එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ඇතුළු රටවල ආනයනවලට පනවා තිබෙන බද්ද අපනයන කර්මාන්තවල සේවකයන්ට, විවිධ සැපයුම්කරුවන්ට, එම පවුල්වලට පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවටම බලපාන කාරණයකි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තර්කය අනුව, එය ඇමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කිරීමට ලබාදෙන අවස්ථාව සඳහා ගෙවන්නට සිදුවන එකකි. එහෙත්, ආර්ථික විද්‍යාත්මකව ගත්කල බදු වැඩිකිරීම පාරිභෝගිකයා මත අවසානයේදී පැටවීම හේතුවෙන් සිල්ලර මිල ගණන් වැඩිවීම නිසා එක්සත් ජනපදයේ පාරිභෝගික ඉල්ලුමට, පාරිභෝජන රටාවට, උද්ධමනයට බලපෑමක් සිදුවිය හැකිය. Sri Lanka Latest News
මෙය ලෝක වෙළෙඳ සංවිධානයේ මූලධර්මවලට පටහැනිව ධනවත් රටවල් විසින් දුබල රටවලට එරෙහිව ගන්නා අසාධාරණ ක්‍රියාමාර්ගයක් බව සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ කතිකාව වැඩසටහනට මුලපුරමින් මහාචාර්ය රොහාන් සමරජීව පෙන්වා දුන්නේය.
‘ඇමෙරිකා එක්සත් ජනපදය තමන් මුහුණ දෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් සපයන නිර්වචනය වැරදියි. නිදසුනක් ලෙස, ඇමෙරිකාව සහ ලංකාව අතර වෙළෙඳ තත්ත්වය අනිවාර්යයෙන් සමාන විය යුතු නැහැ. ඇමෙරිකාව සේවා ආර්ථිකයේදී ඉතා වාසිදායක තත්ත්වයක ඉන්නවා. ඇමෙරිකාව භාණ්ඩ පමණක් ගැන අවධානය යොමුකිරීම සාධාරණ නැහැ….’
ෆේස්බුක්හි සටහනක් තබමින් ඔහු මෙසේ පවසනවා. ‘ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන සියලු භාණ්ඩ සඳහා තීරුබදු 44% දක්වා වැඩිකර, පසුව එය 10% දක්වා අඩුකර තිබෙනවා. වර්තමාන මට්ටම 20%ක් සහ පෙර එච්.එස්. කේත අනුව පනවන ලද තීරුබදු වෙනවා. මෙය ස්තුතිවන්ත වියයුතු තත්ත්වයක් නෙමෙයි. වැදගත් කාරණය වන්නේ, ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවකු ව්‍යාජ හේතු මත පදනම්ව පෙර පැවැති තීරුබදු ඒකපාර්ශ්විකව ඉහළ දමා තිබීමයි. අපගේ ආර්ථිකය, අපගේ ප්‍රතිව්‍යුහගත කරන ලද ණය ආපසු ගෙවීමේ හැකියාව සහ දහස් ගණනක් ශ්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපායන් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තර්ජනයට ලක්ව තිබෙනවා. තීරුබදු 20% අනුපාතයට පත්කරගැනීම සඳහා රජය විසින් ලබාදී ඇති සහන පිළිබඳව අපට විශ්වසනීය තොරතුරු නැහැ….’
ශ්‍රී ලංකාවට ඇඟලුම් අපනයනයේදී තරගකාරීත්වය ඇත්තේ වියට්නාමය වැනි රටවල් සමගය. පොල් වැනි බෝගවලදී තරගකාරීත්වය ඉන්දුනීසියාව හා පිලිපීනය සමගයි. එම රටවලට පනවා තිබෙන තීරුබදු ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ තරගකාරීත්වයට බලපායි.
