පහුගිය දවසක අපට දුක්බර කතාවක් අහන්න ලැබුණා. සමාජ මාධ්‍යවල පළව තිබූ මේ කතාව අහලා බොහෝ දෙනෙක්ගේ ඇස්වලට කඳුළු ඉණුවේ ඉබේටමයි.Sri Lanka Latest News
පාසලක ගුරුවරයකුට ඒ පාසලේම දරුවකුට අම්මා තාත්තාගේ වගේ ආදරයක් දෙන්න පුළුවන්ද? ඇත්තෙන්ම එවැනි ගුරුවරු අප අතර ඉන්නවා. ඔවුන් මේ මිහිපිට ඉන්න දෙවිවරු හා සමානයි. වර්තමානයේ බොහෝ ගුරුවරු දරුවන්ට ඉගැන්වීම වෘත්තියක් ලෙස පමණක් සිතා කටයුතු කළත්, එහෙම නොසිතන අයත් සිටීම සතුටු වෙන්න පුළුවන් කාරණයක්. මේ කතාවත් එවැනි ආදරණීය ගුරුවරයෙක් ගැනයි.
අම්පාර උහන කනිෂ්ඨ විද්‍යාලය මීට වසර කිහිපයකට කලින් පැවැතියේ ඉතා දුෂ්කර පාසලක් විදියට. කෙසේ වෙතත් පසුගිය සමයේදී මේ පාසලේ දරුවන් සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉතා ඉහළ ප්‍රතිඵල ලබාගන්නට සමත් වුණා. ඒ වගේම පහ වසර ශිෂ්‍යත්වයෙන් නැගෙනහිර පළාතේ හොඳම ප්‍රතිඵල පෙන්වූ පාසල බවටත් උහන කනිෂ්ඨ විද්‍යාලය පත්වුණා. වසර 10ක පමණ කාලයක් පුරා මෙම පාසලේ විදුහල්පති ධුරය දරන්නේ ජයන්ත රත්නායක මහතායි. ඔහුගේ කැපවීම නොවන්නට ගමේ අහිංසක දරුවන්ට මේ වගේ ඉහළ ප්‍රතිඵලයක් අත්කර ගන්නට නොහැකි බවයි බොහෝ දෙනාගේ අදහස වුණේ.
පාසල වෙනුවෙන් සුවිශාල කාර්යභාරයක් ඉටුකරපු විදුහල්පති ජයන්ත රත්නායක මහතා ගැන ඔහුගේ සමීපතමයෙක් වූ ලාල් ද අල්විස් මහතා සිය මුහුණු පොතේ මෙවැනි සටහනක් තබා තිබුණා.
‘ජයන්ත මල්ලි දක්ෂතම විදුහල්පතිවරයෙක් ලෙසද අධ්‍යාපන අමාත්‍යංශයේ කිහිප වතාවක්ම සම්මාන දිනා තිබෙනවා. පසුගිය කාලසීමාව තුළ ඉතා ඉහළ අධ්‍යාපන දක්ෂතා වගේම විෂය බාහිර ක්‍රියාකාරකම්වලිනුත් මෙම පාසල ඉහළට ඇවිත් තිබෙනවා. මේ විද්‍යාලයේ දිගුකාලයක් සේවය කරපු ජයන්ත මල්ලි පසුගියදා සමුගත්තේ අම්පාර සද්ධාතිස්ස ජාතික පාසලේ විදුහල්පතිවරයා ලෙස පත්වී යෑමටයි. ඔහු සමුගෙන සති දෙක තුනකට පසුව උහන විද්‍යාලයේ මවුපියන් සහ ගුරුවරුන් උපහාර උළෙලක් සංවිධාන කර තිබුණා. මේ විදුහල්පතිතුමාගෙන්ම ඉගෙනගත් ශිෂ්‍යයකු සිය දරුවා සමග පැමිණ මීට වසරකට පමණ පෙර විදුහල්පතිගෙන් ඉල්ලීමක් කර තිබුණා.
