අගමැතිනියට කරපු අපහාසය!
ටිල්වින් හදන්නේ චීනය වගේ කරන්නද?
රනිල් තක්බීර් වෙලා!
ට්‍රම්ප් බද්ද සෙල්ලමක් නෙමෙයි
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලංකාවට පනවා තිබූ තීරුබද්ද 20% දක්වා අඩුකර ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් ආණ්ඩුව පමණක් නොව මුළු රටම පසුගිය සතියේදී විශාල ජයග්‍රහණයක් ලබාගත්තා සේ සැමරූ ආකාරයක් දැකගන්නට ලැබිණි. එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනය සමග පැවැත්වූ සාකච්ඡාවලදී 0% සිට 44% දක්වා පනවා තිබූ බද්ද මුල් අදියරේදී 30% දක්වාත්, දෙවැනි අදියරේදී 20% දක්වාත් අඩුකර ගැනීමට හැකිවීම ඇත්ත වශයෙන්ම ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස අපද මෙම තීරුවේ වාර්තා කළෙමු. මෙරට කිසිදු සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයක් වාර්තා නොකර තිබූ පසුබිමක එම තීරුබදු සහනය ලබාගැනීම සඳහා අවසාන පැය දෙන තුළ ලංකාව සිදුකළ තීරණාත්මක සාකච්ඡාව පිළිබඳවද අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පාඨකයන් දැනුවත් කිරීමට කටයුතු කළෙමු. එහිදී ඇමෙරිකාව පැත්තෙන් කොන්දේසි හෝ ඉල්ලීම් ලෙස ඉදිරිපත් වූ යෝජනාවන් පිළිබඳ අතිවිශේෂ හෙළිදරව්වක් කිරීමටද අපි පියවර ගත්තෙමු.
කෙසේ වෙතත් ආණ්ඩුව මෙම බදු අඩුකර ගැනීම සිය ජයග්‍රහණයක් ලෙස පෙන්වීමට උත්සාහ කරද්දී ඇතැමුන් ඒ ජයග්‍රහණය පසුපස තිබූ ‘ගිනිගෙඩි’ පිළිබඳවද යම් යම් අනතුරු ඇඟවීම් කළ ආකාරයක් දැකගත හැකි විය. අප වෙත වාර්තා වී තිබූ තොරතුරු අනුව අපද මේ පසුපස භයානක පණිවුඩයක් ඇති බව වාර්තා කිරීමට කටයුතු කළෙමු. ඉදිරි මාස දෙක තුළ ලංකාව බදු අඩුකර ගැනීම සඳහා ඇතිකරගත් එකඟතා ක්‍රියාත්මක කොට පෙන්විය යුතු බවත්, ඒ අනුව ඉදිරි මාස දෙක, තුනක කාලය ලංකාවට ඉතා තීරණාත්මක කාලපරිච්ඡේදයක් බවත් අපි පසුගිය සතියේම වාර්තා කොට තැබුවෙමු. එම එකග`තා ඉටුකරලීමට නොහැකි වුවහොත් මතුව ඇති මෙම වාසිදායක තත්ත්වය එක මොහොතකින් කණපිට පෙරළීමේ අවදානමක් ඇති බවද එහිදී අපි වැඩිදුරටත් වාර්තා කළෙමු.Sri Lanka Latest News
පස්සෙන් පන්නනවා
ඒ අනුව මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ආරම්භයේදීම වාර්තා කිරීමට සූදානම් වන්නේ අප කල්තියා කී එම අනතුර ඉතා භයානක ආකාරයට මේ වනවිට අප ඉදිරියේ මතුව තිබීම පිළිබඳවය. ට්‍රම්ප් ධවල මන්දිරය හරහා විවිධ රටවලට බදු අනුපාතයන් අඩු වැඩි කළේ ඇමෙරිකානු ආර්ථිකය ඉහළට ගන්නවාට අමතරව ජාත්‍යන්තර වශයෙන් චීනය හා රුසියාව ආර්ථික වශයෙන් බිඳවැට්ටවීම අරමුණු කරගෙනය. එහිදී ලංකාව ඉලක්ක කරගෙනද ධවල මන්දිරය මගින් කොන්දේසි ගණනාවක් පැනවිණි. ඇතැම් කොන්දේසිවලට ලංකාව පැත්තෙන් ඒ අවස්ථාවේදීම එකඟතාව පළවූ අතර, ඇතැම් කොන්දේසිවලට සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව එකඟතාව පළකිරීමට සාකච්ඡා මේසයේ අසුන්ගෙන සිටි නියෝජිතයන් කටයුතු කොට තිබිණි.
කෙසේ වෙතත් මෙම සාකච්ඡාවලදී ලංකාව ඇමෙරිකාව සමග වූ ආනයන අපනයන පරතරය අඩුකිරීම සඳහා එරටින් තෙල් හා ගෑස් මිලදී ගැනීමට යෝජනා කළ බව රටට මුල් වරට අනාවරණ කළේ රාජ්‍ය රහස් තීරය ඔස්සේ අප විසිනි.
නමුත් දැන් ආණ්ඩුව හමුවේ ඇති අභියෝගය වී ඇත්තේ එකඟ වූ ආකාරයට මෙසේ තෙල් හා ගෑස් ලංකාවට ගෙන්විය හැකිද යන කාරණයය. දැනටමත් ඇමෙරිකාව පැත්තෙන් ලංකාවෙන් දිගින් දිගටම ප්‍රශ්න කරන්නට පටන්ගෙන ඇත්තේ ‘ඔබලා එකඟ වූ පරිදි තෙල් හා ගෑස් මිලදී ගැනීමට පටන් ගන්නේ කවදාද‘ යන්න කියාය. ‘ඒ සඳහා ගෙන ඇති පියවරයන් මොනවාද‘ යන්න කියාය. එය ඉතා බරපතළ ලෙස ඇමෙරිකාව පැත්තෙන් මේ වනවිට ප්‍රශ්න කෙරෙමින් පවතින බව රාජ්‍ය රහස් තීරයට ආරංචිය.
තවම කිසිම සාකච්ඡාවක් නෑ
මෙහිදී එම විමසීමේ ඇති සංඥාව ජනාධිපතිවරයා හෝ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් විසින් නිවැරැදිව කියවා නොගතහොත් එහි ප්‍රතිඵල භයානක බව අමුතුවෙන් කිව යුතු නැත. ලංකාවේ ජනතාවට දී ඇති පොරොන්දු කඩකරන ආකාරයට ඇමෙරිකාවටද පොරොන්දු දී ෂේප් එකේ සිටිය හැකි බව ආණ්ඩුව හිතනවා නම් ලංකාවට 20% කළ බදු ප්‍රතිශතය 40% හෝ ඉන් ඔබ්බට යෑමේ බරපතළ අවදානමක් ඇති බව මෙවර අප රාජ්‍ය රහස් තීරය ඔස්සේ වාර්තා කිරීමට සූදානම්ය. අප එසේ කියන්නේ ආණ්ඩුව ඇමෙරිකාවෙන් තෙල් සහ ගෑස් මිලදී ගැනීම සඳහා එකඟතාව පළකළද මේ දක්වා අඩුම තරමේ කිසිම සාකච්ඡා වටයක් හෝ ආරම්භ කොට නැති බවට අප වෙත ඇති තොරතුරුවලින් දැනගන්නට තිබීම නිසාය.
