අවසන් පන්දුව තෙක්ම තියුණු මුහුණුවරක් ගත් ආසියානු කුසලාන විස්සයි – 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී පාකිස්තානු කාන්තා පිලට එරෙහිව එක් ලකුණක තියුණු ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් මහ තරග වරම උදා කරගත්තා. ශ්‍රී ලංකා පිල අද (15) ඉන්දියාව සමඟ සිය අවසන් මහා තරඟයට මුහුණ දෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙලෙස අවසන් මහ තරගයකට සුදුසුකම් ලබන ලද්දේ වසර 14 කට පසුව වීම කැපී පෙනෙන්නක්. ආසියානු කුලාන තරගාවලිය ඇරැඹි වසරේ සිට මේ දක්වා අවසන් මහ තරග වරම් 4 කට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත්වුවත් ඒ සෑම තරගාවලියක්ම එක්දින තරගාවලි යි. ආසියානු කුසලාන විස්සයි – 20 තරගාවලියක දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් මහ තරග වරම දිනාගත් පළමු අවස්ථාව මෙයයි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආසියානු කුසලාන අවසන් මහා තරගය බංග්ලාදේශයේ සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී යි පැවැත්වෙන්නේ. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.00ට යි. ඉන්දියාව ආසියානු කුසලාන අවසන් මහා තරගයකට සහභාගී වන අටවැනි අවස්ථාව වන අතර ඔවුන් ඉන් ජයගත් අවස්ථාවන් ගණන හයක්.