‘සර් මගේ පුතා ඉස්කෝලේට ඇතුළත් කරලා දෙන්න පුළුවන්ද?’
‘කෝ දරුවාගේ අම්මා?’ විදුහල්පතිතුමා ඇහුවා.
‘සර් එයා අපිව අතහැරලා වෙන කෙනෙක් එක්ක ගිහින්’ ඔහු කිව්වා.
‘දරුවා කාත් එක්කද ඉන්නේ දැන්…?
‘සර් මගේ අම්මායි තාත්තයි මමයි, අපි තුන්දෙනා එක්ක තමයි පුතා ඉන්නේ’
ඒ අනුව දරුවාව පාසලට ඇතුළත් කරනු ලැබුවේ දරුවාගේ පියා විසිනි.
මේ දරුවාට වයස අවුරුදු දෙක වෙද්දී ඔහුගේ අම්මා දරුවාවයි, තාත්තාවයි දාලා වෙනත් කෙනකු සමග විවාහ වෙනවා. පාසලට ඇතුළත් කිරීමට අවශ්‍ය ලියකියවිලි සියල්ලම මේ දරුවාට නැති වුවත් දරුවා පාසලට ඇතුළත් කරගැනීමට විදුහල්පති ජයන්ත මහතා තීරණය කරනවා. ඒ අනුව පුංචි සුභාෂ් පුතුට උහන කනිෂ්ඨ විදුහලේ අධ්‍යාපනය ලැබීමේ වරම් හිමිවෙනවා. දරුවා පාසලට ඇතුළත් කර කලකට පසුව ඔහුගේ තාත්තා කොළඹ ප්‍රදේශයේ රැකියාවක් සඳහා පිටත්ව යනවා.
කාලයාගේ ඇවෑමෙන් මේ පියාද කාන්තාවක් සමග හාද වී ඇයත් සමග නව ජීවිතයක් අරඹනවා. ඒ අනුව පුංචි සුභාෂ් පුතාට තාත්තාගේ ආදරයද අහිමිව අසරණ වුණු පසු දරුවා සිය කිරි අම්මාගේ සෙවණේ හැදී වැඩෙනවා.
මේ විදියට දරුවා පාසල් අධ්‍යාපනය ලබමින් ඉන්න අතර සුභාෂ් පුතාගේ කතාව විදුහල්පතිතුමාටත් දැනගන්න ලැබෙනවා. අම්මගෙත් තාත්තගෙත් සෙනෙහස අහිමිව සිටින සුභාෂ් පුතා ගැන නිතරම සොයා බලමින් හැකි සෑම විටම උදව් කිරීමට විදුහල්පතිතුමා කටයුතු කරනවා. මේ නිසාම මේ පුංචි දරුවා සහ ජයන්ත මහතා අතර බැඳීම තරවෙනවා.
දිනක් පාසල නිමවන වෙලාවේ සුභාෂ්ව නිවෙසට රැගෙන යෑමට පැමිණෙමින් සිටි ඔහුගේ සීයා රිය අනතුරකට ලක්ව මියයනවා. පුංචි සුභාෂ් එයින් පසු අන්ත අසරණ තත්ත්වයකටයි පත්වෙන්නේ. කිරි අම්මා සමග පුංචි පුතු මේ ලෝකේ තනිවෙනවා. ඉන් පස්සේ පුංචි සුභාෂ්ගේ ලෝකේ රජ්ජුරුවෝ වන්නේ ඔහුගේ දුක සැප සොයා බලන විදුහල්පතිතුමායි.