අනෙක් අතට මේ වනවිට මතුව ඇති තත්ත්වය යටතේ තෙල් හෝ ගෑස් මිලදී ගැනීම කට වචනයට කඩිනමින් සිදුකළ හැක්කක්ද නොවේ. ඒවාට ටෙන්ඩර් කැඳවිය යුතුය. අඩුම ලංසුව තබා ඇති ටෙන්ඩර්කරුට ටෙන්ඩරය ලබාදිය යුතුය. වෙනදා නම් දේශපාලකයන්ගේ කටවචනයට ටෙන්ඩර් ලබාදීම සිදුවුවත් පසුගිය මාස කීපය ඇතුළත පටිපාටියෙන් පිට ගොස් එවැනි ගනුදෙනු සිදුකළ හිටපු මැති ඇමැතිවරුන්ට, රජයේ ඉහළ නිලධාරීන්ට ලැබුණු තීන්දු හේතුකොට ගෙන රාජ්‍ය සේවයේ නිලධාරීන් අඩු ලංසුවෙන් පිට ටෙන්ඩර් ලබාදීමට අස්සන් නොකරන තත්ත්වයක් මේ වනවිට පැනනැගී තිබේ. එවැනි පසුබිමක් යටතේ ඇමෙරිකාවෙන් තෙල් හා ගෑස් ලබාගැනීමේ ටෙන්ඩරයක් ඉදිරිපත් කළහොත් එහි ලංසුව ඉතා ඉහළ අගයක් ගන්නා බව අමුතුවෙන් කිව යුතු නැත. එවැනි ඉහළ ලංසුවකට නිලධාරීන් ටෙන්ඩරය ලබාදෙයිද යන්න පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් මේ වනවිට පැනනැගී තිබේ. ඒ අනුව ඇමෙරිකාවෙන් තෙල් හා ගෑස් මිලදී ගැනීමට ඇති ඉඩකඩ ඉතා අවමය.
අනෙක් අතට අප පසුගිය සතියේ ඉතා නිවැරැදිව වාර්තා කළ කාරණයක් වන්නේ ඇමෙරිකානු භාණ්ඩ 2100කට පමණ සම්පූර්ණ තීරු බදු සහනයක් ලබාදීමට ආණ්ඩුව එකඟතාව පළකොට ඇති බවය. තවත් භාණ්ඩ ගණනාවක බදු අඩු කිරීමට සාකච්ඡා වී ඇති බවය. අනිවාර්යයෙන්ම මෙම භාණ්ඩ අතර ඇමෙරිකානු වාහනද තිබිය යුතුය. නමුත් ගැටලුව වන්නේ ඇමෙරිකානු වාහන සඳහා බදු රහිත ක්‍රමයක් ඇතිවුවහොත් අනිවාර්යයෙන්ම ලංකාවට වාහන ආයනයනය කරන ප්‍රධාන රටවල් තුන වන ජපානය, ඉන්දියාව හා චීනයද එම බදු සහනය ඉල්ලා සිටීමය. නමුත් ඒ ඇමෙරිකානු වාහනවලට ලබාදීමට සූදානම් බදු සහනය පිළිබඳ හෝ ආණ්ඩුව පැත්තෙන් රේගුව සමග කිසිදු සාකච්ඡා වටයක් ආරම්භ වී ඇති වගක් දැනගන්නට නැත. එමනිසා එක්සත් ජනපද වෙළෙඳ නියෝජිතායතනය දැන් ඒ පිළිබඳ ප්‍රශ්න කරමින් ආණ්ඩුව පසුපස වැටී ඇති ආකාරයක් ආරංචිය.
ඉන්දියාව මොනවා කරයිද?
මෙම බදු ප්‍රශ්නයේදී ඊළඟට අවධානය යොමුකළ යුතු කරුණ වන්නේ අසල්වැසි ඉන්දියාව සමග ට්‍රම්ප් ඇතිකොට ගෙන තිබෙන ගැටුම ලංකාවට කුමන අයුරින් බලපාන්නේද යන්නය. බොහෝ දෙනා ට්‍රම්ප් හා මෝදි අතර ඇති හිතවත්කම හේතුවෙන් ඉන්දියාවට 12%ක හෝ 15%ක අවම තීරුබද්දක් පනවනු ඇති බව අනුමාන කළද සියල්ලන්ම මවිතයට පත්කරමින් ට්‍රම්ප් මුල් වටයේදී එය 25% දක්වා ඉහළ නැංවීය. පසුව ඇමෙරිකානු විරෝධය නොතකා ඉන්දියාව දිගටම රුසියාවෙන් තෙල්ගැනීමට තීන්දු කිරීමත් සමග ට්‍රම්ප් එම බද්ද 50% දක්වා දෙගුණ කළේය. ඒ අනුව ඇමෙරිකාව සමග හැප්පීමට මෝදි මේ වනවිට ඇමෙරිකානු භාණ්ඩ වර්ජනය කරමින් ‘ස්වදේශී’ ආර්ථිකයකට යොමුවීමට තීන්දු කොට තිබේ. එහිදී ඉන්දියාව සිය ආසන්නතම අසල්වාසියා වන ලංකාව සමග වෙළෙඳ ගිවිසුම්වලට පැමිණ ඉන්දීය භාණ්ඩ සඳහා ලංකා වෙළෙඳපළ වැඩි වශයෙන් විවෘත කරගැනීමට උත්සාහ දරනු ඇත. ඒ සඳහා වන බලපෑම දෙගුණ තෙගුණ කරනු ඇත.
ඉන්දියාව ඇමෙරිකන් විරෝධී ස්ථාවරයකට තල්ලු වෙද්දී ලංකාව ඇමෙරිකානු ගැති ප්‍රතිපත්තියකට අවතීර්ණ වුවහොත් ලංකාව හා ඉන්දියාව අතර ගැටුමක් මතුවීමේ අවදානමක්ද නැතුවා නොවේ. අනෙක් අතට ට්‍රම්ප්ගේ බද්ද හමුවේ ඇමෙරිකානු විරෝධී රටවල් එක පෙළට සිටගනිමින් සිටින ආකාරයක්ද මේ වනවිට දැකගන්නට පුළුවන. විශේෂයෙන්ම චීනය, රුසියාව, බ්‍රසීලය ට්‍රම්ප්ගේ බදු හමුවේ සිය ඇමෙරිකන් විරෝධය දැඩි කොට ඇති අතර, එම රටවල් නියෝජනය කරන බි්‍රක්ස් සමාජය සිටින්නේ ඊට දැඩි ප්‍රතිචාර දැක්වීමට සූදානමින්ය. එහිදී චීනය හා ඉන්දියාව අතර පැවැති ගැටුම් අඩුවීමේ ප්‍රවණතාවක්ද මතුවනු ඇත. එය තහවුරු කරමින් මේ මස අවසානයේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි චීන සංචාරයක නිරත වීමටද සූදානම්ය. මෝදි මෙසේ චීනයේ සංචාරයක නිරත වන්නේ අවුරුදු 7කට පසුව වීම විශේෂ සිදුවීමකි. එසේ වුවහොත් චීනයෙන් ලංකාවට ඒමට ඇති බලපෑමද ඉතා ඉහළය. එම නිසා ට්‍රම්ප්ගේ බද්ද හරහා ජාත්‍යන්තර තලයේ ගොඩනැගී ඇති නව ප්‍රවණතාවනන් හමුවේ ඉදිරි මාස දෙක තුනක කාලය තුළ ලංකාවට කිසිවකුත් නොසිතන ආකාරයේ දැවැන්ත අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බව පමණක් අවසන් වශයෙන් සඳහන් කළ යුතුව ඇත.
හරිනිට යළි ප්‍රහාරයක්?
මාලිමා ආණ්ඩුව ඇතුළේ ජවිපෙ සහ මාලිමාව අතර සීතල කඹ ඇදිල්ලක් පවතින බව අප වාර්තා කළේ අද ඊයේ නොව ජනාධිපතිවරයා ජනාධිපති පුටුවේ වාඩිවූ පළමු දිනයේ සිටමය. එහිදී අප පෙන්වා දුන්නේ මාලිමා ආණ්ඩුවේ අගමැතිවරිය වූ හරිනි ඉලක්ක කොට ගෙන කිසියම් ප්‍රහාරාත්මක වැඩපිළිවෙළක් පැලවත්තෙන් දියත් වෙමින් තිබෙන බවය. වරෙක බිමල් රාජ්‍ය මාධ්‍යයට පැමිණ ප්‍රසිද්ධියේම අගමැතිවරිය ඇතුළු ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ තනතුරු සහ වගකීම් වෙනස් කළ යුතු ආකාරයත්, ජනාධිපතිවරයා හරිනිව වේදිකාවේ තබාගෙන ඇතැම් ‘දේශපාලන කවයන්‘ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ ආකාරයත් වරින් වර අප එහිදී අනාවරණ කළෙමු. තිරය පිටුපස පැවැති මෙම සීතල යුද්ධය පසුගිය සතියේදී ප්‍රසිද්ධියේම මුළු රටටම දැකගත හැකි ආකාරයට එළියට පැමිණි ආකාරයක් පාර්ලිමේන්තුවේදී දැකගත හැකි විය. ඒ, ඩී.වී. චානක, රෝහිත රාජපක්ෂ විසින් යවන ලදැයි කියන රොකට්ටුව සම්බන්ධයෙන් අගමැතිවරියගෙන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රශ්න කිරීම හරහාය.
