉරිතලා ඇතිය යන පුවතය. එනම් කොයි මොහොතක හෝ මෙම සුවිශාල ජලාශයත් පුපුරා ගියහොත්, කඳු මුදුනින් කඩා පාත්වන ජලයෙන් තිරුමාලා දෙවොල මුළුමනින්ම ජලයෙන් යටවී නොපෙනී යන්නටද ඉඩ ඇති බැව්ය.
අනතුරට පත්වූවන් බේරාගැනීම සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා තුනක්ද යොදවා තිබිණි. කෙසේ හෝ මෙම විනාශය සිදුවී දැනට දින කිහිපයක් ගතවී ඇතත් එහි අනතුර තවද පහවී ගොස් නැත. එනම් ඉහත පැවැසූ ආකාරයට දැනට ඉරිතලා ඇති මහා ජලාශයේ ඉවුරු පුපුරා ගියහොත් සිදුවන විනාශය ඉතා බියකරු වනු ඇතිය. මේ නිසා දැනට තිරුපති ප්‍රදේශයේ ගම්මාන කිහිපයකම වැසියන් එම ස්ථානවලින් ඉවත් කරගෙන ඇත. තම, තමන්ගේ වටිනා බඩුමුට්ටු සහ ගේ-දොර, ඉඩම් දේපොළ සඳහා තිබෙන ලියැකියවිලි ආදිය පවා රැගෙන එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස රාජ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත. එවැනි අනාථ වුණු පිරිස් සඳහා රජය දැනට අවශ්‍ය පහසුකම් සලසා ඇතැයි පැවසෙයි. මේ වන විට වාරිමාර්ග විශේෂඥයින් පැමිණ මෙම ජලාශය පරීක්‍ෂා කර ප්‍රකාශ කර ඇත්තේ, එහි ඉවුරු කොයි මොහොතේ හෝ පුපුරා යනු ඇති බැව්ය. මෙම ජලාශය ඉතා ඉපැරැණි එකක් බැව්ද පැවසෙයි.

මෙම මහා විනාශය හේතුවෙන් තිරුපති නගරය ආශ්‍රිත ප්‍රදේශයට ඉන්දියානු රුපියල් කෝටි 07ක පමණ (ලංකා රු. කෝටි 17) අලාභයක් සිදුවී ඇතැයි බලධාරීන් ප්‍රකාශ කර ඇත. එසේම තිරුමාලා විෂ්ණු දෙවොලට පමණක් රුපියල් කෝටි 04ක පමණ (ලංකා රු. කෝටි 10ක්) වෙනම අලාභයක් සිදුව ඇතැයි එම දෙවොල බලධාරීන් ප්‍රකාශ කර ඇත. දේවාලයට පිවිසෙන මාර්ග, දේවාලයේ තාප්ප, බැතිමතුන්ගේ විශ්‍රාම ශාලා, දේවස්ථාන සේවකයන්ගේ නවාතැන් කාමර සහ ප්‍රධාන දේවස්ථාන මණ්ඩපයට පවා මෙහිදී විශාල ලෙස හානි සිදුවී ඇත. කෙසේ හෝ විෂ්ණු දෙවියන් උදෙසා සාදා තිබෙන ප්‍රධාන මණ්ඩපයට දැඩි හානි සිදුවී නොමැත. එයට හේතුව එය ඉතා සවිශක්තිමත් උස් වූ අඩිතාලමක් මත පිහිටා තිබීමය. මෙම දේවාල භූමිය ඇතුළතද වෙන, වෙනම ආගමික චාරිත්‍රයන් ඉටු කිරීම සඳහා මණ්ඩප කිහිපයක්මද ඇත. ඒවායින් මහා විෂ්ණු දෙවියන් නොහොත් ශ්‍රී වෙන්කටේස්වරා දෙවියන් සඳහා වූ ප්‍රධාන මණ්ඩපය දේවාල මධ්‍යයේ පිහිටා තිබෙයි.