මේ අතර, පසුගිය දිනෙක අම්පාර සද්ධාතිස්ස ජාතික පාසලේ විදුහල්පති ලෙස ජයන්ත මහතාට නව පත්වීමක් ලැබෙනවා. නමුත් පුංචි සුභාෂ් දන්නේ නැහැ ලොකු සර්ට වෙනත් ඉස්කෝලෙකට යන්න වෙලා කියලා. සුභාෂ් පන්ති භාර ගුරුතුමාගෙන් විටින් විට ඇහුවා ඇයි ලොකු සර්ගේ කාර් එක එන්නේ නැත්තේ, ඇයි එයා එන්නේ නැත්තේ කියලා. ඔහුව රැකබලා ගත්ත ලොකු සර් නොසිතූ ලෙස සමුගෙන යෑම හමුවේ පුංචි සුභාෂ්ට දරාගන්නට බැරිව ගියා.
විදුහල්පතිතුමා පාසලෙන් සමුගෙන යන දිනයේ ගුරු දෙගුරුන් විසින් සංවිධාන කර තිබූ උපහාර උත්සවයේදී ජයන්ත රත්නායක මහතා සිය විදුහල්පති දිවියේ විශේෂ අතීත සිදුවීම් හා සංවේදී අවස්ථා සිහිපත් කරමින් කතාවක් කරන්නට වුණා. ඒ කතාව අවසානයේ පුංචි සුභාෂ් පුතු සභාවේ සෙනඟ අතරින් දිවවිත් රත්නායක මහතා වැලඳගෙන ඉකිගසද්දී පැමිණ සිටි සියලු දෙනාගේම දෙනෙත් කඳුළින් බොඳව ගියා.
ඇත්තෙන්ම මෙවැනි දරුවන් බිහිකරන මවුපියන් සිය වගකීමෙන් බැහැරව කටයුතු කිරීම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මේ පුංචි දරුවාගේ අනාගතය වෙනුවෙන් අධ්‍යාපන ක්‍රමවෙදයක් ආරම්භ කරන බව ජයන්ත මහතා පැවැසුවේ මේ සංවේදී සිදුවීම දරාගැනීමට නොහැකි අවස්ථාවේදීයි….’
විදුහල්පති ජයන්ත මහතාගේ සමීපතමයකු වූ ලාල් ද අල්විස් මහතා සිය ෆේස්බුක් පිටුවේ එලෙස සටහන් කර තිබුණා.
මේ සිදුවීම ඇසීමෙන් පසු අපට අවශ්‍ය වුණේ මේ දරුවා වෙනුවෙන් දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් අපට කළ හැකි යමක් වේ නම් එය ඉටුකරන්නයි. ඒ නිසාම අප මේ අහිංසක දරුවාගේ අධ්‍යාපන ජීවිතය සම්බන්ධයෙන් විදුහල්පති ජයන්ත රත්නායක මහතාගෙන් විමසීමක් කළා.
‘මම ඉස්කෝලෙන් යන්න කලින් හැම පන්තියකටම ගිහින් දරුවන්ට මට පුළුවන් විදියට තෑගි දීලා දරුවන්ට කතා කළා. මේ පාසලේ දරුවන් එක්දහස් ගානක් ඉගෙන ගන්නවා. ඒත් සුභාෂ් දරුවාගේ ප්‍රශ්නෙත් එක්ක මම ඔහුට සමීප වෙලා හිටියේ. මේ දරුවා ඉගෙනුම ලබන්නේ දෙකේ පන්තියේ. මම යනවා කිව්වාට එයා පුංචි නිසා තේරෙන්නේ නැහැ. හැමදාම පන්තියේ ටීචර්ගෙන් අහනවාලු ටිචර් ලොකු සර් එන්නේ නැද්ද? කාර් එක අදත් ඇවිත් නැහැ, ඇයි මොනාද වෙලා තියෙන්නේ කියලා. මේ පුංචි දරුවා හිතන්නේ මම ආය එයි කියලා. එයාට මාව දකින්නයි ඕනෙ වෙලා තිබුණේ.
