• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හම්බන්තොට පිරිපහදුවත් නැවතිලා! මධ්‍යම අධිවේගය හදන එකත් නවත්තලා! සංචාරකයො එන එකත් අඩුකරලා! ආයෝජකයොත් පිටවෙලා! විදේශ ඇමැති අනුරව හමුවෙන එකත් කැන්සල් කළා! චීනය හිටිහැටියේ වෙනස් වුණේ ඇයි? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

February 1, 2026
in Exclusive, Rajya Rahas
Reading Time: 18 mins read
A A
Share on WhatsAppShare on Facebook

ගල් අඟුරෙන් ආණ්ඩුව කළු වෙයි

මාලිමා ආණ්ඩුවේ මධුසමය මේ වනවිට අවසන් වී ඇති ආකාරයක් පෙනෙන්නට ඇත්තේ එකක් අවසන් වනවිට එකක් වශයෙන් දිගින් දිගටම ආණ්ඩුවට ප්‍රශ්න මතුවෙමින් පැවැතීම නිසාය. පසුගිය සති කීපය පුරාම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයකට ආණ්ඩුවට මුහුණ දීමට සිදුවූ අතර, එය යම් තරමකට හෝ අවසන් වූයේ 6 වසර ඉංග්‍රීසි මොඩියුලයේ අසභ්‍ය වෙබ් අඩවියක නමක් සඳහන්ව තිබීම හේතුවෙන් 6 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පමණක් වසරකට කල්දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කිරීමෙන් අනතුරුවය.
ඒ ආකාරයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රශ්නය අවසන් වනවාත් සමගම ආණ්ඩුවට මුහුණ දීමට සිදුවූ ඊළඟ අතිභයානක ප්‍රශ්නය වූයේ ගල් අඟුරු ගෙන්වීම හරහා මතුවූ ප්‍රශ්නයය. මේ සම්බන්ධයෙන් පළමුවෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත සිටිමින් රටට හෙළිදරව් කළේ පෙරටුගාමී පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා වූ පුබුදු ජයගොඩය.Sri Lanka Latest News

නමුත් එය පාර්ලිමේන්තුව ඇතුළට රැගෙන ආවේ පොහොට්ටුවේ මන්ත්‍රී ඩී.වී. චානකය. චානක අවස්ථා කීපයකදීම ගල්අඟුරු ප්‍රශ්නය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රශ්න ගණනාවක් පාර්ලිමේන්තුවේදී මතුකිරීමට කටයුතු කළේය. ටෙන්ඩර්කරු වෙනස් කිරීමට කටයුතු කොට තිබීම, ටෙන්ඩරයේ දින ගණන අඩු කිරීම, ගල්අඟුරුවල තත්ත්වය බාල වීම, ඒ හේතුවෙන් නොරොච්චෝල බලාගාරයේ යන්ත්‍රවලට හානි සිදුවීමේ අවදානම සහ අළු ප්‍රශ්නය පිළිබඳව අවස්ථා කීපයකදීම චානක ප්‍රශ්න කළත් ගල් අඟුරු ප්‍රශ්නය පත්තු වූයේ නැත. නමුත් ගල්අඟුරු ආනයනය කිරීමේ ප්‍රශ්නය සජබය අතට ගැනීමත් සමග එක්වරම තත්ත්වය උඩු යටිකුරු වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. මෙම ගල්අඟුරු සිද්ධිය පළමුව සජබය ඇතුළට ගෙන ආවේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ය. ඒ සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරමින් මරික්කාර් සජබ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී සිටියේ ආණ්ඩුව පවතින ක්‍රමවේදයෙන් පිට පැන ගල්අඟුරු ගෙන්වීමට කටයුතු කර ඇති බවත්, හිතාමතාම එම ගල්අඟුරු ටෙන්ඩරය තමන්ට හිතවත් පාර්ශ්වයකට ලබාදීම සඳහා කටයුතු කොට ඇති බවත්, මේ හරහා ගෙන්වනු ලැබූ ගල්අඟුරු නැව් 3කම නියමිත කැලරි ප්‍රමාණය නොමැති බාල ගල්අඟුරු පවතින බවත්, මෙම ගල්අඟුරු උපයෝගී කොටගැනීම හේතුකොට ගෙන බලාගාර අක්‍රීය වීමේ අවදානමක් ඇති බවත්, විශාල අළු ප්‍රමාණයක් පරිසරයට මුදාහැරීම හරහා පරිසර දූෂණයක් සිදුවිය හැකි බවත්, සමස්ත සිද්ධි දාමය හරහා බැඳුම්කර වංචාවද ඉක්මවා ගිය වංචාවක් ගල්අඟුරු ආනයනය කිරීම හරහා සිදුව ඇති බවත් මරික්කාර් සජබ මන්ත්‍රී කණ්ඩායමට පෙන්වා දුන්නේය. මේ හරහා බලාගාර අක්‍රීය වී ඉදිරි කාලයේදී විදුලි අර්බුදයක් පවා මතුවීමේ විශාල අවදානමක් ඇති බවද මරික්කාර් එහිදී අනාවරණ කර සිටියේය.

සුජීව වෙන විදිහකට ආවා

ඒ අනුව සජබ මන්ත්‍රී කණ්ඩායම තීන්දු කළේ මෙම ගල්අඟුරු ප්‍රශ්නය අතට ගෙන පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමටත්, පාර්ලිමේන්තු ආංශික කාරකසභාවේදී ඒ සම්බන්ධයෙන් දැඩිව කටයුතු කිරීමටත්ය. ඒ අනුව පළමුවෙන්ම පාර්ලිමේන්තුවේදී මෙම ගල්අඟුරු ප්‍රශ්නය කතා කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. ඒ අනුව සජිත් ඊට අදාළ වාර්තා ඉදිරිපත් කරමින් සියලු පාර්ශ්ව ආංශික කාරකසභාව වෙත කැඳවන ලෙස පාර්ලිමේන්තුවට දැනුම් දී සිටියේය. ඒ වනවිටත් සජබ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා මෙම ගල්අඟුරු පිළිබඳ ප්‍රශ්නය රටේ ජනතාවගේ අවධානයට යොමුකිරීම සඳහා වෙනත් ක්‍රමයකට වැඩේ අතට ගැනීමට සැලසුම් කළේය. ඒ අනුව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක යෙදීමට සුජීව සැලසුම් කළේය. එමෙන්ම මෙම ගල්අඟුරු ප්‍රශ්නය පළමුවෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඩී.වී. චානකටද ඊට ආරාධනා කිරීමට සුජීව කටයුතු කළේය. ඒ අනුව සුජීව කළේ ගල්අඟුරු ප්‍රශ්නය පාර්ලිමේන්තු ආංශික කාරකසභාවේ සාකච්ඡා කිරීමට පෙරාතුව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කැටුව එක බස් රථයකින් නොරොච්චෝලේ බලා ගමන් කිරීමය. මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ නොරොච්චෝලේ සේවය කරන ඉංජිනේරුවන් සහ සේවකයන් මෙම ගල්අඟුරු ගෙන්වීමට අදාළව විශාල තොරතුරු ප්‍රමාණයක් සජබ මන්ත්‍රීවරුන්ට ලබාදීමට පියවර ගෙන තිබීමය. ඒ අනුව බාල ගල්අඟුරු නෞකා කිහිපයක් ආනයනය කොට ඇති බවට වූ තොරතුර රටට ගෙන යෑම සඳහා නොරොච්චෝලේ බලාගාරය ඇතුළෙන්ම විශාල සහායක් සජබ මන්ත්‍රීවරුන්ට ලැබුණු ආකාරයක් දැකගත හැකි විය.

කෙසේ වෙතත් නොරොච්චෝලේදී මන්ත්‍රීවරුන්ට පළමුව ඊට ඇතුළු වීමේදී ආරක්ෂක නිලධාරීන්ගෙන් බාධා එල්ල වූ ආකාරය දැකගත හැකි විය. එහිදී ආරක්ෂක නිලධාරීන් දැනුම්දී සිටියේ මාධ්‍ය සමග නොරොච්චෝලේ බලාගාරය ඇතුළට පැමිණීමට ඉඩදිය නොහැකි බවකි. නමුත් ඊට විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිසේත්ම එකඟතාව පළ කළේ නැත. ඒ අනුව අවසානයේදී මාධ්‍ය කැටුව තත්ත්වය වාර්තා කිරීම සඳහා නොරොච්චෝලේ බලාගාරයට ඇතුළු වීමට සජබ මන්ත්‍රීවරුන්ට හැකියාව ලැබිණි.