මෙහිදී ආයෝජන මණ්ඩලය විසින් ලබාදී තිබූ තොරතුරුවලට අනුව පාර්ලිමේන්තුවේ අදහස් පළකළ අගමැතිවරිය සඳහන් කර සිටියේ රෝහිතගේ රොකට්ටුවට ආණ්ඩුවෙන් කිසිදු මුදලක් වියදම් කර නැතැයි කියාය. මෙම ව්‍යාපෘතිය හරහා ආණ්ඩුවට ආදායම් ලැබී ඇති බවය. හරිනි කළ මෙම ප්‍රකාශයත් සමග මෙතෙක් කල් ‘චිචීගේ රොකට්ටුව‘ යනුවෙන් එල්ල කළ දේශපාලන මඩ ප්‍රහාරයන් සම්පූර්ණයෙන් අවසන් වීමට හේතුවී තිබිණි. එමෙන්ම සමාජ මාධ්‍ය ජාලවලද හරිනිගේ මේ කතාව ගෙන මාලිමා ආණ්ඩුවටත්, ජවිපෙටත්, ආණ්ඩුවේ ප්‍රබලයන්ටත් බොරු කී බව කියමින් ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන ආකාරයක් දැකගත හැකි විය.
වසන්තගේ ගැහිල්ල
කෙසේ වෙතත් හරිනිගේ මේ ප්‍රකාශයට වැඩි ආයුෂ තිබුණේ නැත. ඊට පසු දිනම පාර්ලිමේන්තුවේදී ඇමැති වසන්ත සමරසිංහ මහතා හරිනි කළ ප්‍රකාශය ප්‍රසිද්ධියේම වැරැදි බව සඳහන් කරමින් චිචීගේ රොකට්ටුව හරහා විශාල මුදල් වංචාවක් සිදුව ඇති බව යළිත් වතාවක් පැහැදිලි කර සිටියේය. එක් අතකින් මෙය ප්‍රසිද්ධියේම අගමැතිවරිය ඉලක්ක කොට කළ විශාල අපහාසයක් බව දැකගන්නට තිබිණි. මන්ද යත් අගමැතිවරිය යනු පාර්ලිමේන්තුවේ සිටින ආණ්ඩු පක්ෂයේ ප්‍රධානියාය. නැතහොත් ආණ්ඩුවේ දෙවැනියාය. අගමැතිවරියද ආවාට ගියාට අදහස් ප්‍රකාශ කරන්නේ නැත. අගමැතිවරියගේ අතින් කිසියම් වැරැද්දක් සිදුවූවා නම් එය පක්ෂය ඇතුළේ සාකච්ඡා කොට ඊට පසු දින අගමැතිවරිය විසින්ම නිවැරැදි කිරීමක් කළා නම් එය පිළිගත හැකිව තිබිණි. නමුත්, ආණ්ඩුවේ ප්‍රධානියා වූ අගමැතිවරිය කළ ප්‍රකාශයක් හරි හෝ වැරැදි හෝ වේවා ආණ්ඩුවේ වෙනත් ඇමැතිවරයකු විසින් පැය 24ක් ඇතුළත ප්‍රතික්ෂේප කිරීම මෑත ඉතිහාසයේ කෙදිනකවත් සිදුව නොමැති සිදුවීමකි.
නමුත් වසන්ත මෙම ප්‍රකාශය කරද්දී කිසිදු සංවිධානාත්මක බවක් නැති, අයාලේ යන විපක්ෂයක් පාර්ලිමේන්තුවේ සිටීම නිසා මේ කතාව එතරම් දුරදිග ගියේ නැත. එසේ නොමැතිව සංවිධානාත්මකව, අවස්ථාවෝචිතව කටයුතු කරන විපක්ෂයක් සිටියේ නම් ආණ්ඩුව ඇතුළේ පැවැති මේ ප්‍රසිද්ධ බෙදීම විශාල දේශපාලන ප්‍රශ්නයක් බවට පෙරළා ගන්නවා නොඅනුමානය.
අනෙක් අතට හරිනි ප්‍රකාශ කළේ ආයෝජන මණ්ඩලය විසින් ඇය වෙත ලබාදී තිබූ පිළිතුරකි. එහි යම්කිසි වැරැද්දක් තිබුණා නම් ආයෝජන මණ්ඩල නිලධාරීන් කැඳවා මේ සම්බන්ධයෙන් විමසීමක් කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුවට හැකියාව තිබිණි. නමුත් එවැන්නක් සිදුවූ බවක් වාර්තා වී තිබුණේද නැත. ඒ අනුව වසන්ත කළ මෙම ප්‍රකාශය හරහා අගමැතිවරිය වශයෙන් හරිනි විශාල අපහසුතාවකට පත්වූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
අනුර බේරුවාද?
කෙසේ වෙතත් හරිනිට මේ ප්‍රහාරය එල්ල වූ දින පස්වරුවේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවද රැස්වීමට නියමිතව තිබිණ. එදින නව පොලිස්පතිවරයාගේ නම ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් වීමට නියමිතව තිබුණත් ජනාධිපතිවරයා දහවල් වනතුරුත් එම යෝජනාව ඊට ඉදිරිපත් කොට නොතිබිණි. ඒ වෙනුවට හිටි හැටියේම ජනාධිපතිවරයා බ්‍රහස්පතින්දා දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂයටත්, විපක්ෂයේ ඇතැම් දේශපාලකයන්ටත් ප්‍රබල දේශපාලන ප්‍රහාරයක් එල්ල කළ ආකාරයක් දැකගත හැකි විය. එසේ ජනාධිපතිවරයා හදිසියේම පාර්ලිමේන්තුවේදී ප්‍රබල දේශපාලන ප්‍රහාරයක් එල්ල කළේ හරිනිට වසන්තගෙන් එල්ල වූ ප්‍රහාරයේ උණුසුම අකාමකා දමන්නට ද යන්න බොහෝ දෙනා ප්‍රශ්න කරන කාරණයක් බවට මේ වනවිට පත්ව තිබේ. එමනිසා ඒ සම්බන්ධයෙන් ජවිපෙ තුළ යම් සාකච්ඡාවක් ගොස් තිබුණාද යන්න පිළිබඳවද සැකසංකාද බොහෝ දෙනා තුළ මතුවූ ආකාරයක් දැකගන්නට ලැබිණි.
යෞවන සමාජ ඇල්ලීමේ හොරය
1978 ජේ.ආර්. ජයවර්ධන රජය පිහිටුවීමෙන් පසු තරුණ සේවා සභාව ආරම්භ කළේ මෙරට තරුණ තරුණියන්ට දේශපාලනයකින් තොරව සිය දක්ෂතා, කුසලතා ඔප්නංවාගෙන අනාගතය සකස් කරගැනීම අරමුණු කරගෙනය. එහි කෙදිනකවත් දේශපාලනයක් ගැබ්ව තිබුණේ නැත. යෞවන සමාජ නිලවරණයන්ට ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් කවදාවත් සහභාගි වූයේ නැත. මැතිඇමැතිවරුන්ගේ පුතුන්, ඥාතීන්, පරාජිත අපේක්ෂකයන් ඒවායේ තනතුරුවලට රිංගවූයේ නැත. නමුත් වත්මන් මාලිමා රජය පිහිටුවීමෙන් පසු පළමු වරට රටේ ජනතාව යෞවන සමාජ නිලවරණයක් ගැන දැනුවත් වූයේ දිස්ත්‍රික්ක රැසකින්ම එම නිලවරණයන්හි බරපතළ අර්බුද මතුවූ බවට වාර්තා වී තිබීම නිසාය. එහිදී එල්ල වූ චෝදනාව වූයේ මෙම යෞවන සමාජවල නිලතලවලට සම්පූර්ණයෙන්ම මාලිමාවේ සහ ජවිපෙ හිතවතුන් දමාගෙන ඒවා දේශපාලනීකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයි කියාය. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මෙම නිලවරණයන්ට සහභාගි වී කතාකරන ආකාරයත්, තරුණයන් ඔවුන්ට විරුද්ධව හූ තියමින් විරෝධය පළකරන ආකාරයත් මාධ්‍යවලින් ප්‍රචාරය කිරීම නිසා එම චෝදනාවල කිසියම් සත්‍යතාවක් ඇති බව මහජනතාවටද වැටහී ගොස් තිබිණි. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වන්නේ අසාර්ථක තරුණ කැරැලි දෙකකට නායකත්වය දීමෙන් පසු ජවිපෙ රජයක් යටතේම මේ ආකාරයට තරුණයන් සම්බන්ධ වී සිටින ව්‍යාපාරයකට දේශපාලන අතපෙවීම සිදුවීමය.