‘තිරුපති තිරුමාලා’ දෙවොල ශ්‍රී විෂ්ණු මහා දෙවියන් උදෙසාම ගොඩනැඟුණු දේවස්ථානයකි. විෂ්ණු දෙවියන් යනු හින්දු බැතිමතුන්ගේ අග්‍රස්ථානයේ සිටින දෙවියන් වන අතර, මෙම තිරුමාලා දෙවොල ඔවුන්ගේ මුදුන්මල්කඩ ලෙස සැලකෙයි. මෙම දෙවොල ගොඩනඟා ඇත්තේ වර්ෂ 966දී ඉන්දියානු පල්ලව රාජ පරම්පරාව විසිනි. ඉන්පසු චෝල රාජ පරම්පරාව විසින් එයට අදාළ තවත් විවිධ ඉදිකිරීම් සිදුකර ඇත. දැනට ලෝකයේ ඇති විවිධ සිද්ධස්ථාන අතරින් අංක එකට මහා ආදායම් ලබන දේවස්ථානයක් ලෙස මෙය පිළිගෙන ඇත. එනම් අතිශයින්ම ධනවත් සිද්ධස්ථානයකි. අපගේ රටේ පන්සල්, පල්ලි මෙන් මෙම ස්ථානයට නිකම් ගොස් වන්දනාමාන කළ නොහැක. එනම් එහි පිවිසීමට ඉන්දියානු රුපියල් 300ක (ලංකා රු. 750ක්) ටිකට් පතක් මිලදී ගත යුතුය. මෙලෙස එක් වසරකදී පමණක් ඔවුන් බැතිමතුන්ගෙන් උපයන ආදායම රුපියල් කෝටි 1,500ක් (ලංකා රු. කෝටි 4,500ක්) පමණ වෙයි. මෙය දළ ආදායමක් පමණක් වන අතර, බොහෝ විට එය ඉක්මවා යෑම සිදුවෙයි. 2020-2021 කාලය සඳහා මෙම දෙවොලේ අය-වැය ප්‍රමාණය ඉන්දියානු රුපියල් කෝටි 3,310කි.
අනෙක් අපූරු කතාව නම් තිරුමාලා දෙවොල වෙත ලැබෙන රත්තරන් කඳුය. එනම් සෑම වර්ෂයකදීම බැතිමතුන් පරිත්‍යාග කරන රත්තරං ප්‍රමාණය කිලෝ 80-100 අතර ප්‍රමාණයක් වෙයි. සමහර බැතිමතුන් තමන්ට රත්තරන් නැතත් ගෙලේ හෝ අතේ තිබෙන රන් ආභරණය ගලවා දෙවියන්ට පූජා කරයි. මේ ආකාරයට මේ වන විට දෙවොල සතු රත්තරන් සංචිතය රත්තරන් කිලෝ 9,000කට අධිකය. මේවා ඉන්දියාවේ බැංකු කිහිපයකම තැන්පත් කර ඇත. මෙම රත්තරන් තොගය සඳහා පොලිය ලැබෙන්නේද රත්තරන්වලින්මය. එයද කිලෝ සිය ගණනකි. කිලෝ 80ක රත්තරන් පොලියක් වාර්ෂිකව හිමි වන බැව් සඳහන්ව ඇත. ලෝකයේ කිසිම දේවස්ථානයකට නැති මෙවැනි වාසනාවක්, මහා ධනස්කන්ධයක් ලැබීම නිසා, දෙවොලේ භාරකාර මණ්ඩලය තුළ කලින්, කලට ඉතා විශාල දූෂණ, වංචා රැසක් සිදුවිය. දෙවොලේ මෙම ධනය ඉන්දියානු දේශපාලකයන් විසින් තමන්ගේ දේශපාලන කටයුතු සඳහාද ලබාගෙන ඇත. එසේම වරක් එක් පූසාරියකු තමන්ගේ නිවෙසේ පොළොව යට රහස් කාමරයක් සාදා රත්තරං සොරකම් කරගෙන ගොස් සඟවාගෙන සිටියේය.
කෙසේ හෝ මෙම ‘තිරුපති තිරුමාලා’ දෙවොලේ කතාව ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ කෙසේද? ශ්‍රී ලංකාවේ සිටින දමිළ, හින්දු බැතිමතුන් රැසක්ද වාර්ෂිකව තිරුමාලා දෙවොල වැඳ ගැනීමට ඉන්දියාවට යති. එහෙත් එම සිදුවීමටද වඩා සුවිශේෂී කතාව වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට, ප්‍රධාන සිංහල බෞද්ධ දේශපාලකයන් රැසකටද තිරුමාලා දෙවොල අමතක කළ නොහැකි දේවස්ථානයක් වීමය. එනම් මෙරට ජනාධිපතිවරුන් සහ ඇගමැතිවරුන් වූ එම නායකයන් නිරන්තරයෙන්ම තිරුමාලා දෙවොල වැඳ ගැනීමට ඉන්දියාවට ගියේය. මහින්ද රාජපක්‍ෂ, මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ තවත් විවිධ දේශපාලන නායකයන් එයට අයත් විය. එහෙත් කෙසේ හෝ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ කිසිදු විටෙක තිරුමාලා දෙවොල වැඳ ගැනීමට නොගිය අයකු ලෙස වාර්තා වෙයි. තමන් කැමැති ආගමික ක්‍රියාවලියක නිරත වීමට තමන්ට අයිතිය ඇත. එය විවේචනය කිරීම අපගේ කාරිය නොවේ. අප කරන්නේ තිබෙන සහ උද්ගතව ඇති තත්ත්වය පැහැදිලි කිරීම පමණකි.
ප්‍රියන්ත හෙට්ටිගේ