සිංගප්පූරුවට ආ කෝල් එක

මේ අතරවාරයේදී සියලු දෙනාගේම අවධානය යොමුව තිබුණේ පාර්ලිමේන්තු ආංශික කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් සිදුවන දෑ දෙසය. ඒ වනවිට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිටියේ සිංගප්පූරුවේ අධ්‍යයන චාරිකාවක නිරත වෙමිනි. ඒ අනුව ආංශික කාරකසභාව රැස්වීමට කලින් දවසේ රාත්‍රියේදී මරික්කාර් හට විශේෂ පණිවුඩයක් ලැබිණි. පණිවුඩය ලබාදුන් තැනැත්තා මරික්කාර්ට කියා සිටියේ ආංශික කාරකසභාව නොපවත්වන ලෙසට කිසියම් පාර්ශ්වයකින් යම් බලපෑමක් එල්ල වෙමින් පවතින බවකි. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉහළ තැනකින් විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට කතාකොට ඒ සම්බන්ධයෙන් යම් යම් උපදෙස් ලබාදී ඇති බවක් දැනගන්නට ලැබී ඇති බවකි.

ඒ අනුව වහාම මරික්කාර්ද මේ සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම ආරම්භ කළේය. එහිදී මරික්කාර්ටද දැනගන්නට ලැබුණේ තමන්ට ලැබුණු එම දුරකතන ඇමතුමෙන් කියැවුණු තොරතුරු සත්‍ය බවකි. ඒ අනුව ආංශික කාරකසභාව නොපැවැත්වීම සඳහා දැවැන්ත මෙහෙයුමක් තිරය පිටුපස ක්‍රියාත්මක වෙමින් පවතින බවක් වටහාගත් මරික්කාර් වහාම මේ සම්බන්ධයෙන් සිංගප්පූරුවේ රැඳී සිටි සජිත් දැනුවත් කිරීමට තීරණය කළේය. ඒ අනුව මරික්කාර් සිංගප්පූරුවට කතාකරන විට එරට වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12ද පසුවී තිබිණි. එසේ වුවද සජිත්ව දුරකතනයෙන් සම්බන්ධ කරගත් මරික්කාර් ලංකාවේ සිදුවෙමින් පවතින තත්ත්වය පිළිබඳ සජිත් දැනුවත් කොට කියා සිටියේ ආණ්ඩුව පැත්තෙන් ආංශික කාරකසභාව නොපවත්වා සිටීමේ සැලසුමක් ක්‍රියාත්මක කොට ඇති බවට තොරතුරු ලැබී ඇති බවකි. ඒ අනුව වහාම මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරිය වූ කුෂාණි රෝහණධීර මහත්මිය දැනුවත් කළ යුතු බව මරික්කාර් සජිත්ට දැනුම් දී සිටියේය.

මහ රැම මහලේකම්වරිය නැගිට්ටවයි

ඒ අනුව එදින රාත්‍රියේම සජිත් පාර්ලිමේන්තු මහලේකම්වරියට දුරකතන ඇමතුමක් ලබාදීමට පියවර ගත්තේය. එසේ කොට එම ඇමතුමට මරික්කාර්වද සම්බන්ධ කරගත් සජිත්, මතුවෙමින් ඇති තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු මහලේකම්වරිය දැනුවත් කිරීමට පියවර ගත්තේය. එහිදී පාර්ලිමේන්තු මහලේකම්වරිය සජිත්ට කියා සිටියේ තමන් ඒ පිළිබඳ දැනුවත් නැති බවත්, සැලසුම් කොට ඇති ආකාරයට පාර්ලිමේන්තු ආංශික කාරකසභාව පවත්වන බවත්, එය නොපවත්වන ලෙසට කිසිදු පාර්ශ්වයකින් තමන්ට දැනුම් දී නොමැති බවත්ය. නමුත් ඒ වනවිටත් යම් යම් පාර්ශ්වවල සැලසුම වී තිබුණේ ගල්අඟුරු ආනයනය කිරීමේ සිද්ධියට අදාළව විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ඊට පසු දින පැවැත්වීමට නියමිතව තිබූ ආංශික කාරකසභා අවස්ථාවට සහභාගි නොකිරීමය.

මෙම සිදුවීමෙන් අනතුරුව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තවත් විශේෂ තොරතුරක්ද දැනගැනීමට ලැබිණි. ඒ, ආංශික කාරකසභා අවස්ථාවට සහභාගි වීමට නියමිතව සිටි විදුලිබල මණ්ඩලයේ ඉහළම නිලධාරියකුට දේශපාලනයේ ඉහළම තැනකින් ඇමතුමක් ලැබී ඇති බවටය. එම ඇමතුම දී ඇති පුද්ගලයා ‘බය නැතුව ගොස් ආංශික කාරක සභාවේදී අදහස් පළකරන ලෙසට අදාළ නිලධාරියාට උපදෙස් දී ඇති බවද එම තොරතුරෙන් කියැවිණි.

‘ඔතනට ගිහින් අහන ප්‍රශ්නවලට බයේ උත්තර දෙන්න යන්න එපා. එතකොට තමයි සැක මතුවෙන්නේ. මරික්කාර්ලා අහන ප්‍රශ්නවලට කෙළින් උත්තර දෙන්න. බය වෙලා කතාකරන්න ගියොත් තමයි ප්‍රශ්නෙ වෙන්නේ.‘ යනුවෙන් එම නිලධාරියාට ඉහළින් උපදෙස් ලැබී ඇති බවක් එහිදී විපක්ෂයට වාර්තා වී තිබිණ.

ඊළඟ අර්බූදය ගැන අනාවැකියක්

කෙසේ වෙතත් ආංශික කාරකසභාව ඊට පසු දින පැවැත්වුණද ආනයනය කළ ගල්අඟුරුවල ප්‍රමිතිය පිළිබ`ඳ වාර්තා බ්‍රහස්පතින්දා දිනය වනවිටත් පාර්ලිමේන්තුවට ලැබී තිබුණේ නැත. ඒ අනුව එහිදී තීන්දු වූයේ අදාළ වාර්තා ලැබෙන තෙක් ලබන 12 වැනිදා දක්වා මෙම ආංශික කාරකසභාව පැවැත්වීම කල්දැමීමටය. කෙසේ වෙතත් අප සාමාන්‍යයෙන් මෙවැනි බරපතළ ප්‍රශ්නයක් පැනනැගුණු වහාම ඊට අදාළ පුරෝකතනයක් ‘රාජ්‍ය රහස්’ තීරයේ පළකිරීමට කටයුතු කරන්නෙමු. ඒ අනුව මෙම ගල්අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන්ද විශාල දේශපාලන අනාවැකියක් කීමට අප සූදානම්ය. ඒ, මෙම ගල්අඟුරු සිද්ධිය නිසි අයුරින් කළමනාකරණය කරගැනීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් එය දිට්වා සුළිකුණාටුවටත් වඩා ආණ්ඩුවට මුහුණ දීමට අපහසු දරුණු කුණාටුවක් බවට පත්වනු ඇති බවය.

ගල්අඟුරු ගෙන්වීමේ සිද්ධිය මුල්කරගෙන මෙවැනි වාතාවරණයක් පවතිද්දී ආණ්ඩුව මේ වනවිට ආර්ථිකය මුල්කරගෙනද, දේශපාලනය මුල්කරගෙනද තවත් ප්‍රශ්න වැළකට මුහුණ දෙමින් සිටින බවක් දැකගන්නට තිබේ. අප පසුගිය සතියේ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ හදිසි ලංකා සංචාරය පිළිබඳ විශේෂ තොරතුරු කීපයක්ම මෙම තීරයෙන් වාර්තා කිරීමට කටයුතු කළෙමු. දකුණු අප්‍රිකාවේ සිට චීනය බලා යන අතරවාරයේදී අතරමැදි ගමනාන්තයක් (ට්‍රාන්සිට්) ලෙස චීන විදේශ අමාත්‍යවරයා ලංකාවට පැමිණියද, එම ගමනේදී කොළඹට පැමිණ ජනාධිපතිවරයා මුණගැසීමට චීන විදේශ අමාත්‍යවරයා මුලින් සැලසුම් කොට තිබිණී. නමුත් අවසන් මොහොතේදී සිය සැලසුම වෙනස් කරමින් චීන විදේශ අමාත්‍යවරයා කොළඹට නොපැමිණ කටුනායක පිහිටි ‘ජෙට්වින් ලැගූන් නිගම්බෝ’ හෝටලයේ නවාතැන් ගත් අතර, ජනාධිපතිවරයා හමුවූයේද නැත. ඊට හේතුවද අප පසුගිය සතියේ ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කිරීමට පියවර ගත්තෙමු.