ටිල්වින්ගේ සිහිනය
කෙසේවෙතත් බොහෝ දෙනාගේ විරෝධතා මැද වුවද ජවිපෙ මේ ආකාරයට ජනාධිපති බලය, ආණ්ඩු බලය සහ පළාත් පාලන ආයතනවල බලය පැවැතියදී පවා යෞවන සමාජවල බලයද අත්පත් කරගැනීමට උත්සාහ දරන්නේ ඇයි? කිසිවකුටත් මෙහි පිටුපස ඇති කතාව හඳුනාගත නොහැකිව තිබුණද, ඒ කතාව අප මීට මාස දෙකකට ඉතදී පළමු වරට ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ රටට අනාවරණ කිරීමට කටයුතු කළෙමු. ඒ, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා චීනයේ කළ සංචාරයක් මුල් කරගෙනය. දවස් 13ක මෙම සංචාරයට ජවිපෙ මන්ත්‍රීවරුන් 30කට ආසන්න පිරිසක් එක්ව සිටි අතර, එහිදී ඔවුන් චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී සාකච්ඡා සම්මන්ත්‍රණ ගණනාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණි.
මෙහිදී චීන කොමියුනිස්ට් පක්ෂ ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවලදී ජවිපෙ චීන කොමියුනිස්ට් පක්ෂය මෙන් දිගකාලීන ජයග්‍රාහී පක්ෂයක් බවට පත්කරන ආකාරය පිළිබඳවත්, චීනය සහ ලංකාව විවිධ ව්‍යාපෘති හරහා ඒකාබද්ධ කරන ආකාරය පිළිබඳවත්, චීන ජනාධිපතිවරයා හා ලංකා ජනාධිපතිවරයා අතර සමීප හිතවත්කමක් ඇතිකරන ආකාරය පිළිබඳවත්, චීන කොමියුනිස්ට් පක්ෂ කාඩරය සමග ජවිපෙ කාඩරය ඒකාබද්ධ කරන ආකාරය පිළිබඳවත් බොහෝ සාකච්ඡාවන් සිදුව ඇති බව අපි අනාවරණ කර සිටියෙමු. ඒ අනුව අප අද පෙන්වා දෙන්නේ විවිධ චෝදනා මැද වුවද ජවිපෙ මේ ආකාරයට යෞවන සමාජ සිය පාලනයට ගැනීමට උත්සාහ දරන්නේ ටිල්වින්ගේ චීන සංචාරය අතරතුරදී ඇතිකරගත් එකඟතාවන් සහ සැලසුම් ක්‍රියාවට නැංවීමේ උපායමාර්ගයක් ලෙසට යැයි කියාය. බොහෝ දෙනා පෙන්වා දෙන්නේ මෙය එහි ආරම්භක අදියර යැයි කියාය.
මේ අප ඒ සම්බන්ධව ඉකුත් ජුනි 29 වැනිදා රාජ්‍ය රහස් තීරය ඔස්සේ කළ හෙළිදරව්වය.
ටිල්වින්ගේ රහස්
පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සිදුකළ දින 10ක දීර්ඝ චීන සංචාරය පිළිබඳ විශේෂ තොරතුරු රැසක් වාර්තා කිරීමට අප පියවර ගත්තෙමු. එහිදී අප කියා සිටියේ ටිල්වින්ගේ චීන ගමනට පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද 26 වැනිදා හදිසි චීන සංචාරයක නිරත වීමට සැලසුම් කරමින් සිටින බවට නිල නොවන ආකාරයේ තොරතුරු වාර්තා වෙමින් තිබෙන බවකි. කෙසේ වෙතත් මේ වනවිට අපට දැනගන්නට ඇත්තේ අනුරගේ එම හදිසි චීන ගමන අවසන් මොහොතේ අත්හැර දැමීමට තිරණය කොට ඇති බවය. මේ මොහොතේ එම චීන සංචාරය සිදු නොවන නමුත්, පසු අවස්ථාවක ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට ජනාධිපතිවරයාගේ පැත්තෙන් තීරණය කර ඇති බවක්ද මේ වනවිට ආරංචිය. එම පණිවුඩය දැනටමත් චීන බලධාරීන්ට ලැබී තිබෙන බවක්ද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් ටිල්වින්ගේ චීන සංචාරය හදිසියේම සිදුවූ නිකන්ම නිකන් එකක් නම් නොවේ. අනුරගේ චීන සංචාරයට පසුව ටිල්වින් චීනය බලා පිටත්ව ගියේ අනුරට චීනයෙන් පොරොන්දු වූ ආධාර සහ සහන මල්ල සම්බන්ධයෙන් යළිත් සාකච්ඡා කිරීම සඳහාය. අනුරගේ චීන සංචාරයේදී හම්බන්තොටට පිරිපහදුවක් ඉදිකිරීම, මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටස ගොඩනැගීම, ඉදිකිරීම් ප්‍රමාද වීම හේතුවෙන් ගෙවීමට තිබූ හානිපූර්ණ මුදල් කපාදැමීම, පෝර්ට් සිටියේ ආයෝජන සිදුකිරීම ආදිය සිදුකිරීමට චීනය පොරොන්දු වුවද, චීන පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු තීරයට ඇතුළු නොවීමට ඉඩ ප්‍රස්ථා ලබාදී නොතිබීම හේතුවෙන් අදාළ සහන පැකේජය ලබාදීම අත්හිටුවීමට චීනය කටයුතු කොට තිබිණ. මන්ද යත් චීනය සිය පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට ඉඩ ලබා නොදීම දැක තිබුණේ ඔවුන්ගේ අභිමානයට එල්ල කළ ප්‍රහාරයක් ලෙසටය. ආණ්ඩුව පැත්තෙන් කියැවෙන්නේ තවමත් ඊට අදාළ නිර්ණායකයන් ඇතුළත් සංශෝධනයන් සිදුකර නොමැති බවය.
කෙසේවෙතත් චීනය සමග ඉදිරි ගමනක් යෑම සම්බන්ධයෙන් මේ වනවිට ආණ්ඩුව ඇතුළේ මත දෙකක් පවතින ආකාරයක්ද දැකගන්නට තිබේ. දැඩි චීන හිතවාදී ස්ථාවරයක සිටින ටිල්වින්, බිමල් කණ්ඩායම චීනය සමග ඉදිරියට යායුතු බවට වූ මතයේ සිටිද්දී හරිනි ඇතුළු ලිබරල් කණ්ඩායම සිටින්නේ බටහිර රටවල් සමග ඉදිරියට යායුතු බවට වූ ස්ථාවරයකය. ජනාධිපතිවරයා වශයෙන් අනුර සිටින්නේ මේ මත දෙකටම මැද තැනකය. ආණ්ඩුව ඇතුළේ චීනය සම්බන්ධයෙන් මෙවැනි කඹ ඇදිල්ලක් පවතිද්දී ටිල්වින් හදිසියේම චීනය බලා පිටත්ව ගොස් තිබුණේ ලොකු වැඩකටයුත්තකට බව මේ වනවිට චීනය පැත්තෙන් අපට ලැබෙමින් පවතින ආරංචිවලින් දැනගන්නට තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයන් සමග ටිල්වින් පැවැත්වූ සාකච්ඡාවලදී දැඩි වශයෙන් අවධානයට යොමුකර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පින් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඍජු සබඳතාවක් ගොඩනැගීම සම්බන්ධයෙන්ය. ඊට කළ යුතු කාර්යයන්, අනුගමනය කළ යුතු උපක්‍රමයන් සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවක් දැනගන්නට තිබේ. එහිදී ආරම්භයක් ලෙසට චීනය විසින් දියත් කොට ඇති ‘බෙල්ට් ඇන්ඩ් රෝඩ්’ හෙවත් ‘එක් තීරයක් – එක් මාවතක්’ ප්‍රතිපත්තියට අනුගතව කටයුතු කිරීමට ටිල්වින්ගේ පැත්තෙන් කොළ එළිය දැල්වී ඇති බවක් දැනගන්නට ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීද දැඩි චීන හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කෙරුණු අතර, එවකදී ඊට විපක්ෂයෙන් දැඩි විරෝධයක් එල්ල වූ ආකාරයක් දැකගත හැකි විය. නමුත් ටිල්වින්ගේ චීන සංචාරයේදී නැවත වතාවක් මෙම බෙල්ට් ඇන්ඩ් රෝඩ් හෙවත් එක් තීරයක් එක් මාවතක් චීන ප්‍රතිපත්තිය යළි පණගැන්වීමට යෝජනා වී තිබීම විශේෂිතය. ජින්පින් සහ ජනාධිපති අනුර අතර සබඳතාව ගොඩනැගීමේ පළමු පියවර ලෙස ඊට අනුගත වීමට ලංකාව පැත්තෙන් එකඟතාව පළවී ඇති බවක් දැනගන්නට ඇත.