ආර්ථික විශ්ලේෂක තිළිණ පඬුවාවල පවසන පරිදි, වසර 30කට පෙර, එක්සත් ජනපදයේ ද මැදිහත් වීමෙන් 1994දී ලෝක වෙළෙඳ සංවිධානය නිර්මාණය කරනු ලැබුවේ රටවල් අතර වෙළෙඳ ප්‍රශ්න විසඳාගැනීමේ ව්‍යුහයක් ලෙසටය. එහි ඇති අභියාචනා මණ්ඩලය මගින් නීතිමය ගැටලුව විසඳාගත හැකිය. එහෙත්, එම ව්‍යුහය මගින් දුන් තීරණ නිසා සංවර්ධනය වෙමින් තිබෙන රටවල් හා සංවර්ධිත රටවල් අතර ගැටලු ඇති විය. එම ව්‍යුහය තමන්ට අසාධාරණ ලෙස කටයුතු කරන බව ඇමෙරිකාවේ අදහස විය. ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ එම මණ්ඩලය පත්කිරීම එක්සත් ජනපදය විසින් වළක්වන ලද අතර එය තවමත් එසේම පවතී.
‘චීනය මෙතරම් නිෂ්පාදනය හා අපනයන අංශයෙන් සාර්ථක වූයේ සියලු රටවලට සමානව වෙළෙඳ වාසි ලබාදීමේ ලෝක වෙළෙඳ සංවිධාන මූලධර්මය මත පදනම්වයි. එහෙත්, එම ජයග්‍රහණය ලබාගත්තේ විශාල වශයෙන් සහනාධාර වැනි අසාධාරණ මෙවලම් භාවිත කිරීමෙන් අසාධාරණ වාසියක් ලබාගැනීමෙන් බව එක්සත් ජනපදය පවසනවා. මෙම තත්ත්වය ආර්ථික ප්‍රශ්නයකට අමතරව ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් බවට ද පත්වී ඇති බව එක්සත් ජනපදය කියනවා.’
‘ප්‍රශ්නය විසඳාගැනීමට ලෝක වෙළෙඳ සංවිධානය වෙත යාමට අකැමැති එක්සත් ජනපදය ද්විපාර්ශ්වික ක්‍රියාමාර්ගවලට යන්නට පෙලඹී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ලංකාව, වියට්නාමය වැනි රටවලට එක්සත් ජනපදය හමුවේ බයාදු ලෙස සාකච්ඡා කිරීමට සිදුවී තිබෙනවා. ඇමෙරිකාවේ පාරිභෝගිකයා සතු ශක්තිය භාණ්ඩ හා සේවා වෙළෙඳපොළේදී අතිශය වැදගත්.’
‘වෙළෙඳ හා සැපයුම් දාමයන් තුළ සිදුවිය හැකි වෙනස්කම් තවමත් විග්‍රහ කිරීම දුෂ්කරයි. විසඳුමක් ලෙස ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් ගැනීමට රටවල් එක්සත් කිරීමද කල්ගතවන වැඩක්. චීනය, ඉන්දියාව සමග ශ්‍රී ලංකාවේ වෙළෙඳ ගිවිසුම් සඳහා සාකච්ඡා අවුරුදු 20ක් තිස්සේ සිදුවෙමින් තිබෙනවා. එක්සත් ජනපදය සමග අවිනිශ්චිතභාවය මෙම සාකච්ඡාවලට ද බලපාන නිසා ගිවිසුම්වලට එළැඹීම තවදුරටත් කල් යා හැකියි. ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට සහන දී තිබේ නම්, එය එම සාකච්ඡාවලට බලපානවා.’
‘සැපයුම් දාමවලදී සම්බන්ධතා ඉතා වැදගත්ය. හැමවිටම ප්‍රශස්ත විසඳුම්වලට පමණක් එළැඹෙන්නේ නැහැ. හැඟීම් ද තීරණවලට බලපානවා…’ තිළිණ පඬුවාවල පෙන්වා දුන්නේය.