අනුර මගහැරියේ ඇයි?

කෙසේ වෙතත් මේ සතිය වනවිට චීන විදේශ අමාත්‍යවරයා කටුනායකට පැමිණියද කොළඹ පැමිණ ජනාධිපතිවරයා හමු නොවීමට බලපෑ තවත් සිදුවීම් මාලාවක් පිළිබඳ තොරතුරුද අප වෙත වාර්තා වී තිබේ. මෙහි ඇත්තම කතාව නම් චීන විදේශ අමාත්‍යවරයාගේ ලංකා ගමනේදී පළමුවෙන්ම තීන්දු වී තිබුණේ කොළඹට පැමිණ ජනාධිපතිවරයා හමුවීමටය. නමුත් අප්‍රිකානු රටවල් හතරකට ගොස් චීන විදේශ අමාත්‍යවරයා එම සංචාරය අවසන් කරනවාත් සමගම චීනයේ බීජිංවලින් එවා තිබූ විශේෂ වාර්තාවක් චීන විදේශ අමාත්‍යවරයා අතට පත්ව තිබිණි. මෙම වාර්තාව මගින් චීන රජය සිය විදේශ අමාත්‍යවරයාට වාර්තා කොට තිබුණේ ලංකාව සහ චීනය අතර ඇතිකරගත් එකඟතා සම්බන්ධයෙන් දැනට මතුව ඇති තත්ත්වයය. මෙහිදී ඇතැම් යෝජනා ධනාත්මක ආකාරයට ක්‍රියාත්මක වන බවත්, සමහර කරුණු කිසිදු ප්‍රතිඵලයක් නොමැති තත්ත්වයකට පත්ව ඇති බවත් අදාළ වාර්තාවෙන් චීන විදේශ අමාත්‍යවරයාට වාර්තා කොට තිබිණි. කොළඹ පැමිණ ජනාධිපතිවරයා හමුවීමට කර තිබූ සියලු සැලසුම් කනපිට පෙරළී ගියේ බීජිංවලින් චීන විදේශ අමාත්‍යවරයාට ලැබුණු මෙම විශේෂ වාර්තාවත් සමගය.

ඒ අනුව මෙම හමුව අවලංගු වීමට බලපෑ අදාළ වාර්තාවේ තිබූ විශේෂ හේතුව කුමක්ද? එය අන් කිසිවක් නොව චීන පර්යේෂණ නෞකාවන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීමට තවමත් අවසර ලබාදීමට ලංකා ආණ්ඩුව කටයුතු නොකිරීමය. මාලිමා ආණ්ඩුව බලයට පත්වීමත් සමග ශ්‍රී ලංකාවේ සංචාරය කළ චීන බලධාරීන් එම පර්යේෂණ නෞකා සම්බන්ධ ගැටලු පිළිබඳ මාලිමා ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමය දක්වාම චීන පර්යේෂණ නෞකා කිසිදු ගැටලුවකින් තොරව ලංකා මුහුදු සීමාවට ඇතුළු වී සිය පරීක්ෂණ කටයුතු සිදුකළේය. එසේ චීන පර්යේෂණ නෞකා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන වාරයක් පාසා ඉන්දියන් සාගරයේ ඔත්තු බැලීමට චීනය කටයුතු කරන බවට චෝදනා කරමින් ඊට එරෙහිව ඉන්දියාව, ඇමෙරිකාව, ජපානය වැනි රටවල් ශ්‍රී ලංකා රජයට විරෝධය පළ කළද, චීන පර්යේෂණ නෞකා ලංකා මුහුදු සීමාවට දිගින් දිගටම පැමිණීමට පියවර ගෙන තිබිණි. මෙම තත්ත්වය වෙනස් වූයේ ගෝඨාභයගෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමගය. චීන පර්යේෂණ නෞකාවන්ට එරෙහිව ඉන්දියාව එල්ල කළ දැඩි බලපෑම්වල ප්‍රතිඵලයක් වශයෙන් රනිල්ගේ ආණ්ඩුව වසරක කාලසීමාවක් සඳහා චීන පර්යේෂණ නෞකාවන්ට ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම තහනම් කළේය. මෙය චීන රජය දුටුවේ සිය අභිමානයට එල්ල කළ විශාල පහරක් ලෙසටය.

ඒ අනුව අදාළ තහනම ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදී අවසන් වීමත් සමග චීන පර්යේෂණ නෞකාවන්ට යළිත් ලංකා මුහුදු සිමාවට ඇතුළු වීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරගැනීම සඳහා වූ සාකච්ඡා ආරම්භ කිරීමට චීනය පියවර ගත්තේය. ඒ අනුව ජාතික මහජන කොංග්‍රසයේ උපසභාපති වැන්ග් ඩොන්ග්මින්ග් ලංකාවට පැමිණ ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් සමග මේ පිළිබඳ සාකච්ඡා කළේය. එමෙන්ම ජනාධිපතිවරයා චීනයේ සංචාරය කළ අවස්ථාවේදී චීන ජනාධිපතිවරයාම මැදිහත්ව මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට කටයුතු කළේය. එහිදී චීන පර්යේෂණ නෞකාවන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම සඳහා වාචික අවසරය ලබාදුන් බවත්, ඊට අදාළ එස්.ඕ.පී. ගිවිසුම සංශෝධනය කිරීම වහාම සිදුකරන බවත් ජනාධිපතිවරයා චීනයට දැනුම් දුන් බවත් මාධ්‍ය වාර්තා කොට තිබිණ.

එම දැනුම් දීමට අනුව චීන ආයෝජන වැඩි වශයෙන් ලංකාවට ලබාදීමටත් චීන සංචාරකයන් ලක්ෂ 60ක ප්‍රමාණයක් වසරක් ඇතුළත ලංකාවට එවීමටත්, එම ප්‍රමාණයට අවශ්‍ය පහසුකම් ලංකාවේ සම්පූර්ණ කරන තෙක් ලක්ෂ 30ක සංචාරකයන් ප්‍රමාණයක් මුලින් ලංකාවට එවීමටත් චීනය සූදානම් කොට තිබිණි. 2025 වසර ලංකාවට වැඩිම සංචාරකයන් පැමිණෙන වසර බවට ජනාධිපතිවරයාත්, ආණ්ඩුවේ ප්‍රබලයනුත් දේශපාලන වේදිකාවේ කියා සිටියේ චීනයෙන් ලැබුණු එම සහතිකය අතේ තියාගෙනය. එමෙන්ම මෑත ඉතිහාසයේ සිදුවූ ඉහළම විදේශ ආයෝජනය සිදුකරමින් ඩොලර් බිලියන 3.7ක් වටිනා තෙල් පිරිපහදුවක් හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදිකිරීමට සිනොපැක් සමාගම එකඟතාව පළකළේද ඒ අනුවය.

සිනොපැක් එකත් හබක්

නමුත් චීන පර්යේෂණ නෞකාවන්ට ලංකාවට ඇතුළු වීම සඳහා අවශ්‍ය අවසරය ලබාදීම මේ දක්වාම ප්‍රමාද කිරීමට ආණ්ඩුව කටයුතු කොට තිබීම නිසා දැන් දැන් චීනයද ඊට ප්‍රතිචාර දැක්වීම ආරම්භ කොට ඇති බවක් මේ වනවිට දැකගන්නට තිබේ. චීන විදේශ අමාත්‍යවරයා ලංකාවට පැමිණි අතරවාරයේදී කොළඹ පැමිණ ජනාධිපතිවරයා හමුවීමට සැලසුම් කොට තිබුණත් අවසන් මොහොතේදී කිසිදු දැනුම්දීමකින් තොරව එම හමුව ඒකපාර්ශ්විකව චීනය පැත්තෙන් අවලංගු කළේ එහි එක් පියවරක් ලෙසටය. මෙහි ඊළඟ පියවර වී අත්තේ චීනය මගින් ලංකාවට ලබාදුන් දැවැන්තම ව්‍යාපෘතිය වූ ඩොලර් බිලියන 3.7ක් වටිනා හම්බන්තොට සිනොපැක් පිරිපහදුව අත්හිටුවීමට චීන බලධාරීන් තීරණය කොට තිබීමය.