මීට අමතරව චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ අතර හුවමාරු වැඩසටහන් රැසක්ද ආරම්භ කිරීමට මෙහිදී සාකච්ඡා වී ඇති බව පැවැසේ. එහිදී ජවිපෙ සාමාජිකයන් හට චීනයේදී විශේෂ පුහුණුවක් ලබාදීමට අමතරව රාජ්‍ය නිලධාරීන්ටද චීනය හරහා විශේෂ පුහුණුවක් ලබාදීමට යෝජනා වී ඇති බවක් දැනගන්නට ඇත. ඒ අනුව දෙරට අතර කිසියම් සහයෝගිතාවක් ගොඩනැගීම දෙපාර්ශ්වයේ බලාපොරොත්තුව වී තිබේ. එහි අවසන් අරමුණ වී ඇත්තේ ඒකාබද්ධ අරමුණක් වෙනුවෙන් දෙරට අතර ප්‍රජාවක් නිර්මාණය කිරීමේ ඉලක්කයය. ඒ හරහා දෙරටේ නායකයන් අතර සමීප සබඳතාවක් ඇතිකිරීම, චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජවිපෙ අතර සමීප සබඳතාවක් ඇතිකිරීම පමණක් නොව, දෙරටේ රාජ්‍යතන්ත්‍රයන් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන්ද ටිල්වින් සහ චීන බලධාරීන් අතර යම් එකඟතාවක් ඇතිවී ඇති බවද දැනගන්නට තිබේ. මෙම එකඟතාව හරහා ජනාධිපති අනුරගේ හදිසි චීන සංචාරය සැලසුම් වුණත් යම් යම් හේතු මත එය මේ වනවිට කල්ගොස් ඇති බවක් දැනගන්නට ඇත. නමුත් ජනාධිපතිවරයාගේ චීන සංචාරය අනිවාර්යයෙන්ම ඉදිරි කාලයේදී සිදුවීමට නියමිතව ඇති බවද ආරංචිය. එමෙන්ම ඉදිරි කාලසීමාවේදී ජවිපෙ මන්ත්‍රීවරුන් විශාල වශයෙන් චීන වැඩමුළුවලට සහ චීන සම්මන්ත්‍රණවලට සහභාගි වීමේ වාතාවරණයක්ද මේ වනවිට ගොඩනැගී තිබේ.
බදු වාසියක්
කෙසේ වෙතත් ජනාධිපතිවරයා හදිසියේම චීන සංචාරයක නිරත වීමට සැලසුම් කොට තිබුණද එය හිටිහැටියේම වෙනස් වූයේ ඇයි? ඇතැම් පාර්ශ්වයන් නම් කියන්නේ ලබන 03 වැනි දින ඇමෙරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට පනවනු ලබන තීරුබදු ප්‍රතිශතයන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති නිසා ඊට පෙර ජනාධිපතිවරයා චීන සංචාරයක නිරත වීම සුදුසු නොවන බවට සලකා එම සංචාරය කල්දමා ඇති බවකි. ට්‍රම්ප් ඉරානයට පහරදීම, ලොව සියලු රටවලට ඉහළ තීරුබදු පැනවීම ආදිය සිදුකළේ චීනය ආර්ථිකමය වශයෙන් බිඳහෙළීමේ මෙහෙයුමේ කොටසක් ලෙස බව බොහෝ දෙනාගේ ස්ථාවරය වී තිබේ. එම නිසා යම් හෙයකින් ජනාධිපතිවරයා හිටිහැටියේම චීනය දෙසට හැරුණහොත් ඇමෙරිකානු තීරුබදුවලට එය අහිතකර ලෙස බලපානු ඇති බවක් අනුමාන කොට එම චීන සංචාරය කල්දමා ඇති බවක්ද දැනගන්නට තිබේ. ඒ කොයිහැටි වෙතත් ලබන සතියේ ප්‍රකාශයට පත්කිරීමට නියමිත ට්‍රම්ප්ගේ ලංකාව සම්බන්ධ තීරුබදු ප්‍රතිශතයන් බොහෝ දුරට ලංකාවට වාසිසහගත අයුරින් සංශෝධනය වනු ඇති බව අපට ඇති ආරංචිවලින් වාර්තා වී තිබේ.
නැවට කොළ එළියක්
මේ ආකාරයට චීනය හා ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා අතර විවිධ එකඟතාවන් ඇතිවෙද්දී චීන පර්යේෂණ නෞකා සම්බන්ධයෙන්ද කිසියම් එකඟතාවක් මතුව ඇති බවක් බොහෝ දෙනාගේ අදහස වී ඇත. නමුත් ඒ සම්බන්ධයෙන් තහවුරු කළ පුවත් තවමත් කිසිදු පාර්ශ්වයකින් අප වෙත ලැබී නැත. චීනයෙන් ලැබුණු ඉල්ලීම්වලට අනුව තවමත් ආණ්ඩුව සඳහන් කොට ඇත්තේ එම නෞකා ලංකා මුහුදු සීමාවට ඇතුළු කිරීම සම්බන්ධයෙන් වූ නිර්ණායකයන් සහ ගිවිසුම් සංශෝධනය කරමින් ඇති බවකි. ඊට අදාළ ගිවිසුම ප්‍රකාශයට පත්කිරීම තවත් කල් යනු ඇති බවක්ද එහිදී කියැවිණි.
රාජ්‍ය රහස් ජුනි 29
ඒ බව තහවුරු වන්නේ ටිල්වින් පසුගිය සතියේ සමාජ මාධ්‍ය සමග පැවැත්වූ සාකච්ඡාවක් හරහාය. එහිදී ටිල්වින් කියා සිටියේ සිය චීන සංචාරයේදී චීන කොමියුනිස්ට් පක්ෂ ප්‍රබලයන් සමග සාකච්ඡා පැවැත්වූ බවත්, චීන කොමියුනිස්ට් පක්ෂය මෙන් ශක්තිමත් වීමට නම් ජවිපෙ තවත් මැතිවරණ තුන හතරක් ජයග්‍රහණය කළ යුතු බවත්, අවුරුදු 20ක්වත් රට පාලනය කළ යුතු බවත් ඔවුන් තමන්ට දැනුම් දුන් බවය. ඒ අනුව ටිල්වින්ගේ මේ වචනවලින්ද අප කළ අනාවරණය 100%ක් නිවැරැදි බව තහවුරු වේ. ඒ අනුව අපට දැන් බලා සිටීමට සිදුව ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂය සියලු ක්ෂේත්‍රවල පාලන බලය සියතට ගැනීමට කටයුතු කළාක් මෙන් ජවිපෙද සියලු ක්ෂේත්‍රවල බලය අත්පත් කරගැනීම ආරම්භ කර ඇතැයිද යන්න කියාය. මෙම තොරතුර අප මෙවර වාර්තා කළේ මෙම සිදුවීම් දාමයේ මුල සිටම අප විසින් රටට තොරතුරු හෙළිදරව් කර සිටීම නිසාය.