වෙරිටෙ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂිකා සුභාෂිණී අබේසිංහ පැවැසූ පරිදි ශ්‍රී ලංකාවේ තරගකරුවන්ට අපට වඩා වාසිදායක තීරුබද්දක් වැටී තිබේද යන්න අපට වැදගත් කරුණකි. හේතුව ශ්‍රී ලංකාව එක්සත් ජනපදයට සුළු සැපයුම්කරුවෙකි. එම වෙළෙඳපොළ පංගුව ලොකු රටකට පහසුවෙන් අල්ලාගත හැකිය. චීනය, වියට්නාමය වැනි රටවල් විශාල සැපයුම්කරුවන්ය. ඔවුන්ට වැටෙන බදු මගින් වෙළෙඳපොළේ ඇතිවන තත්ත්වයට හැඩගැසීම ලංකාවට පහසු නැත. ලංකාව යනු ඇඟලුම් නිෂ්පාදනයේදී පිරිවැය අධික රටක් නිසා ඇති විය හැකි අවදානම වැඩිය.
‘ප්‍රතිපත්ති නිරතුරුව වෙනස්වීම ව්‍යාපාරකරණය දුෂ්කර කරනවා. එක්සත් ජනපදය ස්ථාවර ප්‍රතිපත්ති තිබුණු රටක් වුණත්, පසුගිය මාස කීපය තුළ එහි ප්‍රතිපත්ති ද දැඩි ලෙස අවිනිශ්චිත වුණා. අගෝස්තුවලින් පසු අවිනිශ්චිතභාවය අවසන්ද, බද්ද ඉහළ වුණත්, එය ස්ථාවරද, අපේ තරගකරුවන් හා අප අතර බදු වෙනස් නොවී දිගටම පවතීද යන ප්‍රශ්න ඉතා වැදගත්. මගේ අදහස නම්, අගෝස්තුවලින් පසු ද ස්ථාවරත්වය ඇති වී නැති බවයි. ඉන්දියාව හා චීනය සමග එක්සත් ජනපදයේ සාකච්ඡා අවසන් වී නැහැ. ඔවුන් විශාල තරගකාරී සැපයුම්කරුවන්. එම ප්‍රතිඵල දැනගන්නා තුරු අවිනිශ්චිතතාව පවතිනවා.’
‘ජාත්‍යන්තරව මෙන්ම රට තුළද විරෝධයන් ප්‍රතිපත්ති වෙනසට බලපානවා. එසේම ට්‍රම්ප්ගෙන් පසු එන පාලකයා මෙම ප්‍රතිපත්ති රාමුව ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යයිද කියන ප්‍රශ්නයත් වැදගත්. මෙවැනි අවිනිශ්චිත වාතාවරණයක් තුළ, සැපයුම්කරුවන්, ව්‍යාපාරිකයන් එදිනෙදා ව්‍යාපාර කටයුතු පවත්වාගෙන ගියද ආයෝජනයට පෙලඹෙන්නේ නැත.’
‘තීරු බදු මගහැරීම සඳහා චීන නිෂ්පාදන ලංකාව, වියට්නාමය වැනි රටවල් හරහා එක්සත් ජනපදයට අපනයනය කිරීමට පෙලඹෙන්නට ඉඩ තිබෙන නිසා එමගින් ඇති වන අවදානමක් ද තිබෙනවා. එය වැළැක්වීමට එක්සත් ජනපදය සතුව යාන්ත්‍රණයක් තිබෙනවා. එයට හසු වීමෙන් අපට ගැටලු ඇති විය හැකියි.’
‘මෙවැනි සංකීර්ණ තීරුබදු ක්‍රියාවලියක් අනුගමනය කිරීමට එක්සත් ජනපද රේගුවට හැකියාව තිබේද කියා ප්‍රශ්නයක් ඇති වෙනවා. මගේ නිරීක්ෂණය නම්, ඔවුන් සතුව එවැන්නක් නැති බවයි. මෙම සංකීර්ණත්වය තුළ නියමිත කාලය තුළ ලංකාවෙන් භාණ්ඩ යවාගැනීමට අමතරව එක්සත් ජනපද වෙළෙඳපොළට ඇතුළු කරගැනීමට හැකි වේද යන ගැටලුවද ඇති වෙනවා.’