සිනොපැක් හම්බන්තොට පිරිපහදුව සම්බන්ධයෙන් මීට පෙර අවස්ථා කීපයකදීම නිශ්චිත තොරතුරු කීපයක් මෙම තීරයෙන් වාර්තා කිරීමට අපි පියවර ගත්තෙමු. ඉන් එකක් වූයේ එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා ඇමෙරිකාව බලා පිටත්ව ගිය අවස්ථාවේ මෙම චීන සිනොපැක් ව්‍යාපෘතිය අත්හිටුවන ලෙසට දැඩි බලපෑමක් ජනාධිපතිවරයාට ඇමෙරිකාව පැත්තෙන් එල්ල වීමය. ඒ අවස්ථාවේදී මෙරට ඇමෙරිකානු තානාපතිවරිය වූ චූලි චන්ග් මහත්මියද ඇමෙරිකාවට පැමිණ තිබූ අතර, ඇයද මේ සම්බන්ධයෙන් දැඩි බලපෑමක් ආණ්ඩුව වෙත එල්ල කිරීමට එහිදී කටයුතු කළාය. විශේෂයෙන්ම විදේශ ඇමැති විජිත හේරත් සමග ඇමෙරිකානු බලධාරීන් පැවැත්වූ සාකච්ඡාවලදී මෙම සිනොපැක් ගිවිසුම අත්හිටුවන ලෙස විජිතට ඍජුවම දැනුම් දීමට ඇමෙරිකානු බලධාරීන් කටයුතු කළ බවද අපි එහිදී වාර්තා කළෙමු. නමුත් විජිත එය කළ නොහැකි එකක් බවත්, ලංකාවට ලැබුණු විශාලම ආයෝජනය එය බවත්, දැනට එහි වැඩ විශාල ප්‍රමාණයක් අවසන් කොට ඇති බවත්, ඇමෙරිකාව පවා තවමත් ලංකාවට විශාල ලෙස අයෝජන ලබාදී නොමැති බවත් එහිදී ඇමෙරිකානු බලධාරීන්ට දැනුම් දී තිබූ බවද අපි මෙම තීරයේ දැනුම් දී සිටියෙමු.

ඒ අනුව සිනොපැක් සමාගම හම්බන්තොට පිරිපහදුව ඉදිකිරීම දිගටම ඉදිරියට රැගෙන ආවේය. නමුත් මේ වනවිට අපට ලැබී ඇති තොරතුරුවලින් කියැවෙන්නේ හම්බන්තොට චීන පිරිපහදුව ඉදිකිරීමට පැමිණි කණ්ඩායම ඊට අදාළ වැඩකටයුතු අත්හිටුවා නැවත චීනය බලා පිටව ගොස් ඇති බවකි. පිරිපහදුවට අදාළ අවසන් ගිවිසුම්වලට අස්සන් කිරීමට ඔන්න මෙන්න කියා පැවැතියදී එය අස්සන් නොකරන ලෙසට බීජිංවලින් විශේෂ පණිවුඩයක් සිනොපැක් ප්‍රධානීන්ට ලැබී ඇති බවක්ද කියවේ. මේ තොරතුරු ලංකාවේ මාධ්‍යයකින් පළමු වරට රටට හෙළිදරව් කරන්නේද ‘රාජ්‍ය රහස්’ තීරය හරහා අප විසිනි.

කෙසේ වෙතත් හම්බන්තොට චීන පිරිපහදුව ඉදි නොකිරීමට චීනය නිශ්චිත වශයෙන්ම තීරණය කොට ඇති බවක් මෙහිදී වාර්තා වන්නේ නැත. එහෙත් තවමත් චීනය එම ආයෝජනය ඉදිරියට ගෙන යාමට කටයුතු කොට ඇත්තේද නැත. ඒ අනුව මෙම චීන හම්බන්තොට පිරිපහදුව ඉදිකිරීම අත්හිටුවීම සමග චීන පර්යේෂණ නෞකාවන්ට ලංකාවට ඇතුළු වීමට අවසර ලබාදීම ගැටගැසී ඇති බවට බොහෝ දෙනා තුළ සැකයක් මතුව ඇති බවක් දැකගන්නට තිබේ.

සංචාරකයොත් නවතියිද?

මීට අමතරව තවත් එම සැකය තහවුරු වන සිදුවීමක් මීට දෙසතියකට පෙර සිදුවිය. ඒ, චීන සමාගමක් විසින් ඉදිකිරීම ආරම්භ කොට තිබූ ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය අත්හිටුවීමට හදිසියේම චීන බලධාරීන් පියවර ගෙන තිබීම හරහාය. මෙම ව්‍යාපෘතිය අම්බුලුවාව කේන්ද්‍ර කොට ගෙන ක්‍රියාත්මක වෙමින් පැවැති අතර, හදිසියේම එය අත්හිටුවා අදාළ සමාගමේ ප්‍රධානීන් හදිසියේම ලංකාවෙන් පිටව ඇති බවද වාර්තා විය.

මීට අමතරව චීනය විසින් මේ වනවිට ඉතා සූක්ෂ්ම ලෙස ලංකාව මුල්කරගෙන කිසිවකුටත් නොදැනෙන තවත් ගේමක් ගසමින් සිටින බවක්ද දැකගන්නට තිබේ. ඒ ශ්‍රී ලංකාවට පැමිණෙන චීන සංචාරකයන් මුල් කරගෙනය. අප කලින් කී පරිදි වසරක් ඇතුළත ලක්ෂ 60ක චීන සංචාරකයන් ලංකාවට එවමින් සංචාරක ක්ෂේත්‍රයේ විශාල පිම්මක් පැනීමට ලංකාවට අවස්ථාව ලබාදීමට චීනය කලින් ලබාදුන් පොරොන්දුව හීන්සීරුවේ ආපසු හැරවීමට චීනය තීන්දු කොට ඇති බවක් මේ වනවිට දැකගන්නට තිබේ. සාමාන්‍යයෙන් චීන සංචාරකයන් හරහා ඕනෑම රටක් ගොඩදැමීමට හෝ ඕනෑම රටක් වැට්ටවීමට විශාල බලයක් චීනය සතුව තිබේ. ඒ අනුව පසුගිය වසරේදී චීනය සිය පොරොන්දුව ඉටුකරමින් වැඩි වැඩියෙන් චීන සංචාරකයන් ලංකාවට යොමුකරවීමට පියවර ගෙන තිබිණ. ඒ හරහා ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රමාණය ඉහළ ගියා පමණක් නොව, ලංකාවට ලැබුණු විදේශ විනිමය ප්‍රමාණයද විශාල වශයෙන් ඉහළ ගොස් තිබිණි. නමුත් මේ වනවිට අපට ලැබෙමින් පවතින තොරතුරුවලින් කියැවෙන්නේ චීනය මීට පෙර ලබාදුන් පොරොන්දුව කඩකරමින් ලංකාවට පැමිණෙන චීන සංචාරකයන්ගේ ප්‍රමාණය අඩු කොට ඇති බවකි. තත්ත්වය එසේ නම් මේ හරහා ඉදිරියේදී ලංකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවනු ඇති බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. ඔවුන්ද පෙන්වා දෙන්නේ චීන පර්යේෂණ නෞකාව සම්බන්ධ ප්‍රශ්නය මේ සමගද ගැටගැසී ඇති බවකි.

මධ්‍යම අධිවේගයත් නවතී

ඊළඟ ප්‍රධාන කරුණ වන්නේ චීනය භාරගත් කොළඹ – මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමය. ජනාධිපතිවරයා චීනයේ සංචාරයක නිරත වෙද්දීත්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක චීනයේ සංචාරය කරද්දීත්, ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා චීනයේ සංචාරය කරද්දීත් චීන බලධාරීන් දී තිබූ පොරොන්දුවක් වූයේ කොළඹ – මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා අරමුදල් ලබාදීමට චීනය කටයුතු කරන බවය. බිමල් ඒ බව මීට සති කීපයකට ඉහතදී ප්‍රසිද්ධියේම සඳහන් කිරීමට පියවර ගත්තේය. නමුත් දැන් අප වෙත ලැබෙමින් පවතින තොරතුරුවලින් කියැවෙන්නේ මේ වනවිට චීනය විසින් කොළඹ – මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා දැක්වූ උනන්දුව හීන්සීරුවේ අඩුකොට ඇති බවය. එය ඉදිරියේදී නොකෙරෙන තැනට තල්ලු කිරීමට ඉඩ ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. ඒ අනුව අපට පෙනෙන්නට ඇත්තේ චීන පර්යේෂණ නෞකාවන්ට ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වීම සඳහා පොරොන්දු වූ පරිදි අවසර ලබා නොදීම සම්බන්ධයෙන් චීනය මේ වනවිට යම් කෝපයකට පත්ව සිටින බවය. එම කෝපය විවිධ මුහුණුවරින් ලංකාවට පෙන්වීම ආරම්භ කොට ඇති බවත්, එය ඉහළ තැනකට රැගෙන එමින් පවතින බවත්ය. පසුගිය සතිය වනවිට චීනය විසින් එකින් එක ලබාදී තිබූ බරපතළ ඉඟිවලින් ඒ බව මනාව පැහැදිලිය.