ඔස්තාර්ලාගේ ඩීල්
ආණ්ඩුව පැත්තේ තිරය පිටුපස තොරතුරු දිගින් දිගටම වාර්තා කරන අතරවාරයේ අප රාජ්‍ය රහස් තීරයෙන් විටින් විට විපක්ෂයේ ඇතැමුන්ගේ ගේම්, ඩීල්, සම්බන්ධයෙන් සහ ඇතැම් පුද්ගලයන් සිදුකරන කටයුතු පිළිබඳවද තොරතුරු හෙළිදරව් කර ඇත්තෙමු. ඊට හේතුවී තිබුණේ විපක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රීවරුන් තම තමන් විසින් ඉටුකළ යුතු විපක්ෂයේ භූමිකාව වෙනුවට විවිධ පක්ෂ නායකයන්ගේ, ව්‍යාපාරිකයන්ගේ සහ විවිධ තානාපතිවරුන්ගේ අතකොලු බවට පත්ව ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටුකරමින් විපක්ෂ මන්ත්‍රීවරයාගේ කාර්යභාරය තුට්ටු දෙකට දමා තිබීම නිසාය. පසුගිය කාලයේදී අප අවස්ථා ගණනාවකදීම විපක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රීවරුන් මේ අයුරින් විවිධ පක්ෂ නායකයන් හමුවී දේශපාලන ඩීල් දැමූ ආකාරයත්, විවිධ තානාපතිවරුන් හමුවී මහාපරිමාණ ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කළ ආකාරයත්, විවිධ ව්‍යාපාරිකයන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන් කඩේ ගිය ආකාරයත් සාක්ෂි සාධක සහිතව මේ තීරය ඔස්සේ අනාවරණ කළේ ඔවුන්ගේ සැබෑ මුහුණ යටින් ඇති වෙස් මුහුණ රටට අනාවරණ කිරීම අපගේ යුතුකමක් සහ මාධ්‍යයේ වගකීම වීම නිසාය. මෙවැනි ඩීල්වලට ප්‍රකට විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එවැනි ඩීල් දැමුවේ වෙන මොකකටවත් නොව ඔවුන්ට මැතිවරණ සමයන්වලදී ඒ ඒ ව්‍යාපාරිකයන්ගෙන් ඔවුන්ගේ ගිණුම්වලට වැටෙන දැවැන්ත මුදල් කන්දරාවන්වලට වහවැටීම නිසාය. මාස්පතා එම ව්‍යාපාරිකයන්ගෙන් මේ මන්ත්‍රීවරුන්ට ලක්ෂ ගණනින් ‘පොකට් මනී‘ ලැබීම නිසාය. මේ නිසාම ආණ්ඩුව විසින් ගනු ලබන යම් යම් දුර්දාන්ත තීරණයන් පවා මේ මන්ත්‍රීවරුන් ජනතාවට පෙන්වා නොදී නිහඬව ඒ ඒ සමාගම්වලට සහ ව්‍යාපාරිකයන්ට වාසිසහගත වන ආකාරයට සිටි ආකාරයක් දැකගත හැකි විය.
පාර්ලිමේන්තුවේ සිටින විපක්ෂ මන්ත්‍රීවරුන් මේ ආකාරයට ඩීල් දමාගෙන නිහඬව සිටිද්දී එවැනි ව්‍යාපාරිකයන් සහ දැවැන්ත සමාගම් පිළිබඳ ප්‍රශ්න කළේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන එළියේ සිටින දේශපාලන නායකයන්ය. විශේෂයෙන්ම පාඨලී චම්පික රණවක, විමල් වීරවංශ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ වැනි දේශපාලනඥයන් පාර්ලිමේන්තුව නියෝජනය නොකළද ඔවුන් ඒ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා දැවැන්ත මැදිහත් වීමක් සිදුකළ ආකාරයක් දැකගත හැකි විය.
මුජිබර් – මරික්කාර්
මෙහිදී පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා තමන්ට හුරුපුරුදු ශෛලියෙන් ජනතාවට බලපාන මෙවැනි ආකාරයේ ප්‍රශ්න ආණ්ඩුවෙන් විමසීමට කටයුතු කළද දැවැන්ත හෙළිදරව් කිරීම් සිදුකිරීමට කටයුතු කොට තිබුණේ මුජිබර් රහුමාන්, එස්.එම්. මරික්කාර් වැනි මන්ත්‍රීවරුන් දෙතුන් දෙනකු පමණි. මෙහිදී මුජිබර් රහුමාන් මේ වනවිට ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්ව ඇති කැසිනෝ සම්බන්ධ සිද්ධිය මෙන්ම බී.වයි.ඩී බදු වංගුව පිළිබඳ විශාල හෙළිදරව් කිරීම සිදුකළ අතර, මරික්කාර් මන්ත්‍රීවරයා පසුගිය කාලයේදී පිරිපහදු නොකළ පොල්තෙල් මෙරටට ගෙන්වීමේදී සිදුව ඇති බිලියන 6ක පමණ බදු පැහැරහැරීමක් පිළිබඳ රටට අනාවරණ කළේය. නමුත් විපක්ෂයේ සිටින ආර්ථික ඔස්තාර්ලා ලෙස පෙනී සිටින කිසිවකුත් එවැනි හෙළිදරව් කිරීම් සිදු නොකිරීම සහ ඒ සම්බන්ධයෙන් කතා නොකිරීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී තිබිණ. ඔවුන් පෙන්වා දෙන්නේ මෙය ඉතා කනගාටුදායක තත්ත්වයක් යැයි කියාය.
අප මේ සම්බන්ධයෙන් මෙවර තොරතුරු අනාවරණ කරන්නේ ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන ජෝන් කීල්ස් සමාගම මේ වනවිට බරපතළ ආන්දෝලනයන් දෙකකටම මුල් වී තිබීම නිසාය. විශේෂයෙන්ම බී.වයි.ඩී රථ වාහන ලංකාවට ගෙන්වා බෙදාහැරීමේ තනි අයිතිය ජෝන් කීල්ස් සමාගම විසින් දරන අතර, ඔවුන්ට එරෙහිව මේ වනවිට බදු වෙනස් කිරීම සම්බන්ධයෙන් බරපතළ චෝදනාවක් එල්ල වී තිබේ. එය මුලින්ම පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරව් කරනු ලැබුවේද වෙන කවුරුවත් නොව මුජිබර්ය. ඔහු කියා සිටියේ කිලෝ වොට් 150 මෝටර් ධාරිතාව සහිත බී.වයි.ඩී මෝටර් රථ කිලෝවොට් 100 ලෙස පෙන්වා විශාල බදු වංගුවක් ගැසීමට ජෝන් කීල්ස් ආයතනය කටයුතු කොට ඇතැයි කියාය. ඒ හරහා ආණ්ඩුවට ලැබීමට නියමිත විශාල බදු මුදලක් අහිමිව ගොස් ඇතැයි කියාය.
මුජිබර් කළ මෙම කතාව ‘මව්රටනිවුස්‘ අප වෙබ් අඩවියේ පළකර පැය කිහිපයක් ගතවීමට මත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රේගුවට ලැබී තිබුණු නියෝගයකින් කියැවුණේ අදාළ වාහන තොගය පිටකිරීම වහාම නවත්වා ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කරන ලෙසටය.
ඔස්තාර්ලා කරපු දේ
නමුත් කනගාටුවට කරුණ වන්නේ මෙවැනි බදු වංගුවක් සම්බන්ධයෙන් අනාවරණ වෙද්දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු තැන්වල ඒවා සාකච්ඡා කොට හෙළිදරව් කරනවා වෙනුවට මහාපරිමාණ සමාගම් ආරක්ෂා කිරීමට මේ ආර්ථික ඔස්තාර්ලා කටයුතු කර තිබීමය. මේ ඔස්තාර්ලා එහිදී ප්‍රකාශ කොට තිබුණේ මෙම බී.වයි.ඩී වාහන තොගය සම්බන්ධයෙන් ප්‍රශ්න කළහොත් එය චීනය සහ ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගැටලුවක් බවට පත්වනු ඇතැයි කියාය. අදාළ වාහනවල මෝටර් ධාරිතාව පරීක්ෂා කිරීමට සුදුසු තාක්ෂණය ලංකාවේ තිබෙනවාද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න ඇතැයි කියාය.