ඒ දරුවාට මම ළංවුණේ පුංචි හිතකට ආදරේ කළාම ප්‍රශ්න දරාගන්න පුළුවන් වෙන නිසා. මොකද දරුවාගේ ගෙදරත් ප්‍රශ්න හැමතැනම ප්‍රශ්න. මේවා පුංචි හිත්වලට දරාගන්න අමාරුයි. මම ඒ පාසලෙන් ඉවත්වෙලා ගිහින් මාසයකට පස්සේ මවුපියන් උපහාර උළෙලක් සංවිධාන කරලා තිබුණා. මේ පාසලේ මම අවුරුදු ගානක් හිටිය නිසා සමුගැනීම මටත් දුකක්. ඒ උත්සවයේදී මගේ කතාව අතරතුර මේ දරුවා සැරින් සැරේ අඬලා තියෙනවා. දැන් ලොකු සර් අපේ නෙවෙයි, වෙන ඉස්කෝලෙක කියලා දරුවාට තේරිලා අඬනවාලු ඉකි ගගහා. ටීචර්ටත් දරුවා පාලනය කරගන්න බැරි තරමට අඬලා තියෙනවා. පස්සේ සෙනඟ අතරින් මේ දරුවා දුවගෙන ඇවිත් මාව බදාගෙන ඉකි ගගහා ඇඬුවා. මටත් දරාගන්න බැරිවුණා ඒ වෙලාවේ. එතැනින් උත්සවය ඉවර වුණා. මවුපියොත් අඬන්න ගත්තා. දරුවොත් ඇඬුවා. පැමිණි පිරිසත් අඬන්න ගත්තා. මට ඕනේ වුණා මේ දරුවාගේ අනාගතය වෙනුවෙන් යමක් කරන්න. එයට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. එදා ඒ උත්සව සභාවේ හිටිය අම්මා කෙනෙක් පුංචි නිසඳැසක් එක්ක මේ සිදුවීම ෆේස්බුක් දාලා තිබුණා. ඒක දැක්ක මගේ මිත්‍රයෙක් වන ලාල් ද අල්විස් මහතා මේ සිදුවීම විස්තරාත්මකව ෆේස්බුක් එකේ පළකරලා තිබුණා.
මේ වන විට දරුවාට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතිනවා. දරුවා වෙනුවෙන් පාසල් උපකරණ කිරිපිටි වගේ දේවල් ආධාර විදියට දෙන්න පුළුවන්. දැනට සුභාෂ්ගේ නැන්දා කෙනෙක් ඔහුව රැකබලා ගන්නවා. ඔහුගේ තාත්තාගේ දෙවැනි විවාහයේ බිරියට දැන් දරුවකු ලැබීමට සිටිනවා. අපේ බලාපොරොත්තුව ඇයට දරුවා ලැබුණු පසු අවුරුද්දකින් විතර සුභාෂ් පුතාවත් ඒ පවුලට එකතු කරන්නයි. ඒ සඳහා සුභාෂ්ගේ තාත්තගේ අකැමැත්තක් නැහැ. අපි ඒ සඳහා අවශ්‍ය වටපිටාව හදාගෙන යනවා. මම මේ දරුවාට කියලා තියෙන්නේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පන්තියේ ටීචර්ට කියලා මට කියන්න කියලා. සියලු මවුපියන් ඉදිරියේ මම ඒ බව පැවැසුවේ. දරුවාගේ තාත්තා වැරදි නැහැ. අම්මා වෙනත් විවාහයක් කරගත්තට පස්සේ තමයි තාත්තා වෙනත් විවාහයක් කරගත්තේ. අඩු වයසින් එයාලා කසාද බැන්ද නිසා තමයි මෙවැනි දෙයක් සිදුවුණේ…’
ගුරුවරයෙක්ට සිය ජීවිතයේ ලබන්න පුළුවන් හොඳම සම්මානය තමයි දරුවන්ගේ ආදරය. ගුරුවරයකුට සතුටු වෙන්න පුළුවන් ගුණධර්ම අතින් හොඳ පුරවැසියන් මේ සමාජයට දායද කළාම.