සාකච්ඡා සජිත්ගේ ශෛලියට

මධුසමය අවසන් වී ආණ්ඩුව ඇතුළේ මේ ආකාරයට එකින් එක ප්‍රශ්න මතුවෙමින් පවතින පසුබිමක ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය නම් මේ වනවිට සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සමග පැවැති ප්‍රශ්න එකින් එක විසඳාගෙන සමගියට අවශ්‍ය වටපිටාව සකසා ගනිමිනි. මේ සඳහා මූලික අඩිතාලම වැටුණේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ කලම්බෝ ක්ලබ්හි සජිත් සහ එජාප නායකයන් වන රුවන් විජේවර්ධන, අකිල විරාජ් කාරියවසම් හා නවීන් දිසානායක අතර පැවැති සාකච්ඡාවකිනි. ඉන් අනතුරුව එහිම සාගල රත්නායක සහ සජිත් අතරද විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. පසුව එජාපය සහ සමගි ජන බලවේගය සිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පවත්වා මේ සාකච්ඡාවල ප්‍රගතිය සිය පක්ෂවලට දැනුම් දීමටද පියවර ගෙන තිබිණි.

ඉන් අනතුරුව පක්ෂ දෙකේ එකමුතුව සම්බන්ධයෙන් ලොකුවට කතා නොවුණු නිසා බොහෝ දෙනා තැන් තැන්වල ‘කෝ දැන් සාකච්ඡා ඉවරද? පක්ෂ දෙක එකතු වෙන්නේ නැද්ද? මේ පාරත් බොරුවක්ද වෙන්නේ?’ යනුවෙන් ප්‍රශ්න කරන ආකාරයක් දැකගන්නට ලැබිණි. මේ ආකාරයට තැනින් තැන බොහෝ දෙනා ප්‍රශ්න කරද්දී පසුගිය සතියේ අප ‘මව්රට’ පුවත්පත ඔස්සේ විශේෂ අනාවරණයක් කරමින් කියා සිටියේ පක්ෂ දෙකේ සමගිය මුල් කරගෙන තවත් විශාල පිම්මක් පැනීමට සජිත් සූදානමින් සිටිනවා යැයි කියාය. අප එම පුවත පළකළේ තවත් සුවිශේෂ හමුවක් සම්බන්ධයෙන් ඒ වනවිටත් වටින් ගොඩින් අප වෙත තොරතුරු වාර්තා වී තිබීම නිසාය.

සජිත් මේ සාකච්ඡා ආරම්භ කොට ඉදිරියට ගෙන ගියේ ඔහුගේම ශෛලියකට අනුව මිස වෙන කාගේවත් වුවමනාවකට හෝ වෙන කාගේවත් බලපෑමකට හෝ වෙන කාගේවත් ශෛලියකට අනුව නොවේ. සාමාන්‍යයෙන් රනිල්ගේ ශෛලිය ලෙස බොහෝ දෙනා හඳුනාගෙන තිබෙන්නේ යම් ගැටලුවක් පැමිණි වහා ඊට ඉක්මන් විසඳුම් සපයනවා වෙනුවට කල් මරමින්, කමිටු පත්කරමින්, බොරු පුවත් පැළකරමින්, ගේම් ගසමින්, කකුලෙන් අදිමින් කටයුතු කරන ආකාරයකි. නමුත් සජිත් එසේ නොවේ. සජිත් කටයුතු කරන්නේ අවංකවය. ගේම් ගැසීම් සජිත්ගේ න්‍යාය පත්‍රයේ නැත. පක්ෂ දෙකේම බිම් මට්ටමේ සිටින පාක්ෂිකයන්ගේ අදහස් හොඳින් වටහා ගැනීමෙන් අනතුරුව ක්‍රියාත්මක වීම සජිත්ගේ සිරිතය. සජිත්ගේ ඇත්තේ සෙමින් සෙමින් පියවරෙන් පියවර ඉදිරියට යන ගමනකි.

සජිත්-තලතා හමුවක්

ඒ අනුව පසුගිය සතියේ සජිත් හිටිහැටියේම අප කළ අනාවරණයට අනුවම තවත් විශේෂ පිම්මක් පනිමින් එජාපයේ මහලේකම්වරිය වන තලතා අතුකෝරල මහත්මිය සමග හමුවක් පැවැත්වීමට කටයුතු කළාය. එයද පැවැත්වුණේ ටාජ් සමුද්‍රා හෝටලයේ කලම්බෝ ක්ලබ්හිය. ඊට තලතාට අමතරව රුවන්, අකිල, සාගල සහ නවීන් සහභාගි වී සිටි අතර, සජිත්ට අමතරව ඊට සජබ මහලේකම්වරයා වන රංජිත් මද්දුමබණ්ඩාරද එක්ව සිටියහ. මෙම හමුවේ විශේෂත්වය වූයේ එවැන්නක් පවත්වන බවට පක්ෂ දෙකේම අතළොස්සක් හැරෙන්නට වෙනත් කිසිවකුත් දැන නොසිටීමය.
ඉතා සුහදශීලී ආකාරයට පක්ෂ දෙකේම මහලේකම්වරුන් සමග පැවැත්වූ මෙම හමුව ඉතා සුවිශේෂ එකක් වූ අතර අතිශය වැදගත් කාරණා රැසක්ම එහිදී සාකච්ඡාවට ගැනිණි. ඉන් ප්‍රධාන එකක් වූයේ හැකි ඉක්මනින් පක්ෂ දෙකම එකතු වී කුමක් හෝ වැදගත් අවස්ථාවක් සංවිධාන කළ යුතු බවය. ඒ සඳහා යම් යම් යෝජනාද පක්ෂ දෙකේම නියෝජිතයන්ගෙන් ඉදිරිපත් වූ ආකාරයද දැකගත හැකි විය. නමුත් මෙහිදී සජිත්ගේ ස්ථාවරය තරමක් වෙනස් එකක් විය.

‘කලබල වෙන්න එපා. අපි මේ ඔක්කොම කරන්න ඕනේ මේ පක්ෂ දෙකේ එකමුතුවට හානියක් නොවන විදියට. අපි හෙමින් හෙමින් මේ වැඩ ටික ඉස්සරහට අරගෙන යමු…’ යනුවෙන් සජිත් කියද්දී නවීන් ඉදිරි මැතිවරණයකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කළේය.

‘ඡන්දයක් ආවොත් අපි දෙපැත්තෙන්ම නියෝජිතයො දාලා නොමිනේෂන් දෙන්න පුළුවන් කමිටුවක් හදන්න ඕනේ….’ යනුවෙන් නවීන් යෝජනා කරද්දී වහාම ඊට ප්‍රතිචාර දැක්වූ සජිත් නැවතත් කියා සිටියේ එවැන්නකදී බිම් මට්ටමේ යථාර්ථය තේරුම් ගෙන නාමයෝජනා සකස් කළ යුතු බවකි.