මේ ආකාරයට ආර්ථික ඔස්තාර්ලා ප්‍රශ්නගත සමාගම් ආරක්ෂා කිරීමේ පිළිවෙතක් අනුගමනය කරද්දී විමලුත්, චම්පිකත් එළියේ සිටිමන් ඊට එරෙහිව දැඩි ප්‍රතිචාර දැක්වූ ආකාරයක් දැකගත හැකි විය. එහිදී විමල් නම් කෙළින්ම කියා සිටියේ මෙම ආර්ථික ඔස්තාර්ලා කරන ප්‍රකාශ පිළිගත නොහැකි යැයි කියාය. එමෙන්ම චම්පික කියා සිටියේ අදාළ වාහනවල මෝටර් ධාරිතාව පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය මොරටුව විශ්වවිද්‍යාලය සතුව පවතිනවා යැයි කියාය. එවැනි විමර්ශනයක් හරහා ජාත්‍යන්තර රටවල් ලංකාව සමග අමනාප නොවන බවද එහිදී චම්පික කියා සිටියේය.
ජෝන් කීල්ස්ලාගේ කැසිනෝ
ජෝන් කීල්ස් සම්බන්ධයෙන් පැනනැගුණු දෙවැනි ප්‍රශ්නය වූයේ සිටි ඔෆ් ඩී්‍රම්ස්හි ආරම්භ කළ මහාපරිමාණයේ කැසිනෝ ශාලාවය. එම කැසිනෝ ශාලාව විවෘත කිරීමට ජනාධිපතිවරයා සහභාගි වීම හරහා දේශපාලන ක්ෂේත්‍රයේ විශාල ආන්දෝලනයක්ද මතුව තිබූ ආකාරයක් දැකගත හැකි විය. මේ සම්බන්ධයෙන් චම්පික විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදී අනාවරණ කර සිටියේ 2014දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ ජේම්ස් පැකර් විසින් කොළඹ කොටුවේ දැවැන්ත කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ ඊට දැඩිව විරෝධය පළ කළේ වෙන කවුරුවත් නොව ජවිපෙ බවය. ජවිපෙ මේ ආකාරයට එළියේ කැසිනෝවල එරෙහිව කැරලි ගහද්දී රාජපක්ෂ ආණ්ඩුව ඇතුළේ සිටිමින් ඊට එරෙහිව කැරැල්ලක් ගැසුවේ චම්පිකලාය. එම කැරැල්ල කොයි තරම් දරුණු වූවාද කියනවා නම් චම්පික ආණ්ඩුව කඩාගෙන එළියට බැස්සේය. විමල්ද කැසිනෝවලට එරෙහිව කතාකළ නමුත් විමල් ආණ්ඩුවෙන් එළියට බැසීමට එදා කටයුතු කළේ නැත. නමුත් විමල් ඇතුළේ සිට කැසිනෝ සූදුව නැවැත්වීම සඳහා දැවැන්ත සටනක් ගෙන ගියේය. මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ විමල් පැවැත්වූ මාධ්‍ය හමුවකදී අනුර එදා විපක්ෂයේ සිට කැසිනෝවලට විරුද්ධව කළ විශේෂ ප්‍රකාශයන් දෙකක හඬපටද ප්‍රචාරය කර පෙන්වීම පියවර ගෙන තිබිණ.
ජවිපෙ සද්ද නෑ
කෙසේ වෙතත් මෙවර සිටි ඔෆ් ඩී්‍රම්ස් කැසිනෝ ශාලාව ආරම්භ කරද්දී ජවිපෙ පැත්තෙන් කිසිදු විරෝධයක් එල්ල නොවීම විශේෂ සිදුවීමකි. ඒ අයුරින් ජවිපෙ නිහඬව සිටිද්දී මෙම කැසිනෝ ශාලාවට අනුමැතිය ලබාදීමේදී බරපතළ ගැටලුවක් මතුව ඇති බවත්, එහි ආදායම් බදු සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් මතුව ඇති බවත් මීට සති 3කට ඉහතදී අප විසින් පළමුවරට රටට අනාවරණ කළෙමු. එහිදී අප කියා සිටියේ 2015 වසරේදී මෛත්‍රිපාලගේ ආණ්ඩුව යටතේ අගමැතිවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මෙම පරිශ්‍රය තුළම කැසිනෝ ශාලාවක් ආරම්භ කිරීමට අවසර ලබාදී තිබූ බවත්, ඊට එරෙහිව එල්ල වූ බරපතළ විරෝධය හමුවේ මෛත්‍රීපාල විසින් එම ස්ථානයේ කැසිනෝ ශාලාවක් ආරම්භ කළ නොහැකි බවට කැබිනට් පත්‍රිකාවක් සම්මත කළ බවත්ය. අප එම කැබිනට් පත්‍රිකාවද මීට සති තුනකට ඉහතදී ‘මව්රට’ පුවත්පත ඔස්සේ රටට හෙළිකිරීමට කටයුතු කළෙමු. ඒ වනවිට ආණ්ඩුව ඇතුළේ තිබූ යෝජනාවකින් කියැවුණේ කොළඹ විවිධ ස්ථානවල තිබූ සියලු කැසිනෝ ශාලා එක් ස්ථානයකට ගෙන ආ යුතු බවකි. එම කැසිනෝ ශාලාවන් කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ ස්ථාපිත කළ යුතු බවටද එහිදී යෝජනා වී තිබිණි.
කෙසේ වෙතත් මෙම තහනම පැවැතියදී රනිල් කළේ අහම්බෙන් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ආයේජන මණ්ඩලය හරහා සිටි ඔෆ් ඩී්‍රම්ස් කැසිනෝ ව්‍යාපෘතියට අවසර ලබාදීමට පියවර ගැනීමය. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ මේ වනවිට අනෙකුත් කැසිනෝ ශාලාවන්ගෙන් අයකරන 45%ක ආදායම් බදු ප්‍රතිශතය මෙම කැසිනෝ ශාලාවෙන්ද අයකර ගන්නේද යන්න පිළිබඳවය. පසුගිය සති කීපය පුරාම අප මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කර සිටියත් තවමත් අදාළ පාර්ශ්වයන්ගෙන් ඊට පිළිතුරු නොලැබීම කනගාටුදායකය. අවම වශයෙන් විපක්ෂය හෝ මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන්ගෙන් ප්‍රශ්න නොකිරීම ඊටත් වඩා කනගාටුදායකය. විවිධ සමාගම්වල විවිධ ව්‍යාපාරිකයන්ගේ සහ විවිධ සූදුකරුවන්ගේ අතකොලු බවට විපක්ෂයේ සිටින වගකිව යුතු ඇතැම් ජනතා නියෝජිතයන් පත්ව ඇති බවට බොහෝ දෙනා චෝදනා කරන්නේත් මේ නිසාය.
සජිත්ටත් බලපෑම්
කෙසේ වෙතත් මෙවැනි පසුබිමක් යටතේ පසුගිය සතියේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජෝන් කීල්ස් ආයතනය මගින් ලංකාවට ගෙන්වන බී.වයි.ඩී වාහනවල බදු ප්‍රශ්නය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව සජිත් බදාදා දිනයේදී ලිඛිතව මෙම ප්‍රශ්න කිහිපය පාර්ලිමේන්තුවට භාරදීමෙන් පසු එදින රාත්‍රියේ සිටම විපක්ෂ නායකවරයා වෙත විවිධ පාර්ශ්වයන්ගෙන් බලපෑම් එල්ල වූ ආකාරයක් දැකගත හැකිවිය. එහිදී බොහෝ දෙනා සජිත්ගෙන් විමසා සිටියේ ‘ඇයි මේ වගේ ප්‍රශ්න අහන්නේ. මේ වගේ ප්‍රශ්න ඇහුවොත් ඒ සමාගම අපිත් එක්ක තරහා වෙනවා…’ යැයි කියාය. නමුත් සජිත් ඒ කිසිදු බලපෑමක් තඹයකට මායිම් කිරීමට කටයුතු නොකිරීම විශේෂ සිදුවීමකි. සැලසුම් කළ ආකාරයටම සජිත් බීවයිඩී බදු වංගුව ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට පියවර ගෙන තිබූ අතර, ආණ්ඩුව ඉන් ලිස්සා ගියේ ඒ සම්බන්ධයෙන් මේ වනවිට නඩුවක් ක්‍රියාත්මක වන නිසා වැඩිදුර තොරතුරු සඳහන් කළ නොහැකි යැයි කියමිනි.