‘මීට පෙර, එක්සත් ජනපදයේ තීරුබදු ආදායම පැවතුණේ රාජ්‍ය ආදායමෙන් 2%ක පමණ මට්ටමක. දැන් එය 30% පමණ දක්වා වැඩි වී තිබෙනවා. මෙය 20 වැනි සියවසේ මුලභාගයේදී තිබුණු තත්ත්වයට සමානය. එම පසුබිම තුළ ඇතිවිය හැකි දූෂණය වැනි ගැටලුද තිබෙනවා.’
‘ලංකාවේ අපනයන කර්මාන්තවල පසුගිය කාලය තුළ සිදු වූ පරිවර්තනයේ ගැටලු ඉතිරි වී තිබෙනවා. අඩු ආදායම් රටවල් මැදි ආදායම් රටවල් බවට පත් වනවිට ශ්‍රම සූක්ෂ්ම අපනයන ප්‍රතිශතය අඩු කරගත යුතු වුණත්, ලංකාවේ එය සිදුවූයේ නැත. වියට්නාමය ලොව විශාලතම ඇඟලුම් අපනයනයකරු. ඔවුන් ශ්‍රම සූක්ෂ්ම කර්මාන්ත 6% සිට 9% දක්වා අඩු කරගත්තා. අප මෙම පරිවර්තනය සිදුකර ගත්තොත් අර්බුදය අවස්ථාවක් බවට පත්කරගත හැකියි.’
‘මෙම අර්බුදයේදී ලංකාවට වුවමනාව තිබුණේ තරගකාරී රටවලට වඩා අවාසිදායක නොවන හෝ වාසිදායක බදු අනුපාතිකයක් ලබාගැනීමටයි. ලෝකයේ ආර්ථිකය හා දේශපාලනය වෙන් කළ නොහැකියි. විදේශ ප්‍රතිපත්ති තීරණ ඉතා බුද්ධිමත්ව ගත යුතුයි. අපගේ මූලෝපායික පිහිටීමේ වැදගත්කම මෙහිදී අදාළයි….’
අපනයනකරුවකු, ව්‍යාපාරික නායකයකු හා තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර ප්‍රකාශ කරන පරිදි පසුගිය අවුරුදු 30-40 තුළ කර්මාන්තකරුවන්ගේ අත්දැකීම් අනුව නිදහස් වෙළෙඳාම ලොව ප්‍රායෝගික නැත. ඔවුහු ඒ බව රජයට පෙන්වා දෙමින් සිටියහ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය යන සාධක නිදහස් නොමැති බැවින් නිදහස් වෙළෙඳාමට පැවතිය නොහැකිය. රජය උදව් නොකළහොත්, ඉලක්ක වෙත යා නොහැකිය. ට්‍රම්ප්ගේ පියවර මගින් මෙම තත්ත්වය මොනවට පැහැදිලි කරන ලදී.
‘චීනයේ වර්ධනයට මූල්‍ය සැපයුවේ එක්සත් ජනපදය බව ට්‍රම්ප් නිවැරැදිව වටහා ගත්තා. ඔහුගේ හැසිරීම නිදහස් වෙළෙඳාමට අභියෝගයක්. ව්‍යාපාරික අත්දැකීම් අනුව, ඔහු අවිනිශ්චිතතාවට කැමැත්තක් දක්වන බව පෙනෙනවා. ඔහු උත්සාහ කරන්නේ සෙසු රටවල් සමග ගනුදෙනු කිරීමේදී එක්සත් ජනපදයට වාසිදායක තත්ත්වයක් තහවුරු කරගැනීමටයි.’