‘අපි නොමිනේෂන් ලිස්ට් හදද්දී ග්‍රවුන්ඩ් එකේ රියැලිටි එක තේරුම් ගන්න ඕනේ. පාර්ලිමේන්තු නියෝජනය දිහා බලන්න ඕනේ. ඒකට අනුව තමයි නාමයෝජනා බෙදිලා යන්න ඕනේ. හැබැයි අපි මේවට හදිසි වෙන්න ඕනෙ නෑ. මොකද තාම ඡන්දයක් ගැන කිසිම කතාවක් නෑ. අපි මුලින්ම කරන්න ඕනේ බිම් මට්ටමේ අපේ ඉන්න පාක්ෂිකයෝ එකතු කරන එක. ඔවුන්ගේ මානසික මට්ටම ජයග්‍රාහී තලයකට අරන් එන එක. ඊට පස්සේ අපිට පුළුවන් එතැනින් ඉස්සරහට යන්න…’ යනුවෙන් සජිත් කියද්දී නවීන් ඇතුළු කණ්ඩායම ඊට එකඟතාව පළ කළහ. ඒ අනුව සාකච්ඡාවේදී කතාබහට ලක්වූ කරුණුවලට සියලු දෙනාගෙන්ම යහපත් ප්‍රතිචාර ලැබුණු ආකාරයක් දැකගත හැකි විය.

මෙන්න තවත් අනාවැකියක්

ඒ අනුව මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් තවත් විශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට සූදානම්ය. එනම් පක්ෂ දෙකේ සමගිය රටට පෙන්වනු වස් ඉදිරි සති දෙක, තුන තුළ දැවැන්ත එකක් නොවුණද යම් සිදුවීමක් අනිවාර්යයෙන්ම සිදුවීමට නියමිත බවය. පක්ෂ දෙකේම නියෝජිතයන් ඒකාබද්ධව යම් වැඩසටහනක් සිදුකිරීමට නියමිත නමුත් මේ අවස්ථාවේදී එය කුමක්ද යන්න කීමට දැන්ම අපට තොරතුරු නැත. එසේ වුවත් එවැනි අවස්ථාවකට දෙපාර්ශ්වයම මේ වනවිට එකඟතාව පළකොට තිබේ.

එමෙන්ම නායක මට්ටමේ සාකච්ඡා හෙට අනිද්දා පැවැත්වීමේ සූදානමක් නොමැති බවද මෙහිදී සඳහන් කළ යුතුය. එවැන්නක් සිදුවනු ඇත්තේ ආණ්ඩුව ඡන්ද සිතියම දිගහරින කාල වේලාව අනුවය. එවැනි අවස්ථාවකදී තීරණාත්මක සාකච්ඡා පක්ෂ නායකන් අතර සිදුකිරීමටත්, එජාපය සහ සජබය එක්වීමේ කලඑළි මංගල්‍යය ජයටම පැවැත්වීමටත් දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ ඇති බවක් ආරංචිය. නමුත් මෙම සම්ප්‍රදායන් නොදන්නා අතළොස්සක පිරිසක් පක්ෂ දෙකේම නැතුවා නොවේ. එම නිසා විවිධ තැන්වල එම පිරිස් විවිධ කතා කියා සිටියද, ඒවා මායිම් නොකර සිටීම පක්ෂ දෙකටම සුබය.

සූත්තර පුංචලා

අප මෙසේ කියන්නේ පක්ෂ දෙකේ මේ සමගිය, එකමුතුව නුරුස්නා කිහිපදෙනකු පමණ එජාපය ඇතුළේ මෙම සමගිය කඩාබිඳ දැමීමට මාන බලමින් සිටින නිසාය. අප ඊට උදාහරණ පසුගිය වසර ගණනාව පුරාම ඇති තරම් ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කිරීමට කටයුතු කර ඇත්තෙමු. මෙවර ද මෙම සමගිය කඩාබිඳ දැමීම සඳහා එජාපයේ සිටින සූත්තර පුංචලා හතර දෙනකු පිළිබඳ අප වෙත තොරතුරු වාර්තා වී ඇතත්, මේ අවස්ථාවේදී පක්ෂ දෙකේ සමගිය පිළිබඳ දහසක් බලාපොරොත්තු තබා සිටින පාක්ෂිකයන් ගැන සිතා අපි ඔවුන් හතර දෙනා පිළිබඳ වැඩිදුර තොරතුරු මේ අවස්ථාවේ වාර්තා කිරීමට කටයුතු කරන්නේ නැත. නමුත් යම් තීරණාත්මක අවස්ථාවක් පැමිණියහොත් ඒ අවස්ථාවේදී මේ හතර දෙනාගේ නම්ගම් සහිතව ඔවුන් තැන් තැන්වල කළ කුමන්ත්‍රණ, කකුලෙන් ඇදීම්, කළ ගේම් ගැසීම් ආදී සියල්ලම එකින් එක හෙළිදරව් කිරීමට අප සූදානම්ය.

පසුගිය සතියේ සජිත් සහ තලතා අතර පැවැති සුබදායී සාකච්ඡා වටයෙන් පසු මේ එක සූත්තර පුංචෙකු පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වන නාමල් රාජපක්ෂට දුරකතන ඇමතුමක් ලබාදීමට කටයුතු කොට තිබිණි. එම දුරකතන ඇමතුමේදී මේ එජාප සූත්තර පුංචා නාමල්ට දැනුම් දී ඇත්තේ එජාපය සජබය සමග නොව එජාපය පොහොට්ටුව සමග එකතු කළ යුතු යැයි කියාය.

‘දැන් මේ එජාපයයි සජබයයි එකතු කරන්න හදනවා. මේ පක්ෂ දෙක නෙවෙයි එකතු වෙන්න ඕනේ. අපි කැමැතියි පොහොට්ටුවත් එක්ක එකතු වෙලා දේශපාලන ගමනක් යන්න. පොහොට්ටුවත් එක්ක සන්ධානගත වෙන්න.’ යනුවෙන් කියමින් මේ සූත්තර පුංචා නාමල් ඉදිරියේ දිගින් දිගටම බැගෑපත් වෙද්දී නාමල් ඔහුට දී ඇත්තේ මීට පෙරාතුව මාධ්‍ය හරහා ප්‍රසිද්ධියේ දුන් පිළිතුරමය.
‘එජාපයටයි පොහොට්ටුවටයි එකතු වෙලා යන දේශපාලන ගමනක් නෑ. එජාපය එකතු වෙන්න ඕනේ සජබය එක්ක. එතකොට තමයි දෙගොල්ලන්ටම වාසි. ඒ හින්දා ඔබතුමාලයි අපියි එකතු වෙන එක නම් කීයටවත් වෙන්නේ නෑ. එහෙම එකතු වුණොත් අපේ පක්ෂ දෙකම නැති වෙනවා….’ යනුවෙන් නාමල් දී තිබූ පිළිතුරෙන් සූත්තර පුංචා ගහන්නට ගිය අලුත්ම ගේමද කඩාකප්පල් වී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි.

මේ සූත්තර පුංචාට අමතරව එජාපයේ සිටින තවත් සූත්තර පුංචෙක්ද සජබ-එජාප එකතුව කැඩීම සඳහා එජාපය ප්‍රතිසංවිධාන කරන බව කියමින් ලොකු ෂෝ එකක් දමන්නට පටන්ගෙන ඇති ආකාරයක් දැකගන්නට පුළුවන. මෙම ෂෝ එක පෙන්වා මේ සූත්තර පුංචාගේද අරමුණ වී ඇත්තේ සජබ එජාප එකමුතුව කඩා එජාප සාමාජිකයන් වෙනමම තබාගැනීමය. මොහුට අමතරව තවත් දෙදෙනෙක්ද මේ එකමුතුවට අකුල් හෙළන එජාප කණ්ඩායමේ සිටී. දැනට අප මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලියන්නේ නැති වුණත්, වෙලාවක් ආ සැණින් මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු රටට හෙළිදරව් කිරීමට අප සූදානම්ය.

දාලා යනවා ඉවරයක් නෑ

මාලිමා ආණ්ඩුව බලයට පත්වූ දින සිටම සභාපතිවරුන්ගේ අපලයක් ආණ්ඩුවේ පැවැත්මට දිගින් දිගටම බලපා තිබිණි. අප එසේ කියන්නේ මාලිමා ආණ්ඩුවම පත්කළ ඇතැම් සභාපතිවරුන් කිහිප දෙනකු මාස තුන හතරක් යන විටම ඒවායෙන් ඉල්ලා අස්වීම නිසාය. ඉන් අනතුරුව පසුගිය කාලයේදී පළාත් පාලන ආයතන මාලිමා සභාපතිවරුන් කිහිප දෙනෙක්ද සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ගෙදර ගියහ. එහි අලුත්ම සිදුවීම දැකගන්නට ලැබුණේ පසුගිය සතියේය. එම සතිය ඇතුළත පමණක් ආයතන සභාපතිවරුන් තිදෙනකු ඉල්ලා අස්වීමට කටයුතු කොට තිබිණි. පළමුවෙන්ම ඉල්ලා අස්වී තිබුණේ ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය දැරූ අර්ජුන හේරත්ය. දෙවැනියට ඉල්ලා අස්වූයේ ජාතික කාන්තා කොමිසමේ සභාපතිවරිය වූ ආචාර්ය රමණී ජයසුන්දරය. ඉන් අනතුරුව ඉවත් වූයේ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, ගුවන් හමුදාවේ හිටපු අණ දෙන නිලධාරී එයාර් චීෆ් මාර්ෂල් හර්ෂ අබේවික්‍රමය. මින් සමාජය ඇතුළේ බොහෝ කතාබහට ලක්වූයේ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා පෞද්ගලික සමාගමේ සභාපතිවරයා වූ හර්ෂගේ ඉවත් වීමය. ඊට හේතුවූයේ දේශපාලන බලපෑම් මත ඔහු එම ධුරයෙන් ඉවත්වූ බවට පසුගිය සතියේ සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් කතාබහට ලක්ව තිබීමය.