මේ වගේ සංසාරගත බැඳීම් තියෙන ගුරුවරු දරුවන්ගේ ජීවිතවලට ලැබෙන්නේ දරුවන්ගේ පෙර පිනකටයි. ගුරුවරයෙක් කියන්නේ දරුවකුට ජීවිතයක් දෙන්න පුළුවන් කෙනෙක්. විෂය දැනුම ඕනෙම තැනකින් ලබාගන්න පුළුවන්. නමුත් මේ වගේ අසරණ වෙච්ච දරුවන්ට ජීවිතය දෙන්න හැම ගුරුවරයකුටම හිතෙන්නේ නැහැ.
ගුරුවරුන් හැම දරුවෙක් ගැනම මේ වගේ සෙනෙහසක් දක්වනවා නම් අපේ දරු පරපුර කොයි තරම් වාසනාවන්ත වෙයිද?
ජයන්ත රත්නායක විදුහල්පතිතුමා පාසලේ හැම දරුවෙකුටම එක වගේ ආදරය කරුණාව දක්වන හෘදයාංගම මනුෂ්‍යයෙක් බව මේ පාසලේ හැම කෙනකුම කියන දෙයක්. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් ගුරුවරයෙක්. ඔබ වැනි සිතුම් පැතුම් ඇති මිනිසුන් තව තවත් මේ මිහිපිට බිහිවේවායි ‘මව්රට’ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. බොහෝ දරුවන්ගේ නැණස පාදන්නට ශක්තිය ධෛර්ය ඔබතුමාට ලැබේවා. ඔබ වැනි ගුරු පියවරුන්ට ජාතියේම ආචාරය පුදකළ යුතුයි. ඒ වගේම සුභාෂ් පුංචි පුතාටත් අධ්‍යාපනයෙන් පරිපූර්ණත්වයට පත්ව දීප්තිමත් අනාගතයකට මංපෙත් හෙළිවේවා කියලත් අපි ප්‍රාර්ථනා කරනවා.
ජයන්ත රත්නායක මහත්මා වැනි ආදරණීය ගුරුතුමෙක් පාසල හැර යෑම ගැන ලියැවුණු ගීයක් මේ මොහොතේ මගේ මතකයට එනවා. ඒ, පමිත ආර්. ලියනගේ රචනා කළ. ශාලිත අබේවික්‍රම ගායනා කරන ‘ගුරුතුමනි මගේ සොඳුරු’ කියන ගීයයි.
‘ගුරුතුමනි මගේ සොඳුරු
සිප් සතර නිබඳ වැපිරූ
අස්වැන්න අපට පැවරූ
ගුරුතුමනි… පුදදෙන්නේ කොහොම ගුරු පඬුරු…
සම සිතින් අපට සැලකූ
මෙත් සිතින් අගුණ විමසූ
මඟ නොමඟ හොඳින් පැවසූ
ගුරුතුමනි මගේ සොඳුරූ
දුක් තැවුල්වලින් නොගැසූ
මල්වලට සුවඳ තැවරූ
ජීවිතය අපේ පිබිදූ
ගුරුතුමනි අද ඇයිද ඇසේ කඳුළු…’
සුභාෂ් පුතා වෙනුවෙන් කරන්න පුළුවන් බොහෝ දේ ඔබටත් මටත් තියෙනවා. ඒ පුංචි හිතේ බලාපොරොත්තුවලට සවියක් වෙන්න ඔහුගේ අධ්‍යාපනය වෙනුවෙන් දායක වෙන්න ඔබටත් පුළුවන්. මේ පුංචි පුතුට හෙට දවස දකින්නට ශක්තියක් වෙන්න ඔබත් කැමැති නම් විදුහල්පති ජයන්ත රත්නායක මහතාගේ දුරකතන අංකයට 0718112618 අමතා අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙස ‘මව්රට’ පාඨක ඔබෙන් අප ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

නිලන්ති රේණුකා