‘ලංකාවට තිබෙන ප්‍රශ්නය වන්නේ අප ලොවට අත්‍යාවශ්‍ය භාණ්ඩයක් නිෂ්පාදනය කරන රටක් නොවීමයි. මිල අඩු ශ්‍රමය මත නිෂ්පාදනය, සහනදායී ප්‍රතිපත්ති, කෝටා, බදු සහන ආදිය මත පදනම්ව කටයුතු කළා මිස ශ්‍රී ලංකාව අපනයනය වෙත යොමුවූ කර්මාන්ත ගැන අවධානය යොමු කළේ නැහැ. අපට නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ හරියට හඳුනාගත්තේ නැහැ. 2019දී චීනයට එරෙහිව ‘ප්‍රතිතෝලන බදු’ පැනවූ විට එම බදු අදාළ වූ අයිතම 2000න් අඩු තරමේ 10ක්වත් අත්පත් කරගැනීමට ලංකාවට බැරි වුණා. එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට අප උත්සාහ කළේ නැහැ. සහනාධාර මතම දුවන අපනයන මෙන්ම, දේශීය ආර්ථිකය ද මෙයට හේතුවයි. අපේ ආර්ථිකය කළමනාකරණය කළේ එසේයි. තරගකාරී නිෂ්පාදන සම්බන්ධයෙන් කතිකාවක්වත් තිබුණේ නැහැ. අපගේ අපනයන ආදායම පසුගිය අවුරුදු 10-15 අතර එක තැන පල්වන්නේ ඒ නිසායි. අපනයන ආදායම ඩොලර් බිලියන 15ට වඩා වැඩි කරගන්නට බැරිව හිරවී ඇත්තේ ඒ නිසායි.
‘මෙය ජය සැමරිය කළ හැකි වාතාවරණයකැයි මා සිතන්නේ නැහැ. 8% – 9% මට්ටමක බදු අපට හා ඉන්දියාවට අමතර බදු පැනවී තිබියදීත්, සිය සහනාධාර මෙවලම් භාවිත කරමින් අපනයන වර්ධනය කරගැනීමට ඉන්දියාව සමත් වුණා. දෙරට අතර දැනට ඇති 5%ක වෙනස පවා ඉන්දියාවට පහසුවෙන් වාසිදායක තත්ත්වයට පත්කරගත හැකිය.
‘එක්සත් ජනපදය, චීනය සහ ඉන්දියාව සමග ගිවිසුම් තවම සාකච්ඡා කරමින් සිටින නිසා තත්ත්වය තවමත් අවිනිශ්චිතයි. අපට සැලකිය යුතු අඩු තීරුබද්දක් නොලැබුණොත් අපට තරගකාරී වාසියක් ලබාගත නොහැකියි. සමාන බදු ඇති රටවල නිෂ්පාදන සාධක සමග ලංකාවේ නිෂ්පාදන සාධක තරගකාරී වෙන්නේ නැහැ.’
‘එක්සත් ජනපදයේ උද්ධමනය නිසා වෙළෙඳපොළේ කිසියම් සංකෝචනයක් සිදු වුවහොත්, එය අපටත් බලපානු ඇත. එක්සත් ජනපදය එරට පාරිභෝගිකයන්ට බදු සහන ආදිය ලබාදිය හැකියි. අවිනිශ්චිතභාවය නිසා සංවාදය තුළ ඇත්තේ මිශ්‍ර අදහස්. මගේ අදහස ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් කිසි අවිනිශ්චිතභාවයකට යා හැකි බවයි. සෙසු රටවලට නැති වාසිදායක තත්ත්වයක් ලංකාවට ලබාදීමට එක්සත් ජනපදයට හේතුවක් ඇතැයි මම සිතන්නේ නැහැ.’
එක්සත් ජනපද තීරුබදු ප්‍රශ්නය තවමත් විසඳී නැති බවත්, ශ්‍රී ලංකාව තවමත් මුහුණ දෙමින් සිටින්නේ අවිනිශ්චිත තත්ත්වයකට බවත්, අපට සැමරීමට තරම් ජයග්‍රහණයක් ලැබී නොමැති බවත් මෙම සාකච්ඡා සභාවේදී විද්වතුන් පෙන්වා දෙන ලදී.
praja.lk