මෙම සිදුවීමට බලපා ඇති හේතුව වූයේ පසුගිය දිනෙක හර්ෂ සිය කාර්යාලයේ සිටියදී දැකගන්නට ලැබුණු සීසීටීවී දර්ශනයකි. එහි සටහන්ව තිබුණේ පිටස්තර කිසිවකුටත් ඇතුළු විය නොහැකි ගුවන් තොටුපළ පර්යන්තයට හිමිනමක් ඇතුළු වී සිටින සිදුවීමකි. එවැන්නක් සිදුවිය නොහැකි නිසා වහාම හර්ෂ කළේ අදාළ පාර්ශ්වයන්ගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටීමය. ඒ අනුව ඔහුට දැනගන්නට ලැබුණේ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් එසේ ගුවන් තොටුපළ පර්යන්තයට පැමිණ ඇති බවකි. තවදුරටත් ඒ පිළිබඳ සොයාබැලීමේදී විශේෂ අවසර පත්‍රයකින් මෙසේ උන්වහන්සේ ඊට ඇතුළු වී ඇති බවද හර්ෂට දැනගන්නට ලැබිණි. ඒ අනුව වහාම හර්ෂ කළේ මෙම විශේෂ අවසර පත්‍රය නිකුත් කළේ කවුරුන්ද යන්න පිළිබඳ සොයා බැලීමය. එහිදී ඔහුට දැනගන්නට ලැබුණේ මෙවැනි අවසර පත්‍ර 40ක් පමණ නීතියට පිටින් යමින් ඇමැතිවරුන් විසින් පසුගිය කාලයේදී නිකුත් කර ඇති බවකි. බානගල උපතිස්ස හිමියන්ගේ ප්‍රවේශ පත්‍රය වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විසින් අලුත් කොට ඇති බවද එහිදී ඔහුට දැකගන්නට ලැබිණි.

ගැටුම මේකද?

‘පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ගේ ජාත්‍යන්තර ශාසනික කටයුතු පිළිබඳ සලකා බලා ගුවන් තොටුපළ පර්යන්තයට ඇතුළු වීමේ විශේෂ අවසර පත්‍රය ඉදිරි වර්ෂයක (2025.12.31 සිට) ලබාදීමට කටයුතු කරන්න.’ යැයි බානගල උපතිස්ස හිමි එවා තිබූ ලිපියකට සිය අස්සන හා මුද්‍රා සහිතව විෂය භාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති හර්ෂ වෙත ලිපියකින්ද දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත් එම ලිපියට ප්‍රතිචාර දක්වමින් හර්ෂ බානගල උපතිස්ස හිමියන්ට ලිපියක් යැවීමට කටයුතු කොට තිබිණි. එහි සඳහන් කොට තිබුණේ බානහල උපතිස්ස හිමියන්ගේ ඉල්ලීමට අවසර ලබාදිය නොහැකි බවකි. සමාගම තුළ යම් යම් වැරැදි සිදුවෙමින් තිබී ඇති බවත්, මේ වනවිට එම වැරැදි නිවැරැදි කරමින් සිටින බවත් හර්ෂ සිය ලිපිය මගින් බානගල හිමියන්ට දැනුම් දීමටද කටයුතු කොට තිබිණි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයාගෙන යද්දී බානගල උපතිස්ස හිමියන්ට පළමුවෙන්ම ගුවන් තොටුපළ පර්යන්තයට ඇතුළු වීමට අවසර ලබාදී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදීය. එකල සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කොට ඇත්තේ රාජපක්ෂ පවුලේ ඥාතිවරියක වන නිරූපමා රාජපක්ෂය. අදාළ ලිපියට අස්සන් තබා ඇත්තේද නිරූපමා රාජපක්ෂය. අනුර කරුණාතිලක ගුවන් සේවා සමාගමේ සභාපති හර්ෂ සමග මතගැටුමකට ගොස් තිබුණේ රාජපක්ෂ පවුල විසින් මෙසේ ලබාදී තිබූ අවසරයක් අලුත් කිරීම මුල්කරගෙනය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ හර්ෂට සිය තනතුරෙන් ඉවත්වීමට සිදුවීමය. මෙම සිදුවීමට අදාළ බාලනගල උපතිස්ස හිමියන් විසින් අනුර කරුණාතිලකගේ රෙකමදාරුව සහිතව යොමුකළ ලිපියත්, හර්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපියත් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන ආකාරය දැකගන්නට පුළුවන.

බානගල හිමි යවපු ලිපිය!

හර්ෂ යවපු පිළිතුරු ලිපිය!

May be an image of aircraft and text

කෙසේ වෙතත් හර්ෂ අබේවික්‍රම සැලකෙන්නේ රාජපක්ෂවරුන් සහ රනිල් වික්‍රමසිංහලාට හිතවත් අයකු ලෙසය. ගෝඨාභය රාජපක්ෂ සමයේදී හර්ෂ අබේවික්‍රම ලංකා බැංකුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළේය. එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ සොහොයුරා වන චන්න වික්‍රමසිංහ මහතා සමග ඉතා සමීප සබඳතාවක් හර්ෂ අබේවික්‍රමට ඇති බවද පැවසේ. එසේ තිබියදී මාලිමා ආණ්ඩුව බලයට පත්වූ පසු පළමුව සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරය දැරූ බිමල් රත්නායක මහතා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා ලෙස තෝරාගත්තේ මේ කියන හර්ෂ අබේවික්‍රම මහතාය. බිමල්, හර්ෂට එම තනතුර දීම සම්බන්ධයෙන් එකල සියල්ලන්ම පුදුමයට පත්වූයේ රාජපක්ෂවරුන්ට සම්බන්ධ අයකු බිමල් විසින් එවැනි තනතුරකට පත්කළේ මන්දැයි කියාය. කෙසේ වෙතත් පසුගිය කාලයේදී බිමල් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය තනතුරෙන් ඉවත් කිරීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම අමාත්‍ය ධුරය භාරදුන්නේ අනුර කරුණාතිලකටය. දැන් අනුර කරුණාතිලක බිමල් පත්කළ සභාපති හර්ෂ සමග ගැටුමක් නිර්මාණය කරගැනීමෙන් පසු හර්ෂ එම තනතුරෙන් ඉවත් වී තිබේ. ඒ අනුව හෙට අනිද්දාම ජනාධිපතිවරයාට හිතවත් තවත් අයකු එම තනතුරට පත්කිරීමේ සූදානමක් ඇති බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

මහනාහිමිවරුන්ගේ මහා බලය

ලංකා දේශපාලනයේ කවුරු මොන කතන්දර කිව්වද මහානායක හිමිවරුන්ට ඇත්තේ කිසි දිනෙක බිඳහෙළිය නොහැකි අද්විතීිය ස්ථානයකි. කවුරු ආණ්ඩු කළද, කවුරු විපක්ෂයේ සිටියද ඒ සියලු දෙනාම සෑම වැදගත් අවස්ථාවකදීම පළමුව මුණගැසීමට යන්නේ අප රටේ වන්දනීය පූජනීය මහානායක හිමිවරුන්ය. එසේ ගොස් උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගැනීම අතීතයේ සිටම සිදුවූවකි. සාමාන්‍යයෙන් ජවිපෙ යනු ආගම ධර්මය මුල්කොට නොගෙන කටයුතු කරන කණ්ඩායමක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණද, වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග ජනාධිපතිවරයාගේ සිට ප්‍රබල මැති ඇමැතිවරුන් සියල්ලක්ම පාහේ සතියකට සැරයක් මහානායක හිමිවරුන් හමුවී අදහස් හුවමාරු කරගන්නා ආකාරයක් දැකගන්නට තිබීම ඊට හොඳම උදාහරණයයි.