රනිල් බයවෙලා
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම ඈඳී ඇති විමර්ශන කීපයක්ම මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් දියත් වෙමින් තිබේ. ඉන් එකක් වන්නේ රනිල් සහ ඔහුගේ බිරිය වන මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය ඇගේ උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා ජනතා බදු මුදල් යොදාගෙන ලන්ඩනයේ සංචාරය කර ඇති බවට එල්ල වී ඇති චෝදනාවකි. වාර්තා වන ආකාරයට මේ සඳහා මිලියන 60ක පමණ මුදලක් ජනතා බදු මුදල්වලින් වියදම් කොට තිබේ. පැවැති ආණ්ඩුවේ ප්‍රබල නිලධාරීන් විසින් මෙම සංචාරය සඳහා මුලින් අදාළ ආයතන වෙත ලිපි යොමුකොට ඇත්තේ ‘පෞද්ගලික සංචාරයකට‘ යනුවෙන් බව කියමිනි. නමුත් ඉන් පසු අවස්ථාවලදි යොමුකළ ලිපිවලදී ‘පෞද්ගලික‘ කොටස ඉවත් වී සංචාරයක් යනුවෙන් දක්වා ඇති බවක්ද ආරංචිය. ඒ අනුව පසුගිය සතියේදී හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගෙන්ද, රනිල්ගේ පෞද්ගලික ලේකම්වරිය වූ සැන්ඩ්‍රා පෙරේරා මහත්මියගෙන්ද, රනිල්ගේ එවක කාර්යමණ්ඩල ප්‍රධානියා වූ සාගල රත්නායකගෙන්ද විමර්ශන අංශ ප්‍රකාශ ලබාගෙන තිබිණි. ඉදිරි දින කීපය ඇතුළත රනිල් මෙන්ම තවත් ප්‍රබල චරිත කීපයකටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව විමර්ශන සිදුකරන පාර්ශ්වවලින් අපට වාර්තා වන තොරතුරුවලින් කියැවෙන්නේ මෙම සිදුවීම හරහා පැහැදිලිවම මුදල් අවභාවිත කිරීමක් සිදුව ඇති බවට වන තර්කය අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කළ හැකි යැයි කියාය. සාමාන්‍යයෙන් රජයේ මුදල් අවභාවිතාවකදී ලබාදෙන තීන්දු ඉතා බරපතළ බව හොඳින් දන්නා නිසාම රනිල් මේ දිනවල කලබලයට පත්ව සිටින බවක්ද ආරංචිය. මෙම සිදුවීමට අමතරව රනිල්ගේ පාලන සමයේදී සිදුව ඇතැයි කියන තවත් ආන්දෝලනාත්මක සිදුවීම් කීපයකම විමර්ශන ඉදිරි සති කීපය තුළ අලුත් වටයකින් ආරම්භ වීමට නියමිතව ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.
කංචන එළිබහිනවා
ඉකුත් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු විය යුතු බවට දෙපාර්ශ්වයේම ගම් මට්ටමේ සාමාජිකයන් විසින් ඉහළට බලපෑම් එල්ල කරද්දී සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා අවංක උත්සාහයක් දැරීමට කටයුතු කළේය. සාකච්ඡා සඳහා කණ්ඩායමක්ද නම් කළේය. එමෙන්ම එජාපයේ කිහිප දෙනෙක් පමණක් ඒ සම්බන්ධයෙන් අවංකව කටයුතු කළද පක්ෂ නායක රනිල් ඇතුළු දෙතුන් දෙනකු මුල සිටම කටයුතු කළේ පක්ෂ දෙක එකතු කරනවාට වඩා ඒ දෙකේ සමගිය කඩාවට්ටන ආකාරයටය. මන්ද යත් ඒ ආකාරයට පක්ෂ දෙක එකතු වූයේ නම් තමන්ගේ දේශපාලනය එතැනින්ම අවසන් වන බව රනිල් දැන සිටියේය. එමෙන්ම තමන්ගේ ඥාතියා වූ රුවන් විජේවර්ධනගේ සහ තම හිතවතා වූ සාගල රත්නායකගේ දේශපාලන ජීවිතයද අවසන් වන බව රනිල් දැන සිටියේය. මේ නිසාම තම පවුලට අයත් පුවත්පත් ජාලය උපයෝගී කොට ගෙන රනිල් නිතරම කළේ අසත්‍ය පුවත් පැළකරමින් පක්ෂ දෙකේ මේ එකතු වීම කඩාකප්පල් කරන තැනට කටයුතු කිරීමය. මීට සති කීපයකට ඉහතදී ලංකාදීප පුවත්පතේ මුල් පුවත මගින් සජිත්ගේ විපක්ෂ නායක ධුරය අහිමි වන බවට පුවතක් රනිල්ගේ පැත්තෙන් පැළවූයේ ඒ අනුවය. නමුත් අප එම පුවත පසුපස තිබූ කතාව හෙළිදරව් කිරීම නිසා රනිල් ගහන්න ගිය ගේම අතේ පත්තු වී ආපසු කැරකිණි.
ඒ අනුව මේ දිනවල එජාප සජබ දීගය කැඩීම සඳහා රනිල් විසින් අලුත් තුරුම්පුවක් ගැසීමට සැලසුම් කර තිබෙන ආකාරයක් දැකගන්නට තිබේ. රනිල්ගේ මේ සැලසුම සම්බන්ධයෙන් තොරතුරු දන්නේ රනිල් සමීපයෙන් සිටින වජිරත්, සාගලත් පමණි. ඒ අනුව රනිල් සැලසුම් කර ඇත්තේ එජාපයට පිටින් යහමින් මුදල්හදල් ඇති අලුත් චරිතයක් ගෙනැවිත් එක්කෝ එජාප නායකත්වය හෝ එජාප උපනායකත්වය ඔහුට ලබාදීමටය. මේ චරිතය වෙන කවුරුවත් නොව, රනිල් යටතේ ඇමැතිකම් කොට පසුගිය මහ මැතිවරණයේදී පරාජයට පත්ව දේශපාලන වශයෙන් නිහඬව ගෙදරට වී සිටි කංචන විජේසේකරය.
රනිල් මේ ආකාරයට කංචනව එජාපයට ගෙනැවිත් ලොකු තනතුරක් දීමට සැලසුම් කිරීම සඳහා හේතු කීපයක්ම තිබේ. ඉන් ප්‍රධානම හේතුව වන්නේ යම් හෙයකින් තමන් පක්ෂ නායකත්වයෙන් ඉවත්ව පවුලේ ඥාතියා වන රුවන්ට පක්ෂ නායකත්වය භාරදුනහොත් වජිර, සාගල, නවීන් යන සියලු දෙනාම ඔහු සමග වෛර බැඳගැනීමය. එම තත්ත්වය වළක්වා ගැනීමට නම් හොඳම දේ වන්නේ පිටින් අයෙකු ගෙනැවිත් එම තනතුර ඔහුට භාරදීම බව රනිල්ගේ කල්පනාව වී තිබේ. එසේ කොට ඒ හා සමාන තනතුරු රුවන් ඇතුළු කණ්ඩායමට ලබාදී තමාගේ ඇඟ බේරාගැනීම රනිල්ගේ සැලසුම වී ඇත.
අනෙක් අතට මෙසේ අලුත් අයෙකුට එජාප නායකත්වය භාරදීම හරහා සජබයෙන් කීප දෙනකු කඩාගැනීමද රනිල්ගේ සැලසුමේ එක් කොටසක් වී තිබේ. ඒ හරහා සජබය විනාශ කිරීම රනිල්ගේ ඊළඟ සැලසුමය. කෙසේ වෙතත් රනිල් පසුගිය කාලයේදී ගැසූ ගේම් සියල්ල ආපසු කැරකීම නිසා රනිල්ගේ අලුත් සැලසුම කංචන එජාපයට ගෙන ඒමද එවැනිම අයුරින් ආපහු කැරකෙනවා නිසැකය.