පසුගිය කාලයේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ ප්‍රශ්නය මුල්කරගෙන අගමැතිවරිය මහානායක හිමිවරුන් හමුවී කරුණු පැහැදිලි කළ ආකාරය දැකගන්නට ලැබිණි. එමෙන්ම විගණකාධිපතිවරයා පත්කිරීමේ මතභේදයටද මහානාහිමිවරුන් මැදිහත්ව තිබිණි. ඒ, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන විවිධ වෘත්තීය සමිති නියෝජිතයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් මේ සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉල්ලා දිගින් දිගටම මහානාහිමිවරුන් දැනුවත් කිරීමෙන් අනතුරුවය. ඔවුන් මහානාහිමිවරුන්ට පෙන්වා දී තිබුණේ හොරු අල්ලන්ට ආ ආණ්ඩුව මාස 10ක කාලයක් තිස්සේ විගණකාධිපති තනතුර හිස්ව තබා ඇති බවත්, ජනාධිපතිවරයාට හිතවත් සහ අඩු සුදුසුකම් සහිත පුද්ගලයන් එම තනතුරට පත්කිරීමේ උත්සාහයක නිරතව සිටින බවත්, ව්‍යවස්ථාදායක සභාවේ විරෝධය හේතුකොට ගෙන එම තත්ත්වය වැළකී ඇති බවත්ය. දැනට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන ජ්‍යෙෂ්ඨතම සහ පරිණතම නිලධාරියා වන නියෝජ්‍ය විගණකාධිපති ධර්මපාල ගම්මන්පිල මහතා ඊට සුදුසුම පුද්ගලයා බවට මෙම පිරිස් මහානාහිමිවරුන් දැනුවත් කර තිබිණි.

මෙහි ප්‍රතිඵලය වූයේ විගණකාධිපති ධුරය වහාම පුරවන ලෙස සහ ඊට ධර්මපාල ගම්මන්පිල මහතා පත්කරන ලෙස දැනුම් දෙමින් අස්ගිරි මල්වතු මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත දැඩි ලිපියක් යොමුකරමින් දැනුම් දී තිබීමය. නමුත් ජනාධිපතිවරයා අපහසුතාවට පත්විය හැකි නිසා එම ලිපිය කිසිදු පාර්ශ්වයකින් ප්‍රසිද්ධියට පත්කිරීමට පියවර ගත්තේ නැත. නමුත් මීට සති 3කට පමණ පෙර ‘රාජ්‍ය රහස්’ තීරයට එම ලිපිය ලැබුණු අතර, අපද එම ලිපිය පළ නොකරමින් යම් ඉඟියක් පමණක් ඒ සම්බන්ධව පාඨකයන්ට දැනුම් දීමට පියවර ගත්තේ ඒ අනුවය. කෙසේ වුවත් ව්‍යවස්ථාදායක සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා පත්කිරීමට අගමැතිවරිය සහ විපක්ෂ නායකවරයා එකඟතාව පළකිරීමත් සමග පසුගිය සතියේ මෙම ලිපිය කරළියට ආ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව මහානාහිමිවරුන්ගේ ඉල්ලීම පරිදි විගණකාධිපති ධුරය සඳහා ධර්මපාල ගම්මන්පිල මහතා පත්කරනු ඇද්ද යන්න සම්බන්ධයෙන් දැනගැනීමට තවත් දින කීපයක් බලා සිටීමට සිදුවනු ඇත.

නමුත් පසුගිය සතියේ පළමු වතාවට නව ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේ රැස්වුවද එදින විගණකාධිපතිවරයා වෙනුවෙන් නමක් ජනාධිපතිවරයා විසින් ඊට එවා තිබුණු ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. එම රැස්වීම පැවැති දිනයේදී විපක්ෂ නායක සජිත්ද සිංගප්පූරු සංචාරයක නිරතව සිටි බැවින් ඔහු ඊට සහභාගි වී සිටියේ සූම් තාක්ෂණය ඔස්සේය. ඒ අනුව යම් හෙයකින් ධර්මපාල ගම්මන්පිල මහතා විගණකාධිපති ධුරයට පත් නොකළහොත් මහානාහිමිවරුන්ගේ ඉල්ලීමට පිටුපෑමට කටයුතු කර තිබීම සම්බන්ධයෙන් උන්වහන්සේලා කුමන ප්‍රතිචාරයක් දක්වයිද යන්න කීමට දැන්ම කල් වැඩිය.

ගෝඨාට සසර කලකිරිලා

මේ ආකාරයට මහානාහිමිවරුන් ඍජුවම ආණ්ඩුවේ තීන්දු තීරණවලට බලපෑම් කිරීමට තරම් ප්‍රබල වී ඇති පසුබිමක හිටපු ජනාධිපතිවරයකු සම්බන්ධයෙන්ද මෙවර රාජ්‍ය රහස් තීරයේ විශේෂ හෙළිදරව්වක් කිරීමට අප සූදානම්ය. ඒ, වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන්ය. ගෝඨාභය සැලකෙන්නේ අරගලයකින් පන්නා දැමූ ලංකාවේ පළමු ජනාධිපතිවරයා ලෙසටය. එමෙන්ම වසර 30ක යුද්ධය අවසන් කරද්දී ඊට විශාල දායකත්වයක් දක්වමින් ගෝඨා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

එමෙන්ම කොළඹ ලස්සන කිරීම සම්බන්ධයෙන් ගත් විට අංක එකට කියැවෙන්නේ ගෝඨාගේ නමය. යුද්ධය ජයග්‍රහණය කොට නමක් තබාගත් සේම ජනාධිපතිවරයකු ලෙසටද ඉතා හොඳ නමක් තබාගත හැකිව තිබුණද, තමන් සමීපයේ සිටි ඇතැමුන්ගේ වැරැදි උපදෙස් නිසා අවසානයේදී ගෝඨාභයට සිදුවූයේ ජනතා විරෝධය මැද රටින් පලා යන්නටය. ඉන් අනතුරුව යළි ලංකාවට පැමිණියද ගෝඨාභය කිසිදු දේශපාලන උත්සවයකට සහභාගි වූයේ නැත. එමෙන්ම කිසිදු දේශපාලන ප්‍රකාශයක් හෝ ගෝඨා සිදු කළේ නැත.

ඒ අනුව අපට මේ වනවිට වාර්තා වන්නේ ගෝඨා ඉතා දැඩි ලෙස මේ දිනවල බෞද්ධ දර්ශනයට නැඹුරු වී කාලය ගතකරමින් සිටින බවකි. එමෙන්ම දවසෙන් වැඩි කාලයක් භාවනානුයෝගීව ගෝඨා කටයුතු කරන බවද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. පිටස්තර පුද්ගලයන් හමුවීම අවම කොට ඇති ගෝඨා, බෞද්ධ දර්ශනය සම්බන්ධව ලියැවුණු පොත්පත්, භාවනාව සම්බන්ධයෙන් ලියැවුණු පොත්පත් ගැඹුරින් හදාරමින් සිටින බවක්ද දැනගන්නට තිබේ. ඒ අනුව ජීවිතයේ සැඳෑ සමයේදී බොහෝ දුරට ගෝඨා ශාසනයට ඇතුළත් වීමේ ඉඩකඩක් පවතින බවක්ද අපට දැනගන්නට ඇත. එසේ වුවහොත් බොහෝ දුරට ලංකාවේ සසුන්ගත වූ පළමු ජනාධිපතිවරයා ලෙසට ගෝඨාභය රාජපක්ෂ ඉතිහාසගත වනු ඇත.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

විගණකාධිපති ධූරයට මුලින් ප්‍රතික්ෂේප වූ ජයරත්නගේ නම අනුර යළිත් වතාවක් එවලා! තීරණයක් ගන්න ව්‍යවස්ථාදායක සභාව අඟහරුවාදා රැස්වෙයි! I Sri Lanka Latest News

Next Post

ගංවතුර වෙලාවේ ගහපු හදිසි තත්ත්ව ගැසට් එක අනුර ආපහු දීර්ඝ කරයි! අලුත් නියෝග කීපයකුත් දාලා! I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

2026 ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට...

Read more
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